[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දම් සුවඳ සිල් සුවඳ පිරි කටාරංගල

දම් සුවඳ සිල් සුවඳ පිරි කටාරංගල

කෑගලු දිසාවේ බුලත්කොහුපිටිය බලප්‍රදේශයට අයත් වන්නා වූ මෙම ඓතිහාසික දායාදය මා නෙත ගැටුණේ පින්බර දිනෙක සුන්දර සැන්දෑවක ය.

මිටියාවතක් නොවූ කඳුකර උස්බිමක, ගලන දොළ පාරක් අසල ප්‍රදේශයේ උසම ස්ථානය යැයි කිව හැකි තැනක මෙකී විහාරස්ථානය පිහිටා තිබේ. නමින් කෑගල්ල කටාරංගල විහාරය ලෙස දැනගැනීම වටී. පන්සල වසා පැතිර සිටින්නා වූ දැවැන්ත කළුගල් රාජයකු සෙවණෙහි කටාරංගල පුදබිමෙහි බුද්ධ පුත්‍රයන් වහන්සේ වැඩ වාසය කරති. නගරයෙහි හැළහැප්පීම්, ස්වභාවික දියකඳුරින් අතුරුදන්ව ඇති නිසා මේ පුදබිම නිස්කලංක ය.

කෙසේවෙතත් මෙම ඓතිහාසික පුද බිම යුග දෙකකට අයත් බව අවධාරණය කිරීමට හැකි බව මෑත කාලීන පුරාවිද්‍යාඥයන් කියා සිටියි. අවුරුදු 23000 කට වඩා පැරැණි ප්‍රාග් ඓතිහාසික යුගයෙහි මානවයා පවා මෙහි වාසස්ථානවල වාසය කළ බව කැනීම්වලින් සොයා ගන්නා ලද අතීත ගල් මෙවලම් එහි පෞරාණිකත්වය හෙළිදරව් කර තිබේ. ක්‍රි.පූ 103- ක්‍රි.පූ 77 රාජකේය හිමිකම දැරූ වළගම්බා රාජ්‍ය සමයෙහි මෙම ප්‍රාග් ඓතිහාසික මානව කේන්ද්‍රය විහාරස්ථානයක් බවට පත් වී ඇත.

ඒ බව මාතලේ අළුවිහාරයේ දැනට පවතින පුස්කොළ පොතෙහි ලියා තබා ඇත. කෑගල්ල ප්‍රදේශයේ අද පවතින පෞරාණික පුණ්‍ය විහාරයක් බවට ශේෂ වුව ද මෙම ඓතිහාසික පින්බිම ධර්ම භාණ්ඩාගාරයක් ලෙස අප පිළිගත යුතු ය. එම පුස්කොළ පොතෙහි සඳහන් වන අන්දමට වළගම්බා රජු සල්ගල සැඟවී සිට එයට එල්ල වූ සොළී ප්‍රහාර නිසා ආරක්ෂාව පිණිස මෙම විහාරයට පැමිණ ඇත. නිසැක වශයෙන් ම වළගම්බා රජු දවස තිබූ තියුණු ආක්‍රමණකාරී පිළිවෙත අපි දනිමු. එබැවින් මුළු රටක් මුළුල්ලේ එතුමාගේ පාදස්පර්ශයන් තිබෙන බවට සාක්ෂි ලැබේ. එකී ස්ථාන අතුරින් මෙකී විහාරය ද එක් ස්ථානයක් වශයෙන් හඳුනාගැනීම වටී.

දිඹුලාගල පරපුරේ ඇදුරුවරයාණන් වහන්සේ නමක් වන දොඹේපොළ සීලාලංකාර හිමි රෝගාතුර තත්වයේ සිට වුව ද විහාරය පිළිබඳ කරුණු පැහැදිලි කළේ මේ ආකාරයෙනි.

මේ පින්බිම යුගයන් දෙකකට අයත් විහාරස්ථානයක්, මේ පන්සල හැම කරදරේකට ම මුහුණ දීල දරාගත්ත පන්සලක් . එකදහස් අටසිය ගණන්වල සුදු මහත්තුරු මේ පළාත් පාලනය කරනකොට එක එක විපර්යාස වෙලා තියෙනවා. හුඟක් ශිලා ලේඛන පුරාවස්තු නැති වෙන්න හේතුවක් තමා ඒක. මේ පළාත්වල මිනිස්සු ගම්බිම් අත් ඇරල යන තැනට වැඩ සිදුව තියෙනවා. ඒ නිසා මේ විහාරය එක්ක ගොඩනඟන්න තිබ්බ අඛණ්ඩ ඉතිහාස කතාවක් මැදින් පුපුරල ගිහිල්ල කියල මට හිතෙනවා. කොහොම වුණත් මේ පන්සලේ තියෙනවා ගලින් ඉදිකරන්න සූදානම් කරපු සැතපෙන බුදු රුවක් හදන්න ගත්ත උත්සාහයක ලකුණු. නමුත් අවාසනාවකට වළගම්බා රජතුමාට ඒ කාර්යය මෙහිදී අවසාන කරන්න ලැබිල නෑ...”

කෙසේ වෙතත් මෙම පුරාණ විහාරස්ථානයෙහි දක්නට ලැබෙන සුවිශේෂී කේතයන් දෙකක් ගල මත දක්නට ලැබේ. එහි එකක් වළගම්බා රජුගේ අත්සන යැයි සැලකෙන බව විස්තර වශයෙන් පවතී. තවද බ්‍රාහ්මීය අක්ෂර සනිටුහන් වන තැනක ද සාක්ෂි ලැබේ.

මෙහි ගල් උගුළ සකස් වී පවතින්නේ එක් ගලක් ඉවත් කළ සැනින් සියලු ගල් පතිත වී උමං දොර වැසෙන ආකාරයෙනි. මෙහි තිබෙන සූක්ෂම හා තාක්ෂණික ප්‍රයෝග වර්ණනාවට ලක්වන්නේ නිරායාසයෙනි. මෙහි පවතින උමං මාර්ගය විශේෂයෙන් ම කිව යුතු ය. යට කියන ලද පුස්කොළ පොතෙහි සඳහන් කරන පරිදි කටාරංගල විහාරයෙන් ඇරඹෙන උමං මාර්ගයෙන් රංගල්ල විහාරය හා ගනේගොඩ රාජ මහා විහාරයටත් පිවිසිය හැකි බව අවධාරණය වෙයි. වළගම්බා රජු විසින් තැම්පත් කරන ලද පුරාවස්තු සහිත සැලකිය හැකි පුරාණ අගුළු සහිත මෙවලමක් විහාරස්ථානය ඇතුළතින් දක්නට ලැබෙන අතර, එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු රක්ෂණයට යටත් කොට ඇත.

ලාංකේය අතීත කතාවේ පළමු කඩඉම තරම් ඈත අනුරපුර යුගයටත්, ආදිතම යුගයේ සිට පැවත එන මෙම විහාරස්ථානය ඇත්ත වශයෙන් ම මෙරට බෞද්ධ සංස්කෘතියේ දායාදයකි. සංවර්ධනය ඇණ හිට ඇති මෙම පන්සල බිමෙහි වර්තමානය හා සසඳන කල අවම පහසුකම් යටතේ වුව ද රටක උදාරතර සංස්කෘතියක් රකින මෙහි වැඩ වාසය කරන දොඹේපොළ සීලාලංකාර හිමි ඇතුළු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අප ණය ගැති විය යුතු ය.

මෙම විහාරස්ථානයේ පඩිපෙළින් බැස එන විට මෙම විහාර භූමිය අපට රහසින් එක් කතාවක් කියන්නට වූවේ සට කපට මංකොල්ලකරුවන්ගේ අතින් පළුදු වූ රිදුම් ඇති ගල් කුහර පෙන්වමිනි. එකී පණිවිඩය සමාජගත කිරීමේ අරමුණින් මෙම ලිපිය ලියන්නට වූවෙමි. එකී පණිවිඩය මෙසේ ඉදිරිපත් කරන්නට සිතමි. එනම් මේ අනඟි සංස්කෘතික උරුමය යට ගිය දවසින් අපට ශේෂ වූ ලෙස ම අනාගතයට බාර විය යුත්තක් බවයි.

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]