විවාහය සහතිකයකට පමණක් සීමා නොවීමට නම්
බලංගොඩ ආනන්ද හිමි
පොදුජන ව්‍යවහාරයට අනුව ‘විවාහය’ යන්න අර්ථ ගැන්වී ඇත්තේ මෙලෙසිනි.
වි - විශ්වාසය
වා - වාසනාව
හ - හදවත් බැඳීම
ය - යහපැවැත්ම
විශ්වාසයෙන්, වාසනාවත් සමඟ හදවත් දෙකක බැඳීමෙන් අනතුරුව යහපැවැත්මෙන් ජීවත් වීම
‘විවාහය’ යන්නෙහි අර්ථය බව පැරැන්නන්ගේ විශ්වාසය විය.
අතීතයේ අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම්ව සිදු වූ විවාහය අද ඇතැම් විට කඩදාසි
කැබැල්ලකට පමණක් සීමා වී ඇති බව පෙනේ. මෙම විවාහයේ සාර්ථකත්වය උදෙසා බුදුදහමින්
පෙන්වා දෙන උපදෙස් බොහෝ ය.
විවාහයට සුදුසු වයස් පරතරය පිළිබඳ බුදුදහම අනුමත කරනුයේ සම වයස් විවාහය හෝ පිරිමියා
තරමක් වයසින් වැඩි විවාහය යි. විවාහයේ දී සැමියාත් බිරියත් අතර විශාල වයස් පරතරයක්
තිබීම සමබර පවුල් ජීවිතයකට බාධාවක් බව සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ දී පෙන්වා
දෙනුයේ මෙලෙසිනි.
“අතීතයොබ්බනෝ පෝසෝ
ආනේති තිම්බරුත්ථනිං
තස්සා ඉස්සා න සුපතී
තං පරාභවතෝ මුඛං”
වයෝවෘද්ධ තැනැත්තෙක් තිඹිරි ගෙඩිවන් පියයුරු ඇති යොවුන් දැරියක් විවාහ කර ගතහොත් එම
පුද්ගලයා මානසිකවත්, කායිකවත් බිඳ වැටෙයි.
ඊට හේතුව ළා බාල බොළඳ දැරිය තමන්ගේ වසඟයේ තබා ගැනීමට නොහැකි වීමයි. ඇයගේ සිත වෙනත්
පිරිමින් කරා ගමන් කළ හැකි ය. ඒ නිසා මෙම වයෝවෘද්ධ තැනැත්තා නිඳී වරාගෙන ඇය ආරක්ෂා
කිරීමට උත්සාහ කරයි. මෙය පිරිහීමට කරුණකි.
මීට නිදසුනක් බෞද්ධ සාහිත්‍යයේ එයි. කෝට්ටේ යුගයේ දී වීදාගම මෛත්‍රීය හිමි විසින්
රචිත කාව්‍යශේඛරය තුළ එම කරුණු මනාව පෙන්වා දී ඇත. තමා සරණ පාවා ගත් බමුණා මහලු
තැනැත්තෙක් නිසා ගෙහි වැඩට සේවකයෙක් සොයා එන ලෙස පවසා ඔහු වෙනත් නගරයකට යවන අතර,
ඉන් පසු ඇය තමා හා වයස් මට්ටමේ පසුවන පුරුෂයකු හා සබඳතාවක් පවත්වනු ලබයි. එ නිසා
සෑම කෙනකුම තමන්ගේ වයසට සරිලන කෙනකු හා විවාහ විය යුතු ය.
බිරිඳගේ මානුෂික තත්ත්වය ආරක්ෂා කිරීමට සැමියකු බැඳීී සිටිය යුතු බව බුදුදහමේ සඳහන්
වේ. සැම විට ම ස්වාමියා බිරිය කෙරෙහි මානුෂිකව සිතිය යුතු ය. ඊට හේතු වශයෙන්
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කාන්තාවට ආවේණික වූ දුක් පහක් ඇති බවයි.
දහරොච සමානො පතිකුලං ගච්ඡති - බාල වියේදී ම දෙමාපියන් අතහැර සැමියකු සමඟ යාමට
සිදුවීම.
උතුනී හෝති - මාස් ශුද්ධිය ඇති වීම, ගබ්භිනී හෝති - ගැබ් ගැනීම,මාතුගාමෝ විජායති -
දරුවන් බිහි කිරීම හා පුරිසස්ස පාරිචරියං උපේති - සැමියාගේ සේවකයකු සේ කටයුතු
කරන්නට සිදු වීමයි.
මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් කාන්තාවන්ට ආවේණික වූ දුක් පහෙන් තුනක් ම ජීව
විද්‍යාත්මක හේතූන් වීමයි. අනෙක් කරුණු සමාජ විද්‍යාත්මක පසුබිමක පවතියි. එම නිසා
ජීව විද්‍යාත්මක සාධක මත පදනම්ව පුරුෂයා දැඩි මානුෂික තත්ත්වයකින් බිරිඳ දෙස බැලිය
යුතු ය.
තමන්ට වඩා බාල තරුණියක කෙරේ රාගික සිතිවිලි ඇති වුවහොත් ඇය තම නැඟනියක ලෙස සිතීමත්,
තමන්ට වඩා වැඩිමහල් ඇත්තියක කෙරේ එවැනි සිතිවිල්ලක් ඇති වුවහොත් තමන්ගේ මව හෝ
වැඩිමහල් සොයුරිය ලෙස සිතන ලෙසත් බුදුදහමේ පෙන්වා දී ඇත. ඒ තුළින් දැඩි ශික්ෂණයකට
පත්වීමට පුරුෂ පාර්ෂවයට හැකි වේ. මේ කී සිතිවිලි කාන්තාවකට ඇති වූ විට ඒ තමන්ගේ
සහෝදරයා, පියා හෝ පුතා ලෙස සිතා එය මැඩපැවැත්විය හැකි ය. එලෙස පුරුෂයන් හා
ස්ත්‍රීන් අන්‍යයන් කෙරේ ඇතිවන රාගික සිතිවිලි පාලනය කර ගැනීම සමබර පවුල් ජීවිතයකට
අතවශ්‍ය වන්නකි.
ස්ත්‍රියගේ රූපය, හඬ, ගඳ සුවඳ, ස්පර්ශය සහ රසය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන ඇති
බවත්, එසේ ම පුරුෂයාගේ රූපය, හඬ, ස්පර්ශය හා රසය ස්ත්‍රියගේ සිත හාත්පස අල්ලාගෙන
ඇති බවත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වන්නේ මෙලෙසිනි.
“නාහං භික්ඛවේ අඤ්ඤං ඒකරූපම්පි සමනුපස්සාමි, යං ඒවා පුරිසස්ස චිත්තං පරියාදාය
තිට්ඨති, යථයිදං භික්ඛවේ ඉත්ථිරූපං. ඉත්ථිරූපං පුරිසස්සං චිත්තං පරිදාය තිට්ඨතී.”
මෙයින් අදහස් කරන්නේ පුරුෂයාත් ස්ත්‍රියත් යන දෙදෙනා ම අනෝන්‍ය වශයෙන් සෑම අවස්ථාවක
ම දැඩි අවබෝධයකින්, ඔවුන් දෙදෙනාම පතාගෙන සිටින බවයි. එවිට ඔවුන් දෙදෙනාගේ දැඩි
බැඳීම මත විශ්වාසය ගොඩනැඟේ.
මාතුගාම වැනි සූත්‍රයන්හි දී සමබර පවුල් ජීවිතයේ ඇති වැදගත්කම බුදුරදුන් විසින්
පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.
නච රූපවා හෝති - රූපවත් නොවේ නම්, නච භෝගවා හෝති - ධනවත් නොවේ නම්, නච සීලවා හෝති -
සිල්වත් නොවේ නම්, අලසෝච හෝති - අලස වේ නම්, පජඤ්චස්සන න ලභති - දරුවන් නොමැති නම්
යන මේ කාරණා නිසා විවාහ වූවන් අතර ගැටීම් ඇතිවන බැවින් මේ ගැන සැලකිලිමත් වී
ක්‍රියා කිරීම වටින බවයි.
“ආකංඛ්‍යුං චෙ ගහපතයො
උභො ජාතිපතයො
දිට්ඨෙ චේව ධම්ම
අඤ්ඤමඤ්ඤං පස්සිතුං
අභිසමපරායඤ්ච අඤ්ඤමඤ්ඤං
පස්සිතුං උභො
ච අස්සු සමසද්ධා සමසීලා
සමචාගා සමපඤ්ඤා”
යනා දී ලෙසින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති පරිදි, කිසියම් ගෘහපති යුවළක් මේ
ආත්මයේ දී සතුටින් හා සැනසිල්ලෙන් වාසය කොට මරණින් මතු නැවතත් ඔවුනොවුන් හමුවීමට
බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් ගුණ ධර්ම සතරක් ආරක්ෂා කළ යුතු වේ. ඒ
සම සද්ධා - දෙදෙනා අතර ඇතිවන විශ්වාසය, සම ශීල - කය වචන දෙකෙහි සංවරභාවය, සම චාග -
දෙදෙනාගේ ත්‍යාගශීලී බව හා සම පඤ්ඤා - දෙදෙනාම නුවණැති වීම ය.
මේ කරුණු සම මට්ටමකින් පවතී නම් එම විවාහය සාර්ථක වන අතර, මේවා ප්‍රගුණ කිරීමෙන්
දෙව්ලොව ඉපදීමට ද නිර්වාණය ලැබීමට ද හේතුවෙයි.
නකුල මාතා හා නකුල පිතා යන දෙදෙනා ම බුදුරජාණන් වහන්සේගේ ඇගයීමට ලක් වන්නේ ඔවුන්
දෙදෙනා ම මේ ගුණ ධර්මවලින් ජීවිතය ගත කළ හෙයිනි. බුදුරදුන් හමුවූ මෙම දෙදෙනා
උන්වහන්සේට පවසන්නේ දැන් වයස 80 ක් වුවත් අප දෙදනා කවරදාකවත් කිසිම හේතුවක් නිසා
වෙනත් පුරුෂයකු හෝ කාන්තාවක් දෙස වැරැදි සිතින් නොබැලු බවත් තම තමන් දෙස අමනාප
දෑසකින්වත් බලා නොමැති බවයි. අපගේ ශරීර දෙකක් වුවත් එය එකක් වූ බව අපට දැනුන නිසා
මතු ආත්මයෙහිත් අප දෙදනා එකට මුණ ගැසීමට කැමති බවත්, ඔවුහු බුදුරජාණන් වහන්සේට
පැවසූහ. එම නිසා ඔවුන් ‘පරමවිස්සාසිකා’ හෙවත් කුළුපඟ පෙම්වතුන් ලෙසට උන්වහන්සේ
විසින් හඳුන්වනු ලැබූහ.
විවාහයට පත් වූ අඹු සැමියන් අතර යුතුකම් හා වගකීම් සමුදායක් පවතින බව සිඟාලෝවාද
සූත්‍රය විස්තරාත්මකව පෙන්වා දෙනු ලබයි. එම යුතුකම් කොටස් දෙකක් යටතේ දැක්විය හැකි
ය.
ස්වාමියා විසින් තම භාර්යාවට ඉටු කළ යුතු යුතුකම් පහකි.
සම්මානනාය - බුහුමන් කිරීම, අවමානනාය - අවමන් නොකිරීම, අනතිචරියාය - අන් අඹුවන්
සේවනය නොකිරීම, ඉස්සරියවොස්සග්ගේන - සැප සම්පත් දීම හා අලංකාරානුප්පදානේන -
අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීම ය.
භාර්යාව විසින් තම ස්වාමියාට ඉටු කළ යුතු යුතුකම් පහකි.
සුසංවිහිත කම්මන්තාච හෝති - හොඳීන් කටයුතු පිළියෙළ කරයි, සුසංගහිත පරිජනාච - පරිවාර
ජනයාට සංග්‍රහ කරයි, අනතිචාරිණීච - පරපුරුෂයන් සේවනය නොකරයි, සම්භතං අනුරක්ඛති -
වස්තුව ආරක්ෂා කරයි ,දක්ඛා ච හෝති අනලසා සබ්බ කිච්චේසු - අලස නොවී සියලු කටයුතුවල
යෙදෙයි.
ප්‍රීතීමත් යුග ජීවිතයක් ගත කරන අඔුසැමියන්ගේ යුග දිවිය එහි ස්වාභාවය අනුව කොටස්
සතරක් බව බුදුහිමියන් විසින් අංගුත්තර නිකායේ චතුසංවාස සූත්‍රයේ පෙන්වා දෙන්නේ
මෙලෙසිනි.
ඡවෝ ඡවාය සද්ධිං සංවසති - මළ මිනියක් මළ මිනියක් සමඟ වාසය කිරීම
ඡවො දේවියා සද්ධිං සංවසති - මළ මිනියක් දෙව් දුවක හා වාසය කිරීම
දේවෝ ඡවාය සද්ධිං සංවසති - දේව පුත්‍රයෙක් මළ මිනියක් සමඟ වාසය කිරීම දේවෝ දේවියා
සද්ධිං සංවසති - දේව පුත්‍රයෙක් දෙව් දුවක හා වාසය කිරීම ය.
යුග ජීවිතයේ මෙම අවස්ථා හතරෙන් බුදුරජාණන් වහන්සේගේ ඇගයීමට ලක් වන්නේ සිව්වන
අවස්ථාව පමණි.
යම් අඹුසැමි යුවලක් පස්පව්වල යෙදී, ගෘහ ජීවිතය පවත්වා ගෙන යමින්, සිල්වත් මහණ
බමුණන්ට ආක්‍රෝස පරිභව කරන ස්වාභාවයෙන් යුක්ත නම්, ඔවුන් දෙදෙනා මළ මිනී දෙකක් එකට
වාසය කිරීමක් හා සමාන ය.
බිරිඳ හෝ ස්වාමියා පමණක් පස්පවින් තොර වූ පමණින් පවුල් ජීවිතය සාර්ථක වන්නේ නැත.
දෙදෙනා තුළ ම සමානව සදාචාරය පැවතිය යුතු ය. දෙදෙනාම සදාචාරාත්මක ව පවුල් ජීවිතය
පවත්වාගෙන යන්නේ නම්, එම පවුල් ජීවිතය දෙව් පුතකු හා දෙව් දුවක සමඟ එකතුවීමක් හා
සමාන ය.
පන්සිල් සුරකින අඹු සැමි යුවලකගේ ජීවිතය තුළ කිසිදු ආකාරයක අයහපතක් හෝ පරිහානියක්
දක්නට නොලැබේ. එය මෙලොව ජීවිතයේ දී පමණක් නොව පරලොව ජීවිතයේ ද සතුටට හේතු වන බව
බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී විස්තර කළහ.
මෙසේ විවාහයට පත් වන භාර්යාවන් කොටස් 7 ක් යටතේ දැක්විය හැකි බව සත්තභරියා සූත්‍රයේ
දැක්වෙනුයේ මෙලෙසිනි.
වධක භාරියා - වධකාවියක් වැනි භාර්යාව
“පදුට්ඨචිත්තා අහිතානුකම්පිනී
අඤෙඤසුරත්තා අතිමඤඤතෙ පතිං
ධනේන කිත්තස්ස වධාය උස්සුකා
යා ඒව රූපා පුරිසස්ස භරියා
වධකාව භරියාතිච සා පවුච්චති”
තම ස්වාමියාට දුෂ්ට වන්නේ ද, අනුකම්පා සහගත නොවී පහත් අන්දමින් කටයුතු කරන්නේ ද,
ඔහු පහත් කොට සලකා අන්‍ය පුරුෂයන් කරා එළඹෙන්නේ ද, පුරුෂයා උපයන ධනය නොමනා ලෙසින්
විනාශ කරන්නේ ද එවන් වූ බිරිය ‘වධක භරියා’ නම් වේ.
චෝර භරියා - සෙරක් වැනි භාර්යාව
“යං ඉත්ථීයා වින්දතී සාමිකෝ ධනං
සිප්පං වාණිජ්ජංච කසිං අදිට්ඨහං
අප්පම්හි තස්මා අපහාතු මිච්ඡතී
චෝරීව භරියා තිව සා පවුච්චති”
යම් බිරියක් තම ස්වාමියා සී සෑම්, වෙළඳාම් හා තමන්ගේ ශිල්පීය ක්‍රම මඟින් කර්මාන්ත
ආදියෙන් උත්සාහවන්තව සොයන ධනය අසාධාරණ ලෙස ඉතා පහත් අන්දමින් සොරකම් කොට හෝ අන්
පුරුෂයන්ට හෝ දෙමින් තමන් සිත් පරිදි වියදම් කරන්නේ ද එසේ දිවි ගෙවන්නී ‘චෝර භරියා’
නම් වේ.
අය්‍ය භරියා - අධිපති භාර්යාව
“අකම්ම කාමා අලසා මහග්ගා
පරුෂාච චණ්ඩී දුරුත්තවාදිනී
උපට්ඨාය කානං අභිග්ගුය වන්තිනී
අය්‍යාච භරියාති ච සා පවුච්චතී”
යම් බිරියක් බොහෝ සේ කම්මැලි වන්නේ ද, ගෙහි නෑදෑයින්ගේ කටයුතු නුරුස්සන්නේ ද,
කටයුතු පැහැරහරිමින් කෑදර ලෙස ආහාර ගන්නේ ද, ස්වාමියාට, නෑයින්ට හා දැසි - දස්
කම්කරුවන්ට සැඩ පරුෂ නොමනා වචනයෙන් කථා කරන්නේ ද, නිවසේ අධිපතිනියක් සේ කටයුතු කරයි
ද ඇය ‘අය්‍ය භරියා’ හෙවත් ස්වාමි භරියා නම් වේ.
මාතු භරියා - මවක් වැනි වූ බිරිය
“යා සබ්බදා හෝති හිතානුකම්පිනී
මාතංච පුත්තං අනුරක්ඛතේ පතිං
තතෝ ධනං සම්භතමස්ස රක්ඛතී
මාතාච භරියාතිච සා පවුච්චතී”
තම ස්වාමියා කෙරෙහි මුළු දිවිය පුරා හිතානුකම්පීව, සෙනෙහසින් යුතු මවක් තමන්ගේ පුතු
සැම අයුරින් ම ආරක්ෂා කරන්නේ යම් සේ ද එසේ ස්වාමියාට ලැදිව ඔහු සතු සියලු ධනය රැක
ගනිමින්, අරපිරිමැස්මෙන් හා ලෝභයෙන් තොරව, පමණ දැන සුදුසු දේට පමණක් වියදම් කර, දිය
යුතු තැනට දෙමින් තම ස්වාමියාට මවක සේ කටයුතු කරයි නම්, ඇය ‘මාතු භරියා’ නම් වේ.
භගිනි භරියා - සහෝදරියක් වැනි වූ බිරිය
“යථාපි ජෙට්ඨෝ භගිනී කණිට්ඨකා
සගාරවාහෝති සකම්හි සාමිකෝ
හිරිමතා භත්තු වසානු වත්තිනී
යා ඒව රූපා පුරිසස්ස භරියා
භගිනීව භරියා තිච සා පවුච්චතී”
තම වැඩිමහල් සහෝදරයාට නැඟනියක් පවතින්නේ යම් සේ ද, හිරි - ඔතප් සහිත වූ මනා වූ
සංවරයෙන් යුතු ව ඉතා කීකරුව, ස්වාමියාට හා නෑයින්ට යටහත් පැවතුමෙන් යුතුව, මුළු
දිවිය පුරා ස්වාමියාගේ ආරක්ෂාව සලසා සන්සුන්ව දිවි ගෙවන්නේ ද ඇය ‘භගිනි භරියා’ නම්
වේ.
සඛි භරියා - මිතුරියක හා සමාන බිරිය
“යාවීද දිස්වාන පතින් පමෝදිතා
සඛින් සංඛාරංව චිරස්ස ආගතං
කෝළ්‍යෙකා ශිීලවතී පතිබ්බතා
සා ඒව රූපා පුරිසස්ස භරියා
සඛීව භරියාතිච සා පවුච්චතී”
ස්වාමියා හා තමාගේ පෙළපත සෑම මොහොතකම උසස්කොට සලකන්නේ ද, පරපුරෙහි ගෞරවය රකින්නේ ද,
මිතුරකු සේ පිහිට වන්නේ ද, එසේ ම උපකාර කිරීම් හා පිළිගැනීම් ආදිය පවත්වා සිත සතුටු
කරන්නේ ද, ප්‍රමෝදය පිබිදුණු ගති ගුණ ඇත්තේ ද, පතිවෘත්තාවයෙන් සුශීල වන්නේ ද ඇය
‘සඛි භරියා’ නම් වේ.
දාසි භරියා - දාසියක් හා සමාන බිරිය
“අකුට්ඨ සන්තා වධ දණ්ඩ තජ්ජිතා
අදුට්ඨ චිත්තා පතිනො තිතික්ඛති
අක්කෝධනා භක්තු වසානු වත්තිනී
යා ඒව රූපා පුරිසස්ස භරියා
සඛීච භරියා නිච සා පවුච්චතී”
ගෘහ දිවියේ ඇතැම් ස්වාමිහුගේ වධ හිරිහැර ද, පවුලේ සියලු දුක් කම්කටොලු නොසැලී
ඉවසන්නේ ද, පරපුරට ගරුසරු සහිතව යටහත් පැවතුම් ඇත්තේ ද, වධ දණ්ඩණවල දී තැති ගන්නා
සුලු වූ ද, ස්වාමියාගේ සැර පරුෂභාවය පිළිබඳ අවබෝධයෙන් ඊට සරිලන ලෙස කටයුතු කරන්නේ
ද,
කුමන ප්‍රශ්න තිබුණත් සියල්ල ඉවසා ස්වාමියාට ඇති සෙනෙහස රැක ගනිමින් පවුලේ දියුණුව
අගය කරන ඉවසන බිරියක් වේ ද ඇය ‘දාසි භරියා’ නම් වේ.
මෙහි සඳහන් වධක, ස්වාමි, හා චෝර යන භාර්යාවන් දුස්සීල ස්වභාවය ඇතිව ස්වාමියාට
අනාදරය කරන්නේ ද ඔවුන් මරණින් මතු අපායගාමී වන බවත්, සෙසු භාර්යාවන් සිව්දෙනා
මරණින් මතු ස්වර්ගයට යන බව ද බුදුහිමියන් මෙම සූත්‍රාවසානයේ දි පෙන්වා දෙන ලදී.
මෙලෙස දැහැමි පවුල් ජීවිතයක් ගත කරමින් අඹු දරුවන් පෝෂණය කරන පුද්ගලයාට සදෙව්ලොවට ම
අධිපති ශක්‍රයා ද නමස්කාර කරන බව සංයුත්ත නිකායේ සක්කනමස්සන සූත්‍රයේ මෙසේ දැක්වේ.
“යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තා උපාසකා
ධම්මේන දාරුං පෝසෙන්තී
තං නමස්සාමි මාතලී”
මේ කරුණු සියල්ලෙන් මනාව පැහැදිලි වන්නේ සිඟාලෝවාද, සත්තභරියා, සක්කනමස්සන,
චතුසංවාස ආදී සූත්‍ර ඔස්සේ බුදු දහම තුළ සාර්ථක විවාහ ජීවිතයක් සඳහා සදූපදේශයන්
රාශියක් පෙන්වා දි ඇති බවයි. |