තමන්ගේ ගෞරවය ගැන හිතනවා නම් අනුන්ට අගෞරව නොකරන්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ,
සහකාර කථිකාචාර්ය,
මොරවක සිරි ධම්මරක්ඛිත හිමි
අසුරින්ද බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඇසුරෙහි පැවිදි දිවියට එළඹීමෙන් පසු
බිලංගික නම් බ්‍රාහ්මණයා ද බුදුරදුන් සමීපයට එළඹ, බැණ වැදීමට නොහැකිව සිතින් අපහාස
කරමින් සිටියේ ය.
මේ පිළිබඳ දත් බුදුරජාණන් වහන්සේ යමකු විසින් නිවැරැදි හා පිරිසුදු අයකු කෙරෙහි
ක්‍රෝධයෙන් කටයුතු කරයි ද, බැණවදී ද, උඩු සුළඟට දැමූ දූවිල්ලක් නැවත තමා කරා
පැමිණෙන්නේ යම් සේ ද, එසේම එහි විපාකය ද එම අනුවණයා කරාම එළඹෙන වග දේශනා කළහ.
ක්‍රෝධයෙහි විපාක දිට්ඨධම්මවේදනීය ලෙස විපාක දුන් අවස්ථාවක් පිළිබඳ ප්‍රවෘත්තියක්
ධම්මපද අටුවාවේ දැක්වේ.
උදෑසනම සුනඛයන් පිරිවරා ආයුධ ද ඇතිව දඩයමේ යමින් සිටී කෝකාලික නම් වැද්දා භික්ෂුවක
දැක
“අද නම් කිසිදු දඩයමක් කර ගැනීමේ හැකියාවක් නොලැබේ” යැයි සිතා භික්ෂුව කෙරෙහි
ක්‍රෝධ සිතින් එම භික්ෂුව දෙසට සුනඛයන් උසිගන්වන ලදී.
තැනට සුදුසු නුවණ භාවිත කළ භික්ෂුව ක්ෂණයෙන් ගසකට නැඟ ගත්තේ ය. ගස යටට පැමිණි
වැද්දා විවිධ ආයුධ තුළින් භික්ෂුවගේ පාදයන්ට ඇන තුවාල සිදු කරන ලදී. භික්ෂුව විසින්
බේරීමට තැත්කිරීමේ දී හදිසියේ ම සිවුර ගැලවී වැද්දාගේ ඇඟ මතට වැටුණි. භික්ෂුව බිමට
වැටුණේ යැයි සිතූ බල්ලන් විසින් වැද්දා මරා දමන ලදී.
කෝපයේ විපාක අනුවණයා කරා එළැඹීමට වැඩිකල් ගත නොවන වග ඉන් තහවුරු වේ.
තවද, කෝපයේ විපාක ලෙස සසර ගමනේ දී ශරීර බිඳීම්, දරුණු වේදනාවන්ට හා රෝගයන්ට
ලක්වීම්, නිස්කාරණ දෝෂාරෝපණ ආදීන්ට ලක්වන වග ධම්මපදයේ දසවන වර්ගයේ තවදුරටත් විස්තර
කෙරේ.
කෝපය ඇතිවීමට බලපාන සාධක බොහෝමයක් ඇතත්, ඒ අතුරින් එක් හේතුවක් දීඝනිකායේ අම්බට්ඨ
සූත්‍රයට අනුව මෙලෙස දක්වනු ලැබේ.
අම්බට්ඨ නම් බ්‍රාහ්මණයා දිනක් තරුණ ශාක්‍ය කුමාරවරු සාකච්ඡා කරමින් සිටින ශාලාවකට
පැමිණියේ ය. කිසිවකු විසින් ඔහුට ගෞරවයක් නොදැක්වූ අතර, පැමිණ ඉඳගන්නා ලෙසට හෝ
කිසිවකු විසින් ඇරයුම් කළේ නැත.
මේ නිසා කෝපයට පත් බ්‍රාහ්මණයා ශාක්‍යයන්ට බැණ වැදුණේ ය. එවිට බුදුරජාණන් වහන්සේ
කැට කිරිල්ලියකට පවා උගේ කූඩුව තුළ කැමති සේ කතා කිරීමට හා හැසිරීමට නිදහස ඇති
බවත්, එමනිසා තරුණ පිරිසක් අස්සට රිංගා ඔවුන්ගේ නිදහසට හානි කොට ඔවුන්ගෙන් නොලැබෙන
ගෞරවයක් බලාපොරොත්තුවීම හිස් වූවක් බවත්, මෙවැනි සුළු දෙයකින් කිපීම කිසි ලෙසකින්
නොකළ යුත්තක් බවත් දේශනා කළහ.
බුදුන් වහන්සේට පවා එකල අගෞරව කළ මිනිසුන් කොතරම් සිටියත්, උන්වහන්සේ කිසිවිටෙක කෝප
නොගත්හ. ඒ, ආධ්‍යාත්මිකව සිත දියුණු කළ ඇත්තන් අන් අයගෙන් ගෞරව බලාපොරොත්තු වී
කෝපයට හෝ ශෝකයට පත් නොවනා බැවිනි.
මෙම කරුණු නුවණින් විමසා, ලැබුණු මිනිසත් බව තුළ සැනසීම නැති කරන, ශෝකය වඩවන
‘ක්‍රෝධය’ නම් සිතිවිල්ල විෂ මුලක් මෙන් දැන, එය ඇතිවීමට බලපාන හේතු නැසීමට අප
ප්‍රඥාවන්ත විය යුතු ය. ඒ තුළ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කෙරෙහි සියල්ලෝ
අධිෂ්ඨානශීලී වෙත්වා. |