ස්වාක්ඛාත සදහම් ගුණය
“අභිඤ්ඤායාහං භික්‍ඛවේ ධම්මං දෙසෙමි නො අනභිඤ්ඤාය සනිදානාහං භික්‍ඛවේ ධම්මං දෙසෙමි
නො අනිදානං සප්පටිහරියානං භික්‍ඛවේ ධම්මං දෙසෙමි තො අප්පටිහාරියං තස්ස මය්හං
භික්‍ඛවේ අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං
සප්පටිහරියං ධම්මං දෙසයතො නො අප්පටිහාරියං කරණියෝ ඕවාදො කරණියා , අනුසාසනී, අලංච පන
වො තුට්ඨියා අලං අත්තමනනාය අලං සොමනස්සාය සම්මා සම්බුද්ධෝ වත භගවා ස්වාක්ඛාතෝ ධම්මො
සුපටිපන්නො සංසොති.
(අංගුත්තර නිකායේ තිකනිපාතය)
“ මහණෙනි, මම ධර්මයන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම දැන දේශනා කරමි. නොදැන දේශනය නොකරමි.
හේතු සහිතව දේශනය කරමි. හේතු රහිතව නොදෙසවයි. විරුද්ධවාදීන් බැහැර කිරීම් වශයෙන්
ප්‍රතාහාර්ය සහිතවම ධර්මය දේශනා කරමි. ප්‍රාතිහාර්ය රහිතව නො දෙසවමි. මහණෙනි , එසේම
ධර්මය දේශනා කරන්නා වු මාගේ අවවාදය අනුශාසනය කළ යුතු ය. මහණෙනි භාග්‍යවන්තුන්
වහන්සේ ඒකාන්තයෙන් ම සම්‍යක් සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුප්‍රතිපන්නයයි.
සතුටු වීමට සුදුසු ය”
යනු එහි අර්ථයයි. සසර සැරිසරන සත්වයා අන්ධකාරයෙන් මෝහණය වී සත්‍ය අසත්‍යය වටහාගත
නොහැකිව උන්මත්තකයන් මෙන් කටයුතු කරන කාලයක දී ලොව්තුරා දහම දේශනා කළ සේක. අවබෝධ
කරගත යුතු සියලු දහම මනාව අවබෝධය කරගත් උන්වහන්සේ දහම් පිපාසයෙන් සිටි, සත්වයාට
මනාව දේශනා කරමින් ලෝවැසි සත්වයා යහමගට ගත්හ.
උදාරතරම ගුණයෙන් පෝෂණය වූ මෙම දහම ලෝකයාට දේශනා කිරීමට පටන්ගත් විට “අන්ධයන්ට ඇස්
පෙනීම ද, ගොලුවන්ට කථා කිරීමට ද, බිහිරන්ට කන් ඇසීමත් සිදුවූයේ” අශ්චාර්යමත්
ලෙසිනි. සිදුහත් ගෞතම බුදුන්වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ හැම වචනයක් තුළින්ම
දහස් සංඛ්‍යාත සත්වයන් සුමගට යොමු වූහ.
තථාගතයන් වහනසේ දේශනා කළ එම සාරධර්මයේ ඇති ප්‍රධානතම ගුණ 06 න් වටිනාම ගුණයන් ලෙස
ස්වාක්‍ඛාත ගණය හැඳීන්වීමට පුළුවනි. බුදුන් වහන්සේ දේශනා කළ මෙම දහම පරම සත්‍යයක්
වන බැවින් ද, මුල, මැද, අග යන තුන්තැනින් කොතැනකවත් පිරිවිය යුතු අඩුවක් නැති
බැවින් ද, සකස් කළ යුතු තැනැක් නැති බැවින් ද, නිශ්ඵලය වැඩිය කියා බැහැර කළ යුත්තක්
නැති බැවින් ද ඒ ධර්මයන් අපාය දුඛ්‍යයන්, සංසාර දුක්ඛ්‍යයන්, මිදි සගමොක් සැප
ලැබීමේ නොවරදින ප්‍රතිපදාවක් දක්වන ලද බැවින් ද, ඒ ධර්මය අනුව පිළිපදින්නවුන් ට ඒ
පිළිපැදීමෙන් ලෞකික ලෝකෝතර සකල සම්පත්තීන් ම ලැබිය හැකි බැවින් ද ඒ ධර්මය
“ස්වාක්ඛාත ධර්මයක්” වන බව විසුද්ධිමාර්ගයේ දක්වා ඇත.
ලෝකයේ පහළ වූ නොයෙක් ශාස්තෘවරුන් විවිධ දහම් ඉදිරිපත් කර ඇත. එනමුත් එම දහම තුළ
නිසි හරයක් ලබන්නට ශ්‍රාවකයාට හැකියාව නැත. එම ශාස්තෘන් ඉදිරිපත් කළ දර්ශනයන්
තුළින් ශ්‍රාවකයාට නියම විමුක්තිය ලබා ගැනීමට නොහැකි ය. ශ්‍රාවකයන් එම දහම තුළ
ඇතැම්විට මුළාවට පත්වේ. මනස වික්ෂිප්ත වේ. යා යුතු මාවත නොපෙනෙයි.
නමුත් සිදුහත් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ දර්ශනය තුළ සත්වයා අන්ධකාරයේ
සිට ආලෝකය කරා පැමිණෙන්නා සේ, යථාර්ථවාදී සුවයක් වින්දනය කළ සේක. එම අමාමහ නිවන්
සුවය ලැබීමට හැකියාව ඇත්තේ බෞද්ධ දර්ශනය තුළින් පමණි.
“ධම්මං විනා නත්ථි පිතාච මාතා
නමෙව තාණං සරණං පතිට්ඨා
තස්මා හි භො කිච්චමඤ්ඤප්පනාය
සුනාථ ධාරෙථ චරාථ ධම්මෙ”
රසවාහිනිය නැමති ග්‍රන්ථය තුළ සඳහන් ඉහත ගාථාව තුළින් පැහැදිලි වන්නේ “ධර්මය හැර
සත්ත්වයනට මවක් , පියෙක් නැත. ඒ ධර්මය ම සත්ත්වයනට ආරක්‍ෂාව ය, සරණ ය, ප්‍රතිෂාඨාව
යයි, පින්වතුනි, එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසව් ධර්මයෙහි හැසිරෙව්.
යනුවෙන් සඳහන් වේ.
මෙම නිර්මල වු ස්වාක්ඛාත ගුණයන්ගෙන් පෝෂණය වු දහම තුළ ජීවත්වන පුද්ගලයාට විමුක්තිය
උදාවෙයි. කල්ප සිය දහස් ගණනකින් ලැබිය හැකි දුර්වල වු මිනිසත් බවක් ලබා, කල්ප සිය
දහස් ගණනක් ගත වුවත් ඇතැම් විට කනට අසන්නට හැකියාව නොලැබෙන මේ නිර්මල දහම යම් තැනක
දී අසන්න ලැබෙනවා නම්, මනාව ඇසිය යුතු ය. බුදුරජාණන් වහන්සේ සසර සැරිසරා පාරමි දම්
පරිපුර්ණත්වයට පත්කරමින් අවබෝධ කර ගත් මේ ශ්‍රේෂ්ඨ වු නිර්මල සද්ධර්මය තිරිසන් බව
මුදවා සත්වයාට සැනසුම උදාකරයි. කිසිදු තැනකට ශ්‍රාවකයාට ප්‍රශ්නයක් ගැටලුවක් මතු
නොවන ආකාරයට හැම තැනම සම්පුර්ණ ව යථාර්ථවාදි ව දේශනා කර ඇති ස්වාක්ඛාත ආදි
ගුණයන්ගෙන් හෙබි මෙම දහම අනුව ජීවත් වෙමු.
සිතුල්පව්ව රාජමහා විහාරවාසි
යෝධකණ්ඩිය ශ්‍රී දේවානන්ද
මහා විද්‍යාලයේ ආචාර්ය
ශාස්ත්‍රවේදී
බෝපාගොඩ නාගිත හිමි |