නිකිණි පුර අටවක 2022-08-05
වචනයක බලය
වචනය අපූර්ව මෙවලමකි. ලෝකයක් සනසන්නට සේ ම වනසන්නට ද වචනයට පුළුවන. මුදු වචනය සිත්
පහදන්නේ ය. රළු වචනය සිත් රිදවන්නේ ය. දැවෙන තැවෙන සිතකට මුදු වදන අපමණ සිසිලක්
සුවයක් ගෙන දෙයි. යහපත් වූ ත්, සත්‍ය වූ ත් මුදු වචන කතා කරන කෙනෙක් වේ නම් ඔහු
තමන්ට සේ ම සමාජයට ද අර්ථකාරී පුද්ගලයෙකි.
එහෙත් ඔවුනොවුන් අතර ගැටුම් ඇතිකරන, සමාජය උඩුයටිකුරු කරන වචනය මහා විනාශයක
මූලාරම්භය ද විය හැකි ය. වචනය පුදුම සහගත මෙවලමක් වන්නේ එහෙයිනි.
වචනය අර්ථවත් ලෙස භාවිතයේ යෙදවීමේ අගය අන් කවරදාටත් වඩා මෙකල දැඩිව දැනේ. ඒ පවුල්
පරිසරයෙන් ආරම්භ වී ගමක, රටක,ලෝකයක සාමකාමී බවට, සහජීවනයට, දියුණුවට, ප්‍රශ්න
නිරාකරණයට වචනය මහත් බලපෑමක් සිදු කරන බැවිනි.
සම්බුදු දහමේ අසත්‍ය වචනය සපුරා ප්‍රතික්ෂේප කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළේ බොරු කිව හැකි පුද්ගලයාට කළ නොහැකි වරදක් නැති බවයි. මුවින් පිටවන වචනයේ
බරපතළකම නිසාම උන්වහන්සේ වචන භාවිතය අනුව මේ ලෝකයෙහි පුද්ගලයින් තිදෙනෙක්
විද්‍යාමාන වන බව පෙන්වා දුන්හ. ඒ ගූථභාණී, පුප්ඵභාණී, මධුභාණී යනුවෙනි.
ගූථභාණී පුද්ගලයා යනු අශූචි බඳු වචන ඇත්තා ය. ස්වල්ප වුව ද අශූචි දුර්ගන්ධ ය.
කිසිවෙක් පි‍්‍රය නොකරන්නේ ය. දුරින් දුරු කරන්නේ ය. එහෙත් අපේ ඇතැම් වචන ද අසූචි
හා සම ය. එහෙත් බොහෝ දෙනෙක් ඒ දුර්ගන්ධවත් වදන් බැහැර කරනවා වෙනුවට නිරන්තරයෙන්
භාවිත කරමින් වටපිටාව ද දුර්ගන්ධවත් කරන්නේ ය. එවැනි ගූථභාණීහු කවරහුද?
යම් පුද්ගලයෙක් සභාවක් මැදට පමුණුවයි. පිරිසක් අතරට, ඥාති සමූහයා මැදට ගෙන්වයි. එසේ
ගෙන්වා යම්කිසි දෙයක් පිළිබඳ කියා ඔබ දන්නා දෙය කියන්නැයි ඇසින් දුටු දේ ගැන
විමසයි. එවිට ඒ පුද්ගලයා නොදන්නා දෙය ‘දනිමි’ යැයි කියයි. දන්නා දෙය ‘නොදනිමි’
කියයි. නොදුටු දෙය දුටුවෙමි’යි කියයි. දුටු දෙය නොදුටුවෙමි’ යි කියයි.
මෙසේ ඔහු දැන දැනම බොරු කියන්නේ යම් පරමාර්ථයකිනි. ඒ තමන්ගේ ආරක්ෂාවට විය හැකි ය.
එක්කෝ අනුන් ආරක්ෂා කිරීමට විය හැකි ය. එසේත් නැතිනම් තමන්ට ලාභයක් වෙනුවෙන් විය
හැකි ය. මෙවැනි පිරිස් අප අතර කොතෙක් නම් වේ ද? ඇඳුමෙන් පැළඳුමෙන්, ගමන් විලාසයෙන
උසස් යැයි පෙන්වීමට උත්සාහ ගත්තද වචනයෙන් ඔවුහු ගූථභාණීහු ය. තමන් දුර්ගන්ධවත් වී
සමාජයද දුඟද පතුරුවන්නෙන් ය. එවැනි බොරුවක් නිසා තමන් සැනසෙනවා විය හැකි ය. එහෙත්
තවත් කෙනකුගේ ජීවිතයට මහා අනතුරක් ඒ තුළ ගැබ්වී තිබෙන්නට පුළුවන. සෘජු ප්‍රතිපත්ති
ඇති පුද්ගලයකු කිසි කලෙකත් එවැනි තැනකට නොවැටෙන්නේ ය. ඒ, කවර ලාභයක්, පිළිගැනීමක්
හමුවේ වුව තම ප්‍රතිපත්ති පාවා නොදෙන බැවිනි. සැබෑ බෞද්ධයා ද එවැන්නෙකි. ඔහු තුළ
බොරුවට ඉඩ නැත. රැවටීමට ඉඩ නැත. ඔහු තමන්ගේ ආරක්ෂාව වනුවෙන්වත්, අනුන්ගේ ආරක්ෂාව
වෙනුවෙන්වත්, ලාභාපේක්ෂාවෙන්වත් බොරු නොකියන්නේ ය.
තමන් ගැන නිවැරැදි තක්සේරුවකට පැමිණිය යුතු ය. තමන් දුටු නොදුටු දේ ගැන මෙවැනි බොහෝ
අවස්ථාවන්ට මුහුණ දෙන්නට අපට ද සිදුවනු ඇත. යම් හෙයකින් බොරුවක් පැවසුවේ නම්, ඒ
මොහොතේ සිට ම යමකින් බේරුණා යැයි, යමක් ලැබුණා යැයි සැබෑ ලෙසම සතුටු විය නොහැකි ය.
එක් අතෙකින් එය පාප කර්මයකි. කළ කම්වලට විපාක ගෙවන්නට ම සිදුවනු ඇත. එහෙයින් වචනය
නම් වූ අවිය නිවැරැදිව හැසිරවිය යුතු ම ය. එය තමන්ගේ ද, සමාජයේ ද යහපත පිණිස ම ය.
සදහම් මඟ යන්නා දුර්ගන්ධවත් පුද්ගලයෙක් නොව සුගන්ධවත් පුද්ගලයෙක් ම ය. |