මහත්ඵල මහානිශංස ලැබෙන ලෙස
පින් කරන්නේ මෙලෙසයි
බුදුපාමොක් මහා සංඝ රත්නයට දෙන දක්ෂිණාවට වඩා ඇසුරු සැණක් ගසන මොහොතක් අනිත්‍ය
සංඥාව වැඩීම උසස් අනුසස් ය. (වේලාම සූත්‍රය ඇසුරිනි)
බුදු සසුනෙහි තිසරණ සරණ ගතවූ බෞද්ධයකුට පරිත්‍යාග කරනු ලබන ඉතා ස්වල්ප වූ දානයකින්
වුව ද මහත් වූ කුසලයක් ලැබෙන බවත්, ඊටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන
දානයෙන් ලැබෙන කුසලය මහත්ඵල මහානිසංස වන බවත්, ඊටත් වඩා අසුර සැණක් තරම් සුළු
මොහොතක් ‘අනිත්‍ය සංඥාව“ වඩනවා නම් යම් අයකුගේ එම කුසලය සියලුම කුසල් ශක්තීන්
අභිබවා නැඟී සිටින්නේ යැයි, යන පණිවිඩය සන්නිවේදනය කිරීමට බුදුපියාණන් විසින් දේශනා
කළ වේලාම සූත්‍රය සමත් වී ඇත.
මහා දානමය පින්කම් පැවැත්වූ අනාථපිණ්ඩික සිටුවරයාගේ ධනය පිරිහීම නිසා අවසානයේ
නිවුඩු හාලේ බතත්, කාඩි හොද්දත් පමණක් දන් දීමට සිදු විය. බුදුරජාණන් වහන්සේ
සිටුවරයාට පැවැසුවේ ප්‍රණීත නොවූ දානයක් වුවත් උතුම් ශීලයක පිහිටලා, සියතින් ම සකස්
කොට, ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන්, කර්මය, කර්මඵලය විශ්වාස කරගෙන සුදුසු
ප්‍රතිග්‍රාහකයකුට දෙනු ලබන දානයේ ආනිසංස වැඩි බවයි.
අබුද්ධෝත්පාද සමයක දෙනු ලබන මහා දං වැටක් වුවත් එහි ආනිසංස මහත්ඵල මහානිසංස නොවන්නේ
තිසරණ සරණ ගිය ප්‍රතිග්‍රාහකයකු එහි නියෝජනය නොවුණ නිසා යැයි අනාවරණය කිරීම සඳහා
වේලාම බ්‍රාහ්මණයාගේ දානය ගැන ද බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
අතීතයේ දඹදිව අසූහාර දහසක් පමණ වූ රජවරුන්ගේ ආචාර්යවරයකු වූ ධනවත් වේලාම නම්
බ්‍රාහ්මණ පඬිවරයා මහා දන්වැටක් පැවැත්වීය. ඔහු රජවරුන්ගේ ද සහයෝගය ලබාගෙන රිදියෙන්
පිරුණ, රන් පාත්‍ර අසූහාර දහසක් ද, රනින් පිරුණු රිදි පාත්‍ර අසූහාර දහසක් ද, රන්
රුවනින් පිරුණු ලෝහ පාත්‍ර අසූහාර දහසක් ද, අශ්ව රථ කිරි එළදෙනුන් ඇතුන්, අස්වයින්
දාස දාසියන්, කන්‍යාවන්, අසූහාර දහස බැගින් දන් දුන්නේ ය. පංච මහා ගංගාවන් ගලන්නා
සේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, මිල මුදල් ආදී භව භෝග සම්පත් ද අඩුවක් නොකොට දන් දුන්නේ
ය. මෙසේ අවුරුදු ගණනාවක් දන්දීම සිදුකළ වේලාම බ්‍රාහ්මණයා වෙන කවුරුවත් නොව තමන්
යැයි ද වදාළහ.
බුද්ධ ශාසනයෙහි තිසරණගත වූ, සෝවාන් මඟ පිණිස පිළිපන් බෞද්ධයකුට ආහාර වේලක්
පිරිනැමීමෙන් ලබන කුසලය ඉහත සඳහන් දන්වැට පැවැත්වීමෙන් ලබන කුසලයට වඩා මහත්ඵල
මහානිසංස බව අනාථපිණ්ඩික සිටුවරයාට වදාළහ.
තවද සෝවාන් ඵලස්ථ ආර්යයන් වහන්සේ කෙනකුට දෙන දාන වේල සියයකට වඩා සකෘදාගාමි කෙනකුට
දෙන එක දන්වේලක් ඊටත් වඩා මහත්ඵල වන බවත් මෙසේ පිළිවෙලින් ඉහළ අනුසස් වැඩිවී ගොස්
මහ රහත්, පසේබුදු, සම්මා සම්බුද්ධ යන උත්තමයන්ට දෙනු ලබන දාන පරිත්‍යාගය ඊටත් වඩා
උතුම් බව වදාළහ.
මෙලෙස දාන ආනිසංස ගැන වදාරන බුදුපියාණන් වහන්සේ අවධාරණය කරන්නේ මලක් සිඹින සුළු
මොහොතක් තුළ මෛත්‍රී භාවනාව වඩනවා නම්, යම් අයකු ඉන් ලබන කුසලය ඊටත් වඩා මහත් ඵල
මහානිසංස වන බවයි.
තවද අසුරු සැණක් ගසන තරම් සුළු මොහොතක් අනිත්‍ය සංඥාව යමකු වඩනවා නම් එහි ආනිසංස ඒ
සියල්ල අභිබවා නැඟී සිටින බවයි. සෑම බුදුවරයකු ම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව
වර්ණනාකර ඇත්තේ මේ නිසා ය. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර සර්වඥයන්
වහන්සේගේ පාදමූලයෙහි දී සුමේධ බෝධි සත්වයන් ලෙස නියත විවරණ ලබාගෙන පාරමි දහම් පූරණය
කළේ ප්‍රතිපත්ති පූජාව පිණිස ය.
මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.
“ යෝ ඛො ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා
උපාසකොවා, ම පටිපන්නො ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති. සාමීචි පටිපන්නො අනුධම්මචාරි ,
සො තථා ගතිං සාත කරොති ගරු කරොති, මානෙති පූජෙති පරමාය පූජා පටිපත්ති පූජායි.”
ආනන්දය, යම් භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසක, උපාසිකා කෙනෙක් මා වදාළ ධර්මයට අනුකූල
වූ පිළිවෙතට පිළිපන්නේ වේ ද, අනුධම්මචාරි වේ ද, හෙතෙම තථාගතයන් වහන්සේට පරම පූජාව
වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරන්නෙකි. ගෞරව කරන්නෙකි.
ඒ අනුව යම් උපාසක උපාසිකා කෙනෙක් තිසරණයෙහි. පංචශීලයෙහි, දස ශීලයෙහි පිහිටා පෙහෙවස්
රකී ද, මව්පිය වැඩිහිටියන්ට උවටැන් කෙරේ ද, සිල්වතුන්ට ගුණවතුන්ට බුහුමන් කෙරේ ද,
මිච්චා ආජීවයෙන් බැහැර වෙත් ද? දහමට අනුව සමථ විදර්ශනා ආදී භාවනා කර්මස්ථානයක්
පුරුදු කරත් ද, ඔහු තථාගතයන් වහන්සේ අපේක්ෂා කළ ප්‍රතිපත්ති පූජාවෙහි පිහිටියේ
වෙයි. ඒ බුදුපියාණන් වහන්සේගේ අවවාදයයි.
මෙසේ තථාගතයන් වහන්සේට පූජා සත්කාර කරන තාක් කල් බුද්ධ ශාසනය ද ආරක්ෂා වන බවත්, ලොව
රහතුන්ගෙන් හිස් නොවන බවත් ධර්මයේ සඳහන් වේ.
මේ අනුව දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල නිරත වන ගිහි පින්වතුන් ගේ
වැඩි අවධානය යොමුවිය යුත්තේ ප්‍රතිපත්ති පූජාවටයි. ආමිස පූජාවෙහි ම යෙදෙමින්
ප්‍රතිපත්ති පූජාවල නොයෙදෙමින් ඒ කෙරෙහි වීර්ය නුවණ සිහිය නොයොදන පින්වතුන්ගේ සසර
ගමන දිගු වන බවත්, සංසාර සාගරයෙන් එතෙර වී සියලු දුකින් මිදීමට නම් ප්‍රතිපත්ති
පූජාව ම පුරුදු පුහුණු කළ යුතු බවත් සද්ධර්මයේ සඳහන් වේ.
උතුම් ශීලයක පිහිටා සමථ විදර්ශනා භාවනාව වහ වහා පුරුදු කිරීම දැන උගත් හුරුපුරුදු
කල්‍යාණ මිත්‍රයකුගේ උපදෙස් මත කළ යුතු ය. එයින් අධි කුසලයක් තමන්ගේ ජීවිතයට එකතු
කර ගත හැකි බවත්, මේ භවයේ දි මාර්ග ඵලයක් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුවත් ඊළඟ
ආත්මභවයක දී හෝ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය උපතක් ලැබුවහොත් තමන් එදා පුරුදු පුහුණු
කළ ප්‍රතිපත්ති පූජාමය කොටස නැවත මතු කර ගත හැකි බවත් ධර්මයේ සඳහන් වේ.
වේලාම සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ විශාල වෙහෙසක් දරා සිදුකරන ආමිස පූජාවන්ට වඩා
සැහැල්ලුවෙන් සිදුකරන ප්‍රතිපත්ති පූජාවෙන් ලබන අනුසස් මහත්ඵල බවයි.
මේ නිසා සුනාථ ධාරේථ චරාථ ධම්මෙ” යන බුදුවදනට අනුව සදැහැවතුන් නිතරම ධර්මය ශ්‍රවණය
කොට සුතමය ඥානය දියුණු කළ යුතු ය. එසේ දියුණු, කිරීමෙන් අනතුරුව තමන්ට ධර්මය
“ධාරෙථ" දරා ගැනීම, හෙවත් මතක තබා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන් තුළ චින්තාමය
ඥානය දියුණු වේ. මෙසේ තමන් විසින් උපයා සපයා ගත් තැන නුවණ මෙහෙයවමින් උතුම් වූ
‘භාවනාමය ඥානය දියුණු කර ගත හැක.
එහෙත් අද බොහෝ පිරිස් කරන්නේ දහම් ශ්‍රවණය කිරීමත්, බොහෝවිට මතකයේ තබා ගැනීමත්
පමණි. ඒ දෙකම සිද්ධ වුණාට අර්ථවත් ප්‍රයෝජනයක් සිදු නොවේ. ‘චරාථ ධම්මේ” යන බුද්ධ
වචනයට අනුව ධර්මය තම ජීවිතයට හුරු පුරුදු නොකරන නිසා ය.
බෞද්ධ දර්ශනය ප්‍රායෝගික දහමක් බැවින් ධර්මය තමා තුළින් දැකිය යුතු ය. ‘ඕපනයික’
ගුණය වන්නේ එයයි. ලෝභ, ද්වේශ, මෝහ තමන් තුළ පවතින ධාරිතාවය භාවනාමය ඥානය දියුණු
කිරීමෙන් යෝගාවචරයකුට අවබෝධ කළ හැකි ය. මේ සඳහා භාවනාව දියුණු කළ යුතු ය.
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක මෙසේ සඳහන් වී තිබුණි. “විශාල ගසක්
මුදුනේ ඉදුණු පළතුරු ගෙඩියක් තිබුණි. එය ආහාරයට ගැනීම සඳහා කුරුල්ලකු ද සිටී. එහෙත්
ඒ කුරුල්ලාගේ තටු (පියාපත්) නැති නිසා ගස උඩ තියෙන ගෙඩියට ළඟාවීමට නොහැකි ය . මේ
කුරුල්ලාට පියාපත් තිබුණා යැයි සිතමු. නමුත් අර පලතුරු ගෙඩිය ළඟට ගියාට ගෙඩිය අනුභව
කිරීමට සුදුසු හොටයක් හෙවත් තුඩක් නැත. එසේ නම් ගෙඩිය කෑමට නම් තුඩත් තිබිය යුතු ය.
මේ අනුව නිවන් දැකීමට උත්සාහ දරන පින්වතුන්ට පින නැමැති තටුත් තිබිය යුතු ය.
ප්‍රඥාව නැමති තුඩත් තිබිය යුතු ය. එසේ නම් ආමිස පූජාවත්, ප්‍රතිපත්ති පූජාවත් යන
දෙකම නිවනට අවශ්‍ය බව ඉන් කියවේ.
බිබිලේ ධම්මසිරි හිමි |