පොසොන් අව අටවක 2022-06-21
නොසැලීම
ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට සේ ම සතුටුදායක අවස්ථාවන්ට ද මුහුණ දෙන්නට
සිදුවීම ලෝක ධර්මතාවයි. මෙසේ ලාභ – අලාභ , අයස – යස, නින්දා –ප්‍රශංසා, සැප – දුක
ලෙස ලෝක ධර්මතාවන් අටකට මුහුණ දෙන්නට සිදුවීම සියල්ලන්ට ම සමාන වුව ද ඒ සඳහා ඒ ඒ
පුද්ගලයා මුහුණ දෙන ආකාරය එකිනෙකාට වෙනස් ය. කෙනෙක් මානසික සුවයෙන් ජීවිතයට මුහුණ
දෙන්නේ ද ?, තවත් කෙනෙක් අධික පීඩනයෙන් යුතුව දුක්බර ජීවිතයක් ගෙවන්නේ ද මේ ලෝක
ධර්මතාවන්ට මුහුණ දෙන ස්වභාවයේ ඇති වෙනස්කම් නිසා ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අටලෝ දහමෙහි කම්පා නොවන ලෙසට ය. ලාභය සෑම කල්හි
ම නොලැබේ. අලාභය ද හැම කල්හිම නොවේ. අද ලාභ ලැබී හෙට අලාභ විඳින්නට සිදු විය හැකි
ය. මේ ආකාරයට චක්‍රයක් සේ වරින්වර මුහුණ දෙන්නට සිදුවන අප අකැමැති ලෝක ධර්මතාවන්
හමුවේ හඬා වැටෙනවා නම්, මානසිකව කඩා වැටෙනවා නම් ඒ පීඩාකාරි බව මෙලොව පමණක් නොව
පරලොව ද දුක්ඛිත තත්ත්වයකට ඇද දමයි. එහෙයින් කඩාවැටීම් හමුවේ සිත ශක්තිමත් කර ගත
යුත්තේ එහි අනිත්‍ය බව හා ලෝක ස්වභාවය එය බව මැනවින් තේරුම් ගනිමිනි.
එමෙන් ම ලාභය, යසස, ප්‍රශංසාව , සැපය හමුවේ බොහෝ දෙනෙක් අධික පී‍්‍රතියට පැමිණෙති.
මාන්නය, උඩඟු බව, ආඩම්බරකම ඇති කර ගනිති. එවැනි සිතිවිලිවලින් සිත පුරවා ගත්
පුද්ගලයාට අලාභය, අයස, නින්දාව, දුක හමුවේ ශක්තිමත් ව මුහුණ දීමට නොහැකි ය.
කඩාවැටීම එතැන ය. මනසින් දුර්මුඛ වූ වහා ම ජීවිතයේ සියලු කටයුතු අඩපණ වන්නේ ය.
එහෙයින් ලැබීම් මෙන් ම නොලැබීම් හමුවේ අනවශ්‍ය ලෙස උද්ධාමයට පත්නොවී, අනවශ්‍ය ලෙස
දුක් නොවී, සතුට සේ ම දුක ද සාමාන්‍ය ලෙස විඳ දරා ගන්නට හුරුවිය යුතු ව ඇත.
විවිධ සමාජ ආර්ථික තත්ත්වයන් නිසා අද මුළු මහත් ලෝකයට ම විවිධ දුෂ්කරතාවන්ට මුහුණ
දෙන්නට සිදුව ඇත. ලාංකිකයන් ලෙස අපට ද ඒ ලෝ දහම පොදු ය. එකිනෙකාට චෝදනා කරමින් හෝ,
සිදුවූ විපත් ගැන, සිදුවන්නට යන විපත් ගැන එකිනෙකා සමඟ කියවමින් කාලය අපතේ හරිනවා
වෙනුවට යම් දුෂ්කරතාවක් වේ නම් ඊට මුහුණ දෙන ආකාරය ගැන, එයින් මිදෙන ආකාරය ගැන, ඒ
සඳහා පුරවැසියෙක් ලෙස තමන්ගෙන් ලැබිය යුතු දායකත්වය, යුතුකම, වගකීම කෙබඳු ද යන්න
සිතා බලා හැකි උපරිමයෙන් දුෂ්කරතා මඟ හැර ගන්නට දායක විය යුතු ව ඇත.
අනලස්බව, උට්ඨාන වීර්යය, උනන්දුව, ඕනෑකම ඇති පුද්ගලයාට සොබා දහමේ ආශිර්වාදය ද හිමි
වේ. එහෙයින් දුෂ්කරතා හමුවේ නොසැලී, ඊට ශක්තිමත් ව මුහුණ දෙමින් සමාජයේ අන් අයට ද
උපකාරී වෙමින් ජීවිතය ජය ගන්නට උත්සාහ කළ යුතු ය. සරල, සැහැල්ලු, ඇවතුම්
පැවතුම්වලට, අල්පේච්ඡ දිවියකට හුරුවිය යුතු ය. බෞද්ධයාගේ ස්වභාවය එයයි. |