[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2022-05-08

ස්ව ශක්තියෙහි වටිනාකම

බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා ගැනීමට දසපාරමිතාවන්, පාරමි, උපපාරමි, පරමත්ත පාරමි යනුවෙන් සම්පූර්ණ කළහ. දන් දුන්හ. වස්තුව පමණක් නොව තමන් වහන්සේ සතු ශරීර අංග සහ අඹුදරුවෝ පවා පරිත්‍යාග කළහ. උන්වහන්සේ දස පාරමිතාවන් පූරණය කිරීමට අපමණ වෙහෙසක්, වීර්යයක් ගත්හ. නොසිඳෙන උත්සාහය නිවැරැදිව භාවිත කළහ. දැක්මක්, අරමුණක් සහ නිසි ඉලක්කයක් අනුව කටයුතු කළහ.

මහෞෂධ ආත්ම භාවයෙහිත්, වෙස්සන්තර ආත්ම භාවයෙහිත්, තව්තිසා දෙව්ලොව අවසන් දිව්‍ය ආත්ම භාවයෙහි ලැබුවේ ගෞරවය සහ ආදරය සෙනෙහස ආදියයි. කිසිදු ආකාරයක බාධාවකට පැමිණියේ නැත. සිද්ධාර්ථ කුමාර සමයෙහි සිට ගිහි ගෙයින් නික්මෙන තෙක්ම රම්‍ය, සුරම්‍ය සහ සුබ මාලිගාවල අපමණ සැප සම්පත් අනුභව කළහ. සිතූ පැතූ දෙය ලබා ගැනීමට හැකියාව ලැබිණ.

එහෙත් ප්‍රාණය හා සමාන පුතණුවන්, ස්වාමි දියණිය, පිය රජතුමා සහ ඥාතීන් ඇතුළු සමස්ත නුවර වැසියන් හැර දමා සම්බුද්ධත්වය වෙනුවෙන් වීර්යය උපදවාගෙන කටයුතු කළහ. නො සිඳෙන උත්සාහයක් වීර්යයක් ඇති ව කටයුතු කළහ.

තමන් වහන්සේගේ ශරීරයේ මස්, ලේ, නහර සිඳී වියළී ගියත් සම්බුද්ධත්වය ලබා මිස නො නැඟිටින බවට තමන් වහන්සේගේ ම සිතට පොරොන්දු දී කටයුතු කළහ. එහි ප්‍රතිඵලය වූයේ උතුම් සම්බුද්ධත්වය ලැබීමයි.

මව් කුසින් බිහිවන කිරි දරුවකු වූ සමයෙහි ම අනාගතයෙහි තමන් සම්බුද්ධත්වය ලබන බවත්, එය කිසිවකුට වැළැක්විය නො හැකි බවත් මුලින් ම ප්‍රකාශ කරන්නේ තමන්ගේ මව්තුමියටයි. එතුමියගේ පිරිසටයි. බෝසතාණන් වහන්සේ එයින් සමස්ත ලෝක වාසීන්ට ම මහත් වූ ආදර්ශයක් සැපයූහ.

දරුවකුගේ දියුණුව, සාර්ථකත්වය, ජය ලැබීම්, සහ අනාගත කටයුතු ආදීය අසා වැඩි වශයෙන් සතුටට පත් වන්නේ මව්වරුන් ය. කවර ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් හෝ කටයුත්තක් හෝ කි‍්‍රයාත්මක කර එහි ප්‍රතිඵල ලැබීමට පෙර අත්හරින්නේ නම් හෙතෙම පරාජිතයකු බවට පත් වෙයි.

මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මාගේ අන්තිම උපත යැයි යන සිද්ධාර්ථ කුමාරයාගේ පළමු ප්‍රකාශය ලොවම ජය ගත හැකි ප්‍රකාශයකි. මෙහි ඇත්තේ ස්ව උත්සාහයෙන් දිනීමේ රහසයි.

උපතින්ම බෞද්ධ වූයේ යැයි ආඩම්බර වන පිරිසකුත්, බෞද්ධකමට නිගා දෙන පිරිසකුත් සමාජයේ දක්නට ලැබෙයි. බෞද්ධකමෙහි වටිනාකම ලැබෙන්නේ ධර්ම කරුණු කි‍්‍රයාවෙහි යෙදවූ විට යි. ධර්ම කරුණු කොපමණ උගත්තේ නමුත් ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගන්නේ නැති නම් ඔහුට එම දැනුමෙන් ප්‍රයෝජනයක් නැත. එබැවින් නොපසුබස්නා වීර්යයක් සෑම පුද්ගලයකුම පිහිටුවා ගත යුතු ය.

කෙනකුට වීර්යයක් නොමැති නම් ආදර්ශයට ගත හැකි ලොව හොඳම චරිතය බුද්ධ චරිතයයි. ලොවට පීඩාවක් නැතිව තම කටයුතු සාර්ථකව කි‍්‍රයාවේ යෙදුවූ බැවින් වර්ෂ දෙදහස් පන්සියයක් ඉක්මවා ගියත් අදත්, හෙටත්, අනාගතයෙහිත් උන්වහන්සේ ලෝක සත්වයාගෙන් පිදුම් ලබති.

අයෙක් විභාගවලින් අසමත් වෙති. ව්‍යාපාර කටයුතුවලින්, පරිපාලන කටයුතුවලින්, නායකත්වයන්ගෙන් හෝ තනතුරුවලින් යනාදී වශයෙන් ජීවිතයේ හමුවන විවිධ අභියෝගවලින් අසමත් වෙති. එවැනි අවස්ථාවල දී එය අත්හැර දමා වෙනත් කටයුත්තක් නැවත අලුතින් ආරම්භ කරති. එවැනි පුද්ගලයින් සාර්ථක වුවත් බොහෝ අලාභ සිදු කර ගනිති. ඇතැම් විට කොපමණ සාර්ථක වුණත් නැවත ඔහුට තමාගෙන් ගිලිහුණු, කාලය, වයස, ශක්තිය, ධනය, පරිසර සාධක, සමාජ සබඳතා ආදිය ලබා ගැනීමට නො හැකි වෙයි. එබැවින් සම්බුද්ධ චරිතයෙන් ලබා දෙන වීර්යය, උනන්දුව, උත්සාහය නමින් හඳුන්වන ස්ව ශක්තිය අඛණ්ඩව යෙදවීමේ වටිනාකම අවබෝධ කර ගෙන කටයුතු කළ යුතු ය.

වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]