බක් අව අටවක 2022-04-23
දුක නොදැකීම
දුක සහ පසුතැවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. එහෙත් එම දුක්ඛිත ස්වභාවය ඕනෑකම තිබේ
නම් වළක්වා ගත හැකි දෙයකි. ඒ තමන් කරන්නට යන දෙය, කියන්නට යන දෙය පිළිබඳ හොඳින්
සිතා බලා කටයුතු කිරීමෙනි. සරලව ම කියනවා නම් පනින්නට පෙර සිතා බැලීමෙනි.
නතං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටිසේවති,
යනුවෙන් ධම්ම පදයේ මේ පිළිබඳ අපට අපූරු ආදර්ශයක් ලබා දෙයි. ඒ යම් කිසි කර්මයක් කොට
පසුතැවෙන්නට සිදු වේ ද, යම් කර්මයක විපාකය කඳුළු පිරි මුහුණින් විඳින්නට සිදු වේ ද
එවැනි දේ නොකර සිටීම උචිත වන බව ය.
කුඩා දරුවකුට වුව පහසුවෙන් අවබෝධ කරවිය හැකි මේ ධර්මතාව තේරුම් ගන්නට හෝ තේරුම්
ගත්ත ද ක්‍රියාවට නඟන්නට නොහැකිවීම යමක් කමක් තේරුම් ගත හැකි වැඩිහිටියන්ගේ
අභාග්‍යයකි.
බොහෝවිට විනාශකාරි දේ සිදුවන්නේ ආවේගශීලීව, තරහෙන්, කෝපයෙන් ගත් තීන්දු තීරණ නිසා
ය. දුර දිග නොබලා කටයුතු කිරීම නිසා ය. එහි විපාකය සිහිවන විට සිදුවන්නේ තමන් කළ කී
දේ පිළිබඳ පසුතැවිලි වන්නට ය. ඇතැම් විට පෙර කී සිතිවිලි නිසා ගන්නා තීන්දු තීරණ
තමන්ට පමණක් නොව අනුන්ට ද මුහුණ දෙන්නට සිදුවන ඉතා භයානක විනාශයකට මුල්වන්නට ද
පුළුවන.
තමන්ට දස වධ දෙමින් මරණයට ගෙන යන මොහොතේ පවා දීඝායු කුමාරයාට පිය රජු අවවාද දුන්නේ
‘පුත, දීඝායු දුර බලන්න, ළඟ නොබලන්න' යනුවෙනි. මේ ධර්මෝපදේශ දැන සිටිය ද බෞද්ධයන්
අතරින් ඒවා ක්‍රියාවට නඟන්නේ බොහෝ සුළු පිරිසක් ය. පුද්ගල සිත පෙළන පීඩාකාරි
ස්වභාවය එහි ප්‍රතිඵලය වන්නේ ය.
බෞද්ධයා සිත,කය, වචනය රැකගත් පුද්ගලයෙක් විය යුතු ය. ඒ පාපකාරී දෙයිනි. අකුසලයෙනි.
පසුවට හැඬීමට, වැළපීමට, පසුතැවීමට සිදුවන්නේ තිදොර අයහපතෙහි යෙදවූයේ නම් ය.
යම් කෙනෙක් නරක සිතින් නරක දෙයක් කරන්නේ නම් එම ක්‍රියාව පසුතැවීමට හේතු වේ. ගොනු
පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් එහි දුක් විපාක විඳින්නට සිදු වේ. එවිට කළ කම් ගැන
සිතුවාට, ඉන් වැළකී සිටින්නට තිබුණා යැයි සිතුවාට පලක් නොවන්නේ ය.
සම්බුදු දහමේ සදූප දේශ මෙලොව ජීවිතයට සේ ම පරලොව ජීවිතයට ද අගනා මිණි මුතු ය. යම්
කෙනෙක් තමන්ට ශක්තිය තිබෙන කාලයේ කුසල් දහම් හි නොයෙදී, පව්කම් කරමින් සිටියා නම්
සිදුවන්නේ මරණ මොහොතේ දී අනේ මට පිනක් දහමක් කර ගන්නට හැකි නොවුණා යැයි පසුතැවෙන්නට
ය. දුක් විපාක ලබන්නට ය. එහෙයින් ලෝභ, ද්වේෂ, මෝහා දී සිතිවිලිවලින් ඇතිකරන අකුසල
ක්‍රියාවන් හි නොයෙදී, පින් දහම් හි යෙදීමට අප්‍රමාදී විය යුතු ය. එවිට අනාගතයේ
පසුතැවීමට හෝ හඬා වැළපීමට සිදු නොවන්නේ ය. |