[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රාණියා මත නොව ප්‍රාණය මත තීරණය වන ප්‍රාණඝාතය

ප්‍රාණියා මත නොව ප්‍රාණය මත තීරණය වන ප්‍රාණඝාතය

‘ප්‍රාණඝාතය‘ ප්‍රාණියා මත තීරණය වන්නක් නොව ප්‍රාණය මත තීරණය වන්නකි. ලොව කිසිදු සත්වයකුට තවත් සත්වයකු නැසීමට අයිතියක් නොමැත. එසේ ඇත්නම් තමන්ව ඕනෑම කෙනෙකුට නැසීමේ අයිතිය ලබාදී තිබිය යුතු ය.

ඒ අනුව තමා යම් සේ ඝාතනය වීමට ඇති අකැමැත්ත අන් අය කෙරෙහි ද එලෙසම පවතින බව සිතා කටයුතු කළ යුතු ය.

සියදිවි නසා ගැනීමට වෙර දරන්නන් අවසාන මොහොතේ හෝ එකී තීරණය පිළිබඳ කලකිරීමට පත්වේ. එසේ කර ගැනීමට වෙර දරා එම උත්සාහය අසාර්ථක වූ කල්හි ඔවුන් නැවතත් ජීවිතය යදින අයුරු ඒ බව මොනවට කියාපායි.

ලොව වෙසෙන ඕනෑම සත්වයකු ජීවත් වීමේ ආශාවෙන් යුක්ත බවට (ජීවිතුකාමා) වන බුදුවදන තුළින් ප්‍රකට වන අතර තවෙකකුගේ ජීවිතයක් උදුරා ගැනීමට ලොව කිසිවකුට නොපවතිනා ස්වභාවය තවදුරටත් සනාථ වේ. කෙසේවුව ද, බුද්ධ දේශනාවට අනුව ප්‍රාණඝාතයෙන් වැළකී සිටින පුද්ගලයෝ ලොව අතිශයින් දුර්ලභ වෙති.

සංයුත්ත නිකායාගත පාණාතිපාත සූත්‍රය තුළින් එය මනාව ප්‍රකට වේ.

දිනක් බුදුරජාණන් වහන්සේ නියපිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන් වහන්සේ අමතා ”මහණෙනි, මා විසින් මෙසේ නියපිටට ගන්නා ලද ස්වල්ප වූ පසත්, මහපොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේ ද? යනුවෙන් විමසූහ. එවිට භික්ෂූහු ”

ස්වාමීනි, යම් ඒ මහාපෘථිවිය වේ ද, එයම අතිශය බහුල වේ. ඔබ වහන්සේ විසින් නියපිටට ගත් පස ඉතා ස්වල්ප ය. නිය පිටට ගත් පස් මහාපෘථිවිය හා සමාන කරනා කල එය ආසන්නයකට හෝ නොපැමිණේ”

යනුවෙන් දැක්වූහ.

අනතුරුව බුදුන් වහන්සේ විසින් වදාළේ ” ඒ අයුරින් ම ප්‍රාණඝාතයෙන් වැළකුණා වූ යම් සත්වයෙක් වෙත් ද, ඔවුහු නියපිටට ගත් පස මෙන් ස්වල්ප වන අතර, ප්‍රාණඝාතය සිදු කරන්නා වූ පිරිස මහා පෘථිවිය මෙන් අතිශය බහුල වන බව යි.

එමනිසා, මිනිසත් භවයක් ලබා බුදුන් වදාළ ධර්මය ප්‍රගුණ කිරීමේ ලොව පරම දුර්ලභ අවස්ථාවකට උරුමකම් කියන්නා වූ අප වඩාත් ප්‍රඥාවන්ත විය යුත්තේ කිසිවකුගේ දිවි නැසීමට කටයුතු නොකිරීමට යි.

මජ්ක්‍ධිම නිකායට්ඨ කථාවෙහි සම්මාදිට්ඨි සූත්‍ර වර්ණනාවට අනුව ප්‍රාණඝාතය සම්පූර්ණ වීමට අදාළ කාරණා පහකි. ප්‍රාණියකු වීම, ප්‍රාණියකු බව දැන ගැනීම, වධක චේතනාව(මරණ සිත), උපක්‍රමයක් යෙදීම හා එම උපක්‍රමයෙන් මරණයට පත්වීම යනු ඒවායි. මෙකී කරුණු තුළින් බැහැරව යමකුට ප්‍රාණඝාතයක් කළ නොහැකි වේ.

බුදු දහමෙහි ප්‍රායෝගිකත්වය ද මේ තුළින් ගම්‍යමාන වනුයේ සෑම ක්‍රියාවකට ම ප්‍රමුඛ වනුයේ චේතනාව බව පසක්වන බැවිනි. පාරේ ඇවිදිනාවිට බොහෝ කුඩා සතුන් පෑගීම තුළින් මරණයට පත්විය හැකි ය. එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවනුයේ ඒ කෙරෙහි චේතනාවක් නොමැති බැවිනි.

ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය වීමෙහිලා බලපාන බාහිර සාධකය නම් ගුණවත් භාවය යි. එනම් යමකු විසින් ගුණවත් භාවයෙන් අධික වූවකු නසන්නේ නම්, එය මහා සාවද්‍ය වන අතර, එසේ අල්ප වූවකු නසන්නේ නම් අල්ප සාවද්‍ය ලෙස ද දැක්වේ. භික්ෂුවකගේ භික්ෂූත්වය නැති වීමෙහිලා බලපාන පාරාජිකා ශික්ෂාපද අතර මනුෂ්‍ය ඝාතනය ද දක්වා තිබේ. එයින් භික්ෂුවකට අනෙක් ප්‍රාණීන් ඝාතනය කිරීමෙහිලා ඉඩකඩ ලබාදී ඇත්තේ යැයි ධර්මය වැරැදියට අල්වාගත යුතු නැත. කුඩා ගින්දරකට වැටෙන්නකුට මහා ගින්දරකට වැටෙන්නකුට සාපේක්ෂව වන හානිය අල්ප වුවත් කුඩා ගින්දරෙහි ද නොවැටී සිටීමට වෙර දැරීම වටී. තවද, කුඩා වූ ගින්දරකට හසුවූවකුට මහා ගින්දරක දරුණු භාවය කොතරම් දැයි වැටහෙන්නේ යම් සේ ද, එසේම එක වරක් හෝ වූ කුඩා වරදක් නිවැරැදි කොටගෙන ජීවිත සකස්කොට ගැනීම උචිත වේ.

එහෙත් කුඩා ගින්දරකට පිච්චීම සැපදායක යැයි හෝ එසේ පිච්චීම කෙරෙහි අනුබලයක් කිසිසේත් ම ප්‍රකාශ නොවේ. ඒ හා සමානව ම ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය වුවත් මහා සාවද්‍ය වුවත් ඉන් වැළකීම අතිශයින් ම සුදුසු වේ.

සංයුත්ත නිකාය හා මජ්ඣිම නිකාය යන උභය අටුවාවන්හි ම දක්වන පරිදි ප්‍රාණඝාතයක් කිරීමෙහිලා යොදවනු ලබන ප්‍රයෝගයන් හෙවත් ක්‍රමෝපායන් හයකි.

ඒ අනුව ‘සාහත්ථික‘ යනු තම අතින්ම තවකකු ඝාතනය කිරීම යි. ‘නිස්සග්ගික‘ යනු දුර සිටින්නකු විවිධ ආයුධ උපයෝගී කොටගෙන ඝාතනය කිරීම යි. වෙඩි තැබීම් හා බෝම්බ ගැසීම් ආදිය උදාහරණ වේ. ‘ආණත්තික‘ නම් වනුයේ අනුන් ලවා කරවනු ලබන ඝාතනයන් ය. එනම් කොන්ත්‍රාත් ලබා දී හෝ ඉහළ බලධාරීන්ගේ නියෝගයන් මත කරනු ලබන ඝාතනයන් වේ. භික්ෂුවක වුව ද තවෙකකු ඝාතනය කරවීම කෙරෙහි (එය උචිතයි, සුදුසුයි ආදී ලෙස වර්ණනය කිරීම)

තවකෙකු ඒ කෙරෙහි යොමු කරවීම ‘මනුස්ස විග්ගහ‘ පාරාජිකාවට ඇතුළත් කොට ඇති පදනම මෙයයි.

‘ථාවර ප්‍රයෝග‘ යන්නෙන් දැක්වෙනුයේ සිතා ගැනීමටවත් නොහැකි වන ලෙස විවිධ උපක්‍රම මගින් ඝාතනය කිරීම යි. අනුභව කරන ආහාරයට හෝ බොන ජලයට වස දමා ලබාදීම් ආදිය උදාහරණ යි.

‘විජ්ජාමය ප්‍රයෝග‘ යන්නෙන් දැක්වෙනුයේ හදිහූනියම්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් හා පොල් ගැසීම් ආදී නානාවිධ විද්‍යාවන් ප්‍රයෝගයන් තුළින් කරනු ලබන්නා වූ ඝාතනයන් වේ. ‘ඉද්ධිමය ප්‍රයෝග‘ යනු ඍද්ධිමය බලය ඇසුරෙන් කරනු ලබන ඝාතනයන් ය.

‘පාණාතිපාතා‘ ශික්ෂා පදයෙන් අපේක්ෂා කරනුයේ මේ කිසිදු ආකාරයකින් ප්‍රාණඝාතය සිදු නොකිරීම ය. බුදුදහමෙහි සුවිශේෂීත්වය වනුයේ කායික ව පමණක් වැරැදිවලින් වැළකී නොසිට මානසික වශයෙන් ද හටගන්නා වූ වැරැදි චේතනා දුරු කිරීම යි. මජ්ක්‍ධිම නිකායේ චූලකම්මවිභංග සූත්‍රයට අනුව මෙම ශික්ෂාපදය රකින්නා දඬු මුගුරු ඉවත්කොට (නිහිත දණ්ඩො), අවිආයුධ බැහැරකොට (නිහිත සත්තො), පවට ලජ්ජාශීලීව (ලජ්ජි), දයාවෙන් යුක්තව (දයාපන්නො), සියලු ප්‍රාණීන් කෙරෙහි මෙන්ම ගස් වැල්වලට පවා හිතානුකම්පීව (සබ්බපාණභූතහිතානුකම්පී) විසිය යුතු ය.

‘සම්මා සංකප්ප‘ යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි යහපත් සංකල්පනාවන්ට අයත් අව්‍යාපාද (අනුන් නොනැසීමේ) සහ අවිහිංසා (හිංසා නොකිරීමේ) යන ධර්මයන් ද ඒ තුළ පූරණය වේ.

සිරගතවූවකුට කායිකව ප්‍රාණීන් නැසිය හැකි නොවේ. එතුළින් කායික සංවරභාවය ඇති වුවත්, මානසිකව ඔහු තුළ වෛරය, ක්‍රෝධය ආදී සිතිවිලි පවතින බැවින් ප්‍රාණඝාත ශික්ෂාව පරිපූර්ණ වශයෙන් රැකී නොමැති බව එයින් වටහාගත යුතු ය.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා (25) පත්‍රයේ පළ වේ

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]