මැදින් පුර පසළොස්වක 2022-03-17
ගුණදහමට මුල් තැන දෙමු
මිනිසත්කම දුර්ලභව ලැබෙන වටිනා සම්පතකි. ඒ වටිනාකම අර්ථගන්වන්නේ ද, අනර්ථවත් කර
ගන්නේ ද මිනිසා ම ය. ජීවිතයට අර්ථයක්, වටිනාකමක් එක් වන්නේ බාහිර රූපයෙන්, ධනයෙන්,
බලයෙන්, නිලයෙන් නොවේ. බොහෝ දෙනා වරදවා වටහාගෙන සිටින්නේ ද එලෙස ය. මිනිස් දිවිය
ශෝභාවත් වන්නේ උතුම් ගුණ ධර්ම නිසා ය. මේ ජීවිතයට සේ ම පරලොවට ද සැප සලසන්නේ, සුව
සදන්නේ ඒ ගුණ දහම් ම ය. කිසිවකුටත් සොරාගත නොහැකි, මිල කළ නොහැකි ඒ වටිනාකම් උපයා
ගත යුතු, පුරුදු පුහුණු කළ යුතු තමන් විසින් ම ය. ශ්‍රී සද්ධර්මයට, මවට පියාට,
ගුරුවර වැඩිහිටියන්ට කළ හැකි ඒ මඟ පෙන්වා දී ම පමණ ය. එහි යනවා ද, නොයනවා ද යන
තීරණය තමන් සතු ය.
යමක් කරන්නට කියන්නට පෙර ඒ ගැන කිහිප වරක් සිතා බැලිය යුතු බව අගනා සදූපදේශයකි.
තථාගතයන් වහන්සේ අවධාරණය කොට වදාළේ යම් දෙයක් කීමෙන් කිරීමෙන් පසු එහි පලය කඳුළු
පිරි මුහුණින් විඳ ගන්නට සිදුවනවා නම් ඒ දෙය කීමෙන් හෝ කිරීමෙන් වළකින ලෙස ය.
පනින්න පෙර සිතා බලන්න යැයි ජනවහරේ ද අපූරු කියමනක් වේ. එහෙත් අද අප බොහෝ දෙනකුට
සිදුව ඇත්තේ එසේ සිතා නොබැලීම නිසා ඉහිරුණ කිරට හඬා වැළපෙන්නට ය.
සරලව කියනවා නම් කළ කී දේ ගැන පසුතැවිලි වන්නට ය. එය වඩාත් හොඳින් දැනෙන්නේ මරණ
මඤ්චකයේදී ය. ජීවිත කාලය පුරා ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල සිතිවිලි වර්ධනය කරමින්,
ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය තුළ සිතුම් පැතුම් අපිරිසුදු කර ගනිමින් රැස්කළ පව්,
අකුසල් ගැන කඳුළු පිරි මුහුණින් සිහිපත් කරන්නට ය. සිතමින් තැවෙන්නට ය. ජීවිතය
අනියත බවත්, මරණය නියත බවත් අපි දනිමු. නියත මරණයට නියමිත වේලාවක් නැත. මේ මොහොතේ,
ඊළඟ තත්ත්පරයේ මරණය අප වෙත ළඟා වෙන්නට පුළුවන. ධර්ම මාර්ගයට අනුගත වීමේ මඟ තෝරා
ගන්නට අප්‍රමාදී විය යුතු එහෙයිනි.
බෞද්ධයින් ලෙස අපි මරණින් මතු නැවත ඉපදීම විශ්වාස කරමු. ඒ මරණයෙන් පසු කවර භවයක
උපදී දැයි කිව නොහැකි ය. එය තීරණය වන්නේ රැස්කළ පින් පව්, කුසල් අකුසල් අනුව ය. යම්
සත්ත්ව කෙනෙක් මිනිසත් බවින් මරණයට පත්ව නැවත මනුෂ්‍යයෙක් ව උපදිත් ද එවන් සත්වයෝ
අල්ප වෙති. එහෙත් මිනිසත් බවින් චුත ව නිරයෙහි උපදිත් ද, තිරිසන් යෝනියෙහි, පේ‍්‍රත
විෂයයෙහි උපදිත් ද එම සත්ත්වයෝ ම බහුතර වෙති’ යි බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළහ.
වාසනාවකට අපි අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදි මිනිසුන් ලෙස මෙලොව උපත ලබා ඇත්තෙමු.
නිරයක, තිරිසන් යෝනියක, පේ‍්‍රත විෂයයක, දීර්ඝායුෂ ඇති දේව නිකායක, තුනුරුවන්
පහසුවෙන් දැකිය නොහැකි ප්‍රාන්ත දේශයක, මන්ද බුද්ධිකව හෝ අංග විකලත්වයක,
අබුද්ධෝත්පාද කාලයක හා මිථ්‍යාදෘෂ්ටික බව යන අවස්ථාවන්ගෙන් මිදී සිටිමු.
ඒ තුළ සිරි සදහම් අසන්නට, පුරුදු පුහුණු කරන්නට, ජීවිතයට ප්‍රායෝගික කර ගන්නට අපි
වාසනාවන්ත වී සිටිමු. පින් හෝ කුසල්කොට සුගතියක උපත ලැබිය හැකි, සසර කෙටිකර ගත
හැකි, සියලු කෙලෙස් නසා සසරින් මිදිය හැකි මිනිස් ලොව දී පමණි.
ධර්ම මාර්ගයේ ගමන් කරන්නාට කරන කියන කිසිදු දෙයක් නිසා හඬා වැළපෙන්නට, තැවෙන්නට
දැවෙන්නට සිදුවන්නේ නැත. එහෙයින් අපි සිරි සදහම් මඟ යන්නට අප්‍රමාදී වෙමු. |