[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක් පිරුණු සසරක් උරුම කර ගන්නේ ඇයි?

දුක් පිරුණු සසරක් උරුම කර ගන්නේ ඇයි?

කර්ම භවය සහ උත්පත්ති භවය ලෙස කොටස් දෙකකින් බෙදා දැක්වෙයි. මේ ආකාර දෙකටම මූලික හෙවත් පාදක වන්නේ ස්කන්ධ පඤ්චකයයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදනස්කන්ධයේ ක්‍රියාත්මකවීම ම භවගාමිත්වයයි.

කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඉපදෙමින් මරණයට පත්වීම නම් වූ ස්කන්ධ පඤ්චකයේ හටගැනීම සහ විසිර යාමයි. අවිද්‍යාව හෙවත් මුළාව හේතුකොට ගෙන සංස්කාර හෙවත් කර්ම රැස්වීමෙන් ස්කන්ධ පඤ්චකයේ හටගැනීම හෙවත් භවගාමී ජීවිත සකස්වෙයි.

මෙම භවගාමී ජීවිතයේ යථා ස්වභාවය කෙසේද? සංයුක්ත නිකායේ අනමතග්ග සංයුත්තයට අනුව ‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරො, පුබ්බාකෝටි න පඤ්ඤායති, අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං’ යනුවෙන් විස්තර කෙරේ ‘මහණෙනි, මේ සසරෙහි කෙළවරක් දකින්නට නැති ය. පූර්වාන්තයක් හෙවත් ආරම්භයක් නොපෙනේ.

අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයෝ සසරෙහි දුවමින් හැසිරෙමින් පවතින්නෝ ය. මේ සසර පැවත්මෙහි සියලු සත්වයෝ ම තියුණු ලෙස දුක් වින්දෝ ය. මහත් සේ ව්‍යසනයන්ට මුහුණ පෑවාහු ය.

සියලු මහ පොළොව නුඹලාගේ මියගිය මළ සිරුරුවලින් පෝෂණය විය. සුසාන භූමියක් බවට පත් විය. දීර්ඝ කාලයක් සියලු සත්වයෝ ම සසරෙහි දුක් වින්දෝ ය. භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය හෝ සරණ යන ගිහි හෝ පැවිදි හෝ වේවා සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් මේ ඉගැන්වීම පිළිබඳව මනා සේ සිත් පිහිටවිය යුතු වන්නේ ය. බුදු නැණසින් වදාළ සසරේ අති භයානක බව සිතෙහි මනාකොට භාවිත ව පැවතිය යුතු වන්නේ ය.

තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ දී චතුරාර්ය සත්‍ය අවබෝධය හා සමඟින් ත්‍රිවිද්‍යා ඤාණයන් ද උපදවා ගත්හ. එනම් පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත සහ ආසවක්ඛය නම් වූ ඤාණයන් ය. මෙහිදී තමන් වහන්සේගේ සහ සසර චුති උපත් පිළිබඳව දුටුවහ.

අවබෝධ කරගත්තේ කුමක්ද? තමන් වහන්සේ ඇතුළු තිස් එකක් වූ සියලු සක්වල, සියලු සත්වයෝ ම ඔවුන්ගේ අතීත සසර ගමනේ වඩාත් ම උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බව ය. නරකයේ කොටස් එකසිය තිස් හයකි. තිරිසන් ලෝකය ප්‍රමාණවත් කළ නොහැකි ය. ප්‍රේත විෂයයෙහි ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. මනුෂ්‍ය ලෝකයේ සිට අනුමෝදන් කරන පිනක් අනුමෝදන් විය හැක්කේ ප්‍රේත විෂයයෙහි පරදත්ථුපජීවි ප්‍රේත කොටසෙහි පමණකි. නරකයෙහි ඒ ඒ නිරයෙහි විඳීමට සිදුවන ආයු කාලය වෙන වෙනම සඳහන් වෙයි. අවීචියෙහි සහ මහා නිරයෙහි ඇතුලුව කල්ප ගණනකි. ඒවා මෙහි දක්වන්නේ නැත. මනුෂ්‍ය ලෝකයෙහි උපරිම වූ අවුරුදු සීයත්, මේ සඳහන් කරන දුගතීන්හි ආයු කල්ප ගණන් පිළිබඳවත් නුවණින් මෙනෙහි නොකරන්නේ මන්ද? ඔබ සහ අප විසින් අවබෝධයෙන් යුතුව සරණ යන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හෙවත් ඉගැන්වීම් ගැන සිතට නඟා ගැනීමේ දී ගැටලු පවතින්නේ ද? ධර්මය කෙරේ මනාකොට සිත පහදවාගෙන නැවත නැවතත් ඒ දහම කෙරේ සිත පුරුදු නොකිරීම නිසා ලෞකික අරමුණුවල ආශාව හෙවත් තණ්හා, මද, මාන, දිට්ඨීන්ගෙන් බැඳේ.

මෙම අරමුණු තාවකාලික බවත්, මොහොතකින් සියල්ල වෙනස් විය හැකි බවත්, කෙසේ වෙතත් උපරිමය මිනිස් ආයුෂ සියයකට සීමා වන බවත් සිත්වලට නොනැඟේ. සසරේ බියකරු බව පිළිබඳ මොළය ආශි‍්‍රතව පවත්නා වූ දැනුමක් තිබේ. එනමුත් භාවිත, බහුලීකත බව නොමැති නිසා ලෞකික අරමුණු කෙරේ බැඳෙන්නා වූ ආශාවන් ඉදිරියේ එම දැනුම යටපත් වෙයි. එනම් දැඩි ලෝභය, සහ දොම්නස එම සියලු දැනුම ආවරණය කොට මම ය, මාගේ ය නම් සක්කාය දිට්ඨියට හසුවෙයි. මෙහිදී කැමති අරමුණුවල ගැටීම හෙවත් තරහව ඇතිවෙයි. ප්‍රතිඵලය පස්පව්, දස අකුසල්වලට යොමුවීමයි.

සරලව සඳහන් කරන්නේ නම්, දැඩි ආශාව, අතෘප්තිකර ආශාව, ගිජු බව, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, බද්ධ වෛරය, මානය, ගුණමකුබව, අකෘතඥ බව ආදී බොහෝ ක්ලේශයන්ට ගොදුරු වෙයි.

තම ජීවිතය ලෙස පවත්වා ගන්නා වූ ස්කන්ධ පඤ්චකය දිරාගෙන යාම, ලෙඩදුක් ඔස්සේ මරණය වෙතට සමීපවන බව මෙම අභාවිත සිත්වලට නොහැඟෙයි. යම් ආකාරයකින් සිතට නැඟුන ද ප්‍රබල වූ ආශාව හෝ තරහව ඉදිරියේ ජීවිතයේ යථාර්ථය දැකීම දුර්මුඛ වෙයි. යටපත් වෙයි.

මෙම කරුණම, තවත් ආකාරයකින් මෙසේ ප්‍රශ්න කරගනිමු. ‘කවුද නොදන්නේ ඕනෑම මොහොතක මම ය, මාගේ ය කියන සියල්ල ම මෙලොව තබා යන්නට වෙනවා කියලා. කාටද කියන්න පුළුවන් මොන විදියේ ලෙඩදුක්වලට මුහුණ පාන්නට සිදුවෙයි ද කියලා. ‘කවුද නොදන්නේ කවා පොවා, නහවා පිරිසුදු කරමින් හැඩ ගන්වන මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් හැබෑ අයිතියක් නැහැ කියලා.

එනමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යන බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ කායික සහ වාචසික හැසිරීම ඔස්සේ ඔවුන්ගේ මානසික හෙවත් චිත්ත චෛතසික ස්වභාවය තේරුම්ගත හැකි නොවේද?

එනම් සෑම මොහොතක් පාසාම සිත් පරම්පරා හෙවත් චිත්ත වීථීන් ලෝභ, දෝෂ, මෝහ මුල්කොට අකුසල පථ බවට පත්වීමයි. පදුට්ඨ චිත්ත හෙවත් දුෂ්‍ය වු සිතකින් සකස් වෙන්නා වූ සෑම චිත්තක්ෂණයක් ම අකුසල බවට පත්වෙයි. මේවා භවාංගයෙහි තැන්පත් වෙයි. අලෝභ, අදෝස, අමෝහ, මුල්කොටගත් කුසලාරම්මණ ද නැත්තේ නොවේ. එනමුත් අභාවිත සිත් ඇත්තාගේ සිත වඩාත් ප්‍රබලව නැඟී සිටින්නේ අකුසලාරම්මණයන් සමඟින් ය.

මෙයට කදිම නිදසුන් වන්නේ බොහෝ ‘පින් කළේ ය’ කියන ඇතැම් අය ලෙඩදුක් ඉදිරියේ ද, පි‍්‍රය විප්‍රයෝගය, බලාපොරොත්තු කඩවීම, මරණාසන්නවීම ඉදිරියේ ද හැසිරෙන ආකාරයන් ය. උඩට ගත් ආශ්වාසය ප්‍රශ්වාස කොට නැවත ආශ්වාසය නොහැකිවීම මරණය දැක්වීමකි. එම අවස්ථාව නුවණින් සිහිපත් කරන්නේ නම්, මෙම ජීවිතයේ සිතන, කරන, කියන සියල්ලේ ම හැබෑ අරමුණ කුමක් විය යුත්තේ දැයි සිහිපත් විය යුතු ය. අනවබෝධයෙන්, ආදරයෙන් බැඳෙන තරහවෙන් ගැටෙන සියල්ලේ ම හැබෑ ප්‍රතිඵලය නම් සතර අපායට මඟ සකසා ගැනීම ය. එය නිමාවක් දැකීමට අපහසු දුකකි.

සීලය හෙවත් අවබෝධයෙන් යුතු විනය, සංවරයෙන් යුතුව ලෞකික ජීවිතය පවත්වා, සතර අපාය වළක්වන ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගත යුත්තේ නොවේද? මෙලොව පවත්නා පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන්ගේ සම්බන්ධකම් මෙලොවට පමණකි. එය තාවකාලික ය. මේවා නිසා දුකින් පිරි සසරක් නිර්මාණය කරගත යුතු ද? අනන්ත සසරේ අපමණ දුක්විඳ දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ඵල ලබාගත යුතු නොවේදැ'යි සිතමු.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]