දුක්ඛිත ඉරණමට පාර කියන
බලපුළුවන්කාර අධිපතියා
පොල්ගහවෙල මහමෙව්නා
භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ලොවෙහි සෑම දේකට ම පාහේ ප්‍රධානියෙක්, අධිපතියෙක්, මෙහෙයවන්නෙක්, මඟ පෙන්වන්නෙක්,
යොමුකරවන්නෙක් සිටී. එහෙත් මරණයට ද එවැන්නෙක් සිටින බව, මරණය පිටුපස තිරයෙන් එහා
ලෝකයේ තොරතුරු නොදන්නාතාක් කෙසේ නම් දැන ගන්නට ද?
ලෝකයේ ඇති සිතාගත නොහැකි දේ නම් නැවත නැවතත් මරණය කරා සත්වයා කැඳවනු ලබන, උපත පිණිස
ලොව හසුරුවන මහා බලපුළුවන්කාරකමෙන් යුතු අධිපතියෙක් සිටීම ය. ඔහුගේ අධිපති බව
සුළුපටු නැත. ආනුභාවය ඉතා බලවත් ය. විවිධාකාර කෙලෙස් වැස්මෙන් වැසීගිය සත්වයා සිය
වසඟයෙහි පවත්වාලීමට ඒ මෘත්‍යු රාජයාට ඕනෑතරම් අවකාශ ඇත්තේ ය.
එවැන්නෙක් ලොව සිටින බව දැන ගන්ට ලැබීම පවා අද්භූත කරුණෙකි. ඔහු අධිපතිභාවය
පවත්වනුයේ සත්වයාගේ ඇස, කන, නාසය, දිව, කය, සිත කෙරෙහි ය. යම් සත්වයෙකු ඒවා කෙරෙහි
මම ය, මාගේ ය, මාගේ ආත්මය යන හැඟීමෙන් යුතුව එහි වසඟ ව සිටී නම්, මෘත්‍යු රාජයාගේ
සියලු අණසකට ඔහු යටත් ය.
භාග්‍යවතුන් වහන්සේට පමණක් මෘත්‍යුරාජයා පිළිබඳ සියලු අප්‍රකට තොරතුරු සොයාගන්ට
පුළුවන් විය. කිහිප වතාවක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටි ඔහු සිය සිතැඟි
මැනවින් හෙළි කළේ ය. තර්ජනය ද කළේ ය. ඒ මරණයෙන් පිටතට පැනගත්තවුන් සිය වසඟයෙහි තබා
ගැනීමට ඔහුට නොහැකි නිසා ය.
භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ විෂය ක්ෂේත්‍රය මැනවින් දන්නා සේක. එමෙන් ම ඔහු සතු සීමා
මායිම් ද මැනවින් දන්නා සේක. ඔහුගේ උපායයන් ද දන්නා සේක. එනිසා ම ඔහු යන මඟින්
බැහැර ව, ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමෙන් පැන ගැනීමේ දුර්ලභ භාග්‍යය අප සුගතයන් වහන්සේ
තනිව ම උදාකරගත් සේක.
භාග්‍යවතුන් වහන්සේගේ සරණ සොයා ආ, උන්වහන්සේගේ බසට සවන් දුන්, අවවාදයට කීකරු වූ,
උන්වහන්සේ පෙන් වූ මඟ ගත්, ගිහි දිවිය අත්හළ, කාමයන් පිළිකෙව් කළ, සිව්පසයට වසඟ
නොවූ ශ්‍රාවක භික්ෂූන්ට ද මරණයේ අධිපතියාගෙන් ගැලවී පැනගන්ට වාසනාව ලැබුණේ ය. එහෙත්
ඇතැමුන්ට ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමට සිරවී මෘත්‍යු රාජයාගේ අණසකට යටත් වෙන්ට
සිදුවිය. ඒ බුදුවදනට අනුව කටයුතු නොකළ නිසා ය.
මරණය ජය ගනු පිණිස බුදු සසුන වෙත ආ පමණින් අනතුර පහව නොයයි. අනතුරෙහි අඩුවක් ද
නැත්තේ ය. අවිනිශ්චිත බවෙහි අඩුවක් ද නැත්තේ ය.
‘මහණෙනි, මුවන්ගේ මරණය අයහපත, විනාශය කැමති වැද්දෙක් සිටියේ ය. ඔහු වනයක් මැද හේනක්
කළේ ය. මුවන් ගොදුරට ගන්නා තෘණ ආදිය නිල්පාටින් සරුවට වැඩෙන්ට හැරියේ ය. ඔහු තුළ
‘අනේ මේ මුව රැළ බොහෝ කල් සුව සේ කා බී පැහැපත් ව වසත්වා’ යන හැඟීමක් කිසිදා හට
නොගත්තේ ය. ඔහු තුළ නිරතුරු ව පැවතියේ මෙවන් හැඟීමෙකි. තෘණ කෙත වදිනට මුවරැළ හොඳින්
කා බී තුටුපහටු ව මෙහි ම ලගින්නාහ. මා දුන් දෙයින් මත් ව, විශ්වාසයෙන් යුතුව, සැක
බිය නැතිව, පැන යන සූදානමක් නැතිව ලගින්නාහ. ඒ මුව රැළගේ ප්‍රමාදය මට හොඳ වාසියකි.
එකල්හි මට රිසි දෙයක් ඔවුනට කළ හැක්කේ ය.
මහණෙනි, වැද්දාගේ කොරටුව වෙත මුව රැළක් ආවෝ ය. ඔවුන් සිතුවේ හිතු මනාපයේ තෘණ
බුදින්ට ය. පැන යන අදහසින් සීරුවෙන් වටපිට බැලීමක් වත් නොවුණි. ඒ තරමට මත් විය.
කිසි භයක් සැකක් නැතිව තෘණ බුදිමින් එහි ම ලැග්ගෝ ය. මුවන් සියලු දෙනා ම මරා ගන්නට
වැද්දාට හැකි විය. ඔහුගේ බලපුළුවන්කාරකමින් මිදෙන්ට මුවන්ට බැරි විය.
මහණෙනි, වැද්දකු විසින් මුවරැළක් දඩයම් කළ වග වෙනත් මුවරැළකට අසන්ට ලැබුණි.
‘බලන් මිතුරනි, කලින් මුවරැළ නිල් තණ කොරටුවට වැදී රිසි සේ තණපත් බුදිමින් එහි ම
ලැග සිටියේ නොවැ. ඒ නිල්තණ කොරටුවෙහි අයිතිකාරයා වැද්දෙකි. ඒ වග නොදත් ඔවුන්
පමාවෙන් විසී ය. එනිසා වැද්දා අතින් මැරෙන්ට සිදුවූයේ ය.
අපට මේ බිහිසුණු තණ කොටුවෙන් ඇති ඵලය කිම? අපි ඈත වනයට යමු. එහි ගොස් කිසිවක් කා බී
වසන්නෙමු’ යි කතිකා කොට ඔවුහු තණ කොරටුව අසලටවත් නොගියෝ ය. ඒ දෙසවත් නොබැලුවෝ ය. ඈත
වනයට ගොස් විසුවෝ ය. ගී‍්‍රෂ්ම කාලයේ වැස්ස නැතිවීමෙන් ගහකොළ මැරී, ඇළදොළ සිඳී ගියේ
ය. අහර අහේනියට ලක් වූ මුව රැළ ඉතා කෘශ ව දුබල වූහ. ඔවුන්ට නිල් තණ කොරටුව මතක්
විය. කෙමෙන් කෙමෙන් එදෙසට පියමං කළෝ ය. බොජුන් රසයෙන් මත් ව පමා වූවෝ ය. කල් යල්
බලා වැද්දා පැමිණියේ ය. ඔහුගේ බල පුළුවන්කාරකමින් මිදෙන්ට කිසිවකුටත් බැරි විය.
මහණෙනි, තුන් වැනි මුවරැළකටත් මේ පුවත අසන්ට ලැබුණේ ය. ඔවුන්ගේ කතිකාව මෙය විය.
‘අපට බොහෝ කල් ඈත වනයට ගොසින් විසීම අසීරු ය. තණ කොරටුවට පිවිසීමත් අනතුරෙකි. අපි
තණ කොරටුව අසල වනගැබෙහි සඟව කුසගිනි වූ විට රහසේ කල්පනාවෙන් අවුත් සිහි ඇති ව සිට,
හනිකට තණ කා වනයට පැන ගනිමු. ටික කලක් ඔවුන්ට එසේ කළ හැකි විය. වැද්දා මාන බලමින්
සිටියේ ය. මේ මුව රංචුව ලේසියෙන් අල්ලා ගන්නට බැරි වග දුටුවේ ය. ඔවුන් යන එන තැන්
එක්වර ම සොයා ගන්නටත් අසීරු ය. එවිට වැද්දා සිය වැදි පිරිවර හා එක් ව ඒ මුළු පෙදෙස
ම හසුවන සේ වටකොට වැට ගැසී ය. මුව රැළ හසුකර ගන්නට හැකි විය. ඔවුන්ට ද වැද්දාගේ
බලපරාක්‍රමයෙන් නිදහස් විය නොහැකි ව මරණයට පත්වෙන්නට සිදු විය.
මහණෙනි, සිව්වැනි මුව රැළට ද සියලු පුවත් අසන්ට ලැබුණි. ‘දැන් අපගේ මුව පිරිස් තුන්
වතාවක් ම මරණයට පත් වූවාහු ය. අපි මෙසේ කරමු. වැද්දා යන්නේ යම් මගෙකින් ද, වැදි
පිරිස යන්නේ යම් මගෙකින් ද ඒ මඟින් නොයා යුතු ය. වැද්දාත් වැදි පිරිසත් ඇසුරු
කරනුයේ යම් තැනක් ද, ඒ තැන් ඇසුරු නොකළ යුතු ය. වැද්දාගේ තණ කොරටුවට නොවැදී,
යාන්තමින් එතැනින් කිසිවක් කා සිහි මුළා නොවී සීරුවෙන් සිට අවධානයෙන් සිට දිවි රැක
ගනිමු.
වැද්දාත්, වැදි පිරිසත් යන මගින් නොයන, ඔවුහු ඇසුරු කරන තැන් ඇසුරු නොකරන, එහෙත්
රහසේ කොරටුවෙන් තණ බුදින වෙනත් කපටි මුවරැළක් ඇති වග වැද්දාට දැන ගන්ට ලැබුණේ ය. ඒ
ගැන නොරිස්සූ වැද්දා ‘මේ මුව රැළ කපටි ය. කිසියම් බලපරාක්‍රමයකින් යුතු ය. මාගේ
කොරටුවට පැන තණ බුදිත්. ඔවුන් කොයින් එත් ද, කොයින් යත් දැයි නොදනිමි. උන් අල්ලා
ගන්නට නම් මේ පෙදෙස හැකිතාක් වටකොට වැට බැන්ද යුතුය’ යි සිතා වැදි පිරිස සමඟ වඩාත්
පුළුල් කොට වැටක් බැන්දේ ය.
එහෙත් වැද්දාගේ ගමන් මඟ නොයන, හැසිරෙන තැන නොහැසිරෙන ඒ මුව රැළ කොටු කරගන්නට ඔවුන්ට
නොහැකි විය.
කිසිවක් කරකියා ගත නොහැකි තැන වැද්දාටත් වැදි පිරිසටත් මේ අදහස ඇතිවිය. ‘කරන්නට
දෙයක් නෑ. දැන් මේ සතර වැනි මුවරැළ අල්ලාගනු පිණිස මොවුන් මත්තෙ පන්න පන්නා
සිටියොත්, එයින් වෙහෙසෙන මොවුහු අන් මුවන්ට ද මෙහි උවදුරු ඇති බව කියන්නාහ. එසේ
වුවහොත් කිසි මුව රැළක් මේ පළාතටවත් නොවදිනු ඇත. කමෙක් නෑ. මොවුන් සිටින තැනක
සිටියා වේ’ යි ඔවුන් සෙවීමේ තද ඕනෑකම අත්හැරියෝ ය.
මහණෙනි, මෙසේ සිව්වැනි මුව රැළට පමණක් වැද්දාගේ බලපරාක්‍රමයෙන් මිදෙන්ට පුළුවන්
විය.
මහණෙනි, මේ උපමාව පැවසුයේ මරණයෙහි අධිපතියාගේ කටයුතු පහදා දීමට ය. ඉෂ්ට, කාන්ත,
මනාප, පි‍්‍රය උපදවන, සිත් ඇදගන්නා යම් රුප, ශබ්ද, ගන්ධ, රස, පහස ඇද්ද, තණ කොරටුව
යනු මේ පංච කාමගුණයට කියන නමෙකි.
එය වගාකළ එහි අයිතිකාර වැද්දා යනු මෘත්‍යුරාජයා හෙවත් මාරයාට නමෙකි. මුව රැළ යනු
ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමෙන් පැන ගන්ට ඕනෑකම ඇතිව ගිහි දිවි අත්හළ පැවිද්දන්ට
නමෙකි.
මහණෙනි, මෙ සසුනෙහි යම් පැවිද්දෙක් කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමින් වෙන් ව, කුසල්
අරමුණක මනෝ විතර්කයන් රඳවා, නීවරණයන්ගෙන් බැහැර ව උපන් විවේකයෙන් ලත් පී‍්‍රති සුව
ඇති පළමු ධ්‍යානය උපදවාගෙන වසයි නම්, ඒ පැවිද්දා මෘත්‍යු රාජයාගේ ඇසට වැලි ගැසී ය.
ඔහුගේ නෙත් බැල්ම නසා ඔහු නොදකින තැනකට ගියේ ය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙවැනි තුන්වැනි සිව්වැනි ධ්‍යාන ගැනත්, අරූප ධ්‍යාන සතර
ගැනත් පහදා දී සිව්සස් පිරිපුන් ව අවබෝධ කොට, සියලු කෙලෙසුන් නසා අර්හත්වය සාක්ෂාත්
කළ පැවිද්දා මාරයාගේ දෑස නැසීම පමණක් නොව, ඔහුගේ නෙත් බැල්ම නැසීම පමණක් නොව, ඔහුට
නොපෙනෙන තැනට යාම පමණක් නොව, තණ්හා සයුර ද තරණය කොට පිටට පැන ගත්තේ යැයි වදාළ සේක.
මරණයෙහි අධිපති බව යනු සත්වයාගේ පැවැත් ම නොකඩ කොට පැවැත්වීමෙහිලා සිය බලපරාක්‍රමය
එකහෙළා පතුරුවන පදවියකි. මෘත්‍යු රාජයා ද සත්වයෙකි. ඔහු ද කර්මානුරූප ව උපන්නෙකි.
කල්යල් බලා මරණය ආ විට ඔහු ද ලැබෙන උපතක් කරා යා යුත්තේ ය. |