[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ රුව වරුණ: දුර්ගුණ මිනිසුන්ගේ අභියෝග මගේ ජීවිතයට ආශිර්වාදයක් වුණා

දුර්ගුණ මිනිසුන්ගේ අභියෝග මගේ ජීවිතයට ආශිර්වාදයක් වුණා

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න

අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ පාදුක්ක අංගමුව නම් සුන්දර ගමේ ඉපිද ඇළට දොළට වෙළට නියරට ආදරය කරමින් අධ්‍යාපනය ලැබූ ඔහු තම සිහින සපුරා ගත්තේ දැඩි ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙනි. එහිදී ජීවන ගමන් මගේ නේක ඉසව් අතික්‍රමණය කරමින් සපැමිණි ආකාරය පිළිබඳ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සමඟ කළ කතාබහකි මේ.

පාදුක්ක අංගමුව කියන ගමේ මම ඉපදුණේ. ඒක ලස්සන ගමක්. තාත්තා එස්.ඩී.එස්. ධර්මරත්න. අම්මා එස්.ඒ. සුදසිංහ. මට සහෝදර සහෝදරියෝ පස් දෙනයි. මම පවුලේ බාලයා. තාත්තා ඒ ගමේ හිටපු වෙදමහත්තයා. හැබැයි තාත්තාගේ වෙදකම ගෙනියන්න කාටවත් ඉදිරිපත් වෙන්න බැරිවුණා. හැමෝම වෙනත් රැකියාවල නියැලුණා.

මට මතකයි පුංචි කාලේ තාත්තගෙන් වෙදකම් කරගෙන යන්න බොහෝ දෙනෙක් ආවා. කවුරු ආවත් අසාධ්‍ය තත්ත්වයේ නැත්නම් තාත්තා ඒ එන අයගෙන් වෙදකමට පෙර ආ ගිය තොරතුරු විමසනවා. බොහෝ විට ගෙදරට ආවේ දන්න හඳුනන අයයි. ඉතින් තාත්තා අහනවා මේ දවස්වල කුඹුරු වැඩ කොහොමද? වහිනවද? පායනවද? ගමේ පන්සලේ පින්කම් ගැන නොයෙක් දේ අහලා කතා බහ කරලා තමයි මොකද මේ පැත්තේ ආවේ කියලා අහන්නේ.

"මුලින්ම ලෙඩාගේ හිත හදනවා. ඒකට කියන්නේ හෙදකම කියලයි. හිත සුවපත් වුණාම බෙහෙත් හොඳට ඇඟට අල්ලනවා කියලා තාත්තා කියනවා පොඩි කාලේ මට ඇහිලා තියෙනවා."

"වෙද මහත්තයාගේ ඉරියව්, හැසිරීම්, කතාබහ තමයි පුංචි කාලෙ ඉඳලා මට අහන්න දකින්න ලැබුණේ. නූතන දොස්තර මහත්වරුන්ට වඩා වෙද මහත්වරුන්ගේ හැසිරීම හරි අමුතුයි. ගමේ වෙද මහත්තයාට අත්ගුණය තිබ්බා. වෙද මහත්තයාගේ අතින් වතුර උගුරක් බිව්වත් ලෙඩ හොඳ වෙනවා කියලා මිනිස්සු කිව්වා. ගමේ එක ලෙඩෙකුට බෙහෙත් නියම කළාම මුළු ගමේම උදවිය එකතු වෙලා ඒ ලෙඩාට අවශ්‍ය බෙහෙත් ගම පුරාම ඇවිදලා හොයලා දෙනවා. ඕනෑම බෙහෙත් වර්ගයක් ගමේ මිනිස්සු දන්නවා. අහවලාගේ වත්තේ අහවල් තැන ඒ බෙහෙත තියෙනවා කියලා. ඒ තරමට ම එදා ගම්මු එකිනෙකා කෙරෙහි අවබෝධයෙන් හිටියා."

"ඒ කාලෙදි විවිධ නම්වලින් හැඳින්වුණු බෙහෙත් බෝතල් ගෙදර තිබුණා. මම මේ බෙහෙත් බෝතල්වල තිබුණු සංස්කෘත නම් කියවන්න නිතරම උනන්දු වුණා. තාත්තාට පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂා තුනම හොඳින් හැසිරවීමේ හැකියාව තිබුණා. ඒ භාෂා ත්‍රිත්වයෙන් ම ලියැවුණු පොත් අල්මාරියක් තිබුණා. තාත්තා ඒවා කියවනවා දැකලා මමත් පොත් කියවන්න පුරුදු වුණා."

ධර්මරත්න මහතාගේ පියා වෙදමහත්තයා වුණත් වෙදකම් නොකරන වෙලාවට ඔහු කුඹුරට බැස ගොවිතැන් කළේ ය. අද මෙන් දවස ගානේ දුසිම් ගණන් ලෙඩුන් එදා සිටියේ නැත. ගම්මු වස විෂ කෑවේ නැත. වත්තේ ගොම පොහොර යොදා තමාම වගා කළ එළවළු, පලතුරු ඔවුහු සිත් සේ භුක්ති වින්දෝ ය. බඩ කට පිරෙන්න කෑවත් බීවත් එක තැනකට වී සිටියේ නැත. දාඩිය මහන්සිය ඇතිවන තුරු වත්තේ, කුඹුරේ, හේනේ, කැත්තේ, උදැල්ලේ වැඩ කළ නිසා ඔවුන්ට නිධන්ගත රෝග බහුල නොවීය.

"අපේ තාත්තා කුඹුරුට යද්දී මමත් ගියා. කුඹුර පෝරු ගානකොට පෝරුවේ බඳ උඩ නැඟලා යන්න මම හරි ආසයි. දවල්ට අව්ව සැර වැඩි නිසා ගොයම් මඩවන්නේ රෑටයි. ගොයම් මඩවද්දී හරක් රැල පස්සේ දුවන්නේ පොඩි කොල්ලෙක්. ඉතිං හැමදාම වගේ මම තමයි ඒ කටයුත්ත කළේ. මේ විදිහට වැඩිහිටියොත් එක්ක කුඹුරට යාම නිසා කුඹුරු වැඩ ගැන පවා මට හොඳ අවබෝධයක් ලැබුණා. පුංචි කාලෙදි ලබපු මේ අත්දැකීම් වත්මන් සමාජයේ දරුවන්ට අද ලබා ගන්න බැහැ."

දරුවකුගේ ඉගෙනීමට තමා ජීවත්වන පරිසරය අනුබලයක් ලබාදෙන බව සනාථ කරමින් මේ නිවසේ දරුවන්ට ඒ සඳහා අවැසි සියලු මංපෙත් විවර වී තිබිණි. සුන්දර ගැමි පරිසරය, වෙල් එළිය, ගේ වටකොට ඇති ගහකොළ සතා සීපාව ඈ වටපිටාව මේ දරුවන්ගේ ගමන් මඟ සකසනු ලැබීය.

"පන්සලේ ප්‍රධාන දායක පවුල විදිහට කටයුතු කළේ අපේ තාත්තා. ගෙදර සියලු දෙනාට එකතුවෙලා උදේට හවසට මල් පූජා කළා. ඒක අපේ තාත්තාගේ නීතියක්. බිම සාළුවක් එළලා ඒ උඩ අත් තියාගෙන අම්මා, තාත්තා ගාථා කියනකොට අපිත් ඒ එක්කම ගාථා කියනවා. පිරිත් සජ්ඣායනය කරනවා."

"ඒ වගේම සමහර කසාය, තෙල් බෙහෙත් හදනකොට තාත්තා බුදුන් වැඳලා පිරිත් කියනවා. මේවා මගේ පුංචි හිතට තදින්ම දැනුණා."

"අපේ ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණා. එහි විකාශය වූ ඇතැම් වැඩසටහන්වලට මහාචාර්යවරු සහභාගි වුණා. ඔවුන්ගේ හරවත් දේශන අහලා මටත් කවදා හෝ දවසක මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ කියල හිතුණා."

පුංචි සන්දියේ දී නිවසට නුදුරින් පිහිටි අංගමුව කණිෂ්්ඨ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපනය සඳහා පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. බස් ධාවනයක් නොතිබූ එකල දිනපතාම නිවසේ සිට පාසලට හැතැප්ම පහක දුරක් පයින් ඇවිදගෙන යාමට සිදුවිය. වෙළට වැටී මඩ තැවරීම නිසා ඇතැම් දිනවල ආපසු ගෙදර යාමට සිදු වූ අවස්ථා ද විය.

"ඒ පාසලේ සිටි ගුරුවරු තමන්ගේ දරුවෝ වගේ අපි ගැන හොයලා බැලුවා. මම එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළා. අපේ ගුරු මෑණිවරු, පියවරු අපට නිතරම කිව්වේ සමගියෙන් හැමදෙනා එක්කම සහයෝගයෙන් එකට වැඩ කරන්න කියලා. මේ වගේ තනතුරක වැඩ කරද්දී ඒ ආදර්ශයන් මගේ ගමනට නිවැරැදි මඟ පෙන්වනවා."

ද්විතියික අධ්‍යාපනයෙන් පසු තෘතියික අධ්‍යාපනය සඳහා ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඉතිහාසය විෂයය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකක් ලබා ගත්තේ ය. ඔහුගේ ඊළඟ සිහිනය වූයේ එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු වී පසුව මහාචාර්යවරයකු වීමයි. එහෙත් එවකට පැවැති ගුරුකුල නිසා එම අවස්ථාව අහිමි විය. ඔහුට වඩා අඩු සුදුසුකම් ඇති ශිෂ්‍යයකුට කථිකාචාර්ය තනතුර හිමි විය. මේ සියලු අසාධාරණකම් මධ්‍යයේ ඔහු සිය ජීවන රිද්මය සකසා ගත්තේ බුදුදහමට අනුගතව ය.

"මේ සිදුවීමෙන් මට විශ්වවිද්‍යාලය ගැන විශාල කලකිරීමක් ඇතිවුණා. බුදුරජාණන් වහන්සේත් සාරාසංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලේ නොයෙක් ආත්මවල දී දුර්ජන මිනිසුන් නිසා අපහසුතාවට පත්වුණා. ඒ නිසා බුදු දහමින් පෝෂණය ලබපු අපට මේවා විඳ දරාගන්න පුළුවන්. මා සිතන ආකාරයට විශ්වවිද්‍යාල හොඳ ඉගැන්වීම් සහ පර්යේෂණවලට පමණයි. මෙවැනි සිදුවීම් නිසා සමස්ථයක් ලෙස ගත් කල විශ්වවිද්‍යාල ජීවිතයට මම කැමැති නැහැ. බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු අපට මෙවැනි දුර්ගුණ මිනිසුන් දකින්නවත් කැමැති නැහැ. විශ්වවිද්‍යාල තුළ බහුතරයක් සිටින්නේ දුර්ගුණ මිනිසුන්. සත්පුරුෂයන් සිටින්නේ අතළොස්සයි. මා ඒ බව නොබියව ප්‍රකාශ කරනවා. මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර, මහාචාර්ය රෝහණධීර වගේ හොඳ මහත්වරුත් ඒ අතර සිටියා."

"බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි “ධම්මො භවේ රක්ඛති ධම්මචාරී” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබනවා. මේ සනාතන ධර්මය අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් වලංගුයි."

මගේ ජීවිතයේ මොනතරම් කරදර බාධක ආවත් දිනපතා උදේ, හවස බුදුන් වඳිනවා. පිරිත් කියනවා. මගේ ජීවිතයේ මුහුණ දුන් සියලු අභියෝග ජයගෙන මේ තැනට එන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ආරක්ෂාව ලැබුණු බව මා තරයේ විශ්වාස කරනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා (25) පත්‍රයේ පළ වේ

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]