[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිටාරක්ෂාව ලබන්නට නම් පිරිත් දේශනය ශ්‍රවණය කළ යුතු මෙලෙසයි

පිහිටාරක්ෂාව ලබන්නට නම් පිරිත් දේශනය ශ්‍රවණය කළ යුතු මෙලෙසයි

පිරිත යන වචනය බෞද්ධ අපිට ඉතාම හුරුපුරුදු දැනෙන වචනයක්. ජීවිතේට බොහෝම සමීප වෙච්ච ධර්ම කොට්ඨාසයක්. පිරිත කියන වචනයේ තේරුම තමයි ආරක්ෂාව කියන එක. අටුවාවේ ඔය වචනය විග්‍රහ කරන්නේ “පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං” කියලා.

තේරුම තමයි හාත්පසින් ආරක්ෂාව සලසා දෙනවා කියන එක. අපි හිතන, කතා කරන මාතෘකා කීපයක් තියෙනවා. ඒ තමයි පිරිතෙන් කොහොමද ආරක්ෂාවක් ලැබෙන්නේ පිහිටක් ලැබෙන්නේ කියලා. එහෙම ආරක්ෂාවක් පිහිටක් ලැබෙන අයුරින් කොහොමද පිරිත් දේශනා කරන්නේ අහන්නේ වැනි ගැටලු‍.

සංස්කෘතිකමය විදියට පිරිත් දේශනාව සහ පිරිත් කියා ගැනීම පුරුද්දක් විදිහට අපි කරනවා. අම්මගෙ කුසේ හැදී වැඩෙන කොට පිරිත් අහන්න පටන් ගන්න අපි මේ ලෝකේ එළිය දැක්කට පස්සේ ග්‍රහ අපල උපද්‍රවවල දී වගේ නොයෙක් අරමුණු මුල්කරගෙන වගේම සමහර අය පුරුද්දක් විදියටත් පිරිත් කියා ගන්නවා. මේ විදියට පිරිත් අපේ ජීවිතේට බොහොම සමීප වෙලා තියෙනවා. එහෙම සමීපවෙලා තියෙන මේ පිරිත් දේශනය සහ ශ්‍රවණය පිළිබඳ දැනගෙන, අවබෝධ කරගෙන මේ කාර්යය කරනවා නම්, ලොකු ප්‍රයෝජනයක් ලබන්නට පුළුවනි.

පිරිත් කියල අද අප භාවිත කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවල දේශනා කොට වදාළ නොයෙක් සූත්‍ර දේශනාවන්. තුන් සූත්‍ර ආදී තෝරාගත්ත සූත්‍ර කීපයක්. විශේෂයෙන් නිතර භාවිත කරනවා මුලින්ම සලකා බලන්න ඕනේ කුමන හේතුවක් නිසා ද පිරිත් සූත්‍රවලින් පිහිටක් ලැබෙන්නෙ කියලා. පිරිත් සූත්‍ර කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවන් කියලා ඉස්සෙල්ලා කිව්වා. ඒ දේශනාවන්වල ඇතුළත් වෙන්නේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, ආර්ය මහා සංඝ රත්නයේ ගුණයන් පිළිබඳව. විශේෂයෙන් ම ධර්මය පිළිබඳවයි. යම් සත්‍යයක් ප්‍රකාශ කරලා සත්‍ය ක්‍රියාවක් කරනකොට විශ්ව ධර්මතාවන් එකතු වෙලා මහා ශක්තියක් එකතු වෙනවා. පිරිත් සූත්‍ර සජ්ඣායනය කරමින් අපි කරන්නේ එබඳු සත්‍ය ක්‍රියාවක්.

“ඒතෙන සච්ච වජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා” කියලා පිරිත් සූත්‍රයක් ඉවර උනාම වාක්‍යයක් කියවෙනවා. ඒකෙන් කියන්නේ මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබට යහපතක් වේවා කියලා.

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම්, උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය තරම්, උන්වහන්සේගේ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නය තරම් ගුණයෙන් සත්‍යයෙන් සමාන කළ හැකි තවත් පුද්ගලයෙක් හෝ ධර්මයක් මේ කාම රූප අරූප කියන භවත්‍රය පුරා කිසි තැනක ඇත්තේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ අල්ප මාත්‍ර ගුණයක් සිහිපත් කිරීම තුළින් දිව්‍ය සම්පත් ලැබූ පිරිස් අප්‍රමාණයි. ධර්මය අංශුමාත්‍රයක් දැරීම තුළ ස්වර්ග සම්පත්තීන් ලැබූ සහ සංසාර සයුරෙන් එගොඩ වූ පිරිස අප්‍රමාණයි. පුණ්‍යක්ෂේත්‍ර වූ ආර්ය මහා ශ්‍රාවක සංඝයා දැක බලා බණ අසා සසරින් එගොඩ වූ මාර්ගඵල ලැබූ, භවය යහපත් කරගත් පිරිස අප්‍රමාණයි. පිරිත් දේශනා කරනවා ය, අසනවා ය යනුවෙන් අපි කරන්නේ ඒ ත්‍රිවිධ රත්නයේ ගුණයන් සිහිපත් කිරීමයි.

එක් කාලයක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කොට උන්වහන්සේ රෝගී භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා වැඩම කළ චුන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට බොජ්ඣංග ධර්ම දේශනා කළා. දේශනා කරලා ඉවර උනාට පස්සේ බුදුරජාණන් වහන්සේ චුන්ද හාමුදුරුවන්ට කියනවා චුන්දයෙනි, බොජ්ඣංග ධර්මයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. චුන්දයෙනි බෝජ්ඣංග ධර්මයෝ ඒකාන්තයෙන් සත්‍යයහ යනුවෙන්. ඒ බොජ්ඣංග ධර්ම දේශනාව අවසානයේ බුදුන් වහන්සේගේ ආබාධය සුවපත් වෙනවා.

මේ කතාවෙන් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ධර්මය පිළිබඳ අවබෝධය යම් පමණකට තිබේ ද එපමණට ම ධර්මය ඇසීමෙන් ප්‍රතිඵල ලද හැකියි කියලා.

ජීවිතවල අප්‍රමාණ කරදර, බාධක, දුක් කම්කටොලු ඒකරාශී වෙලා තියෙනවා. වර්තමාන කාලයේ දී ඒක තවත් වැඩියෙන් දැනෙනවා.

පියවි ඇහැට නොපෙනෙන හිතාගන්න අපහසු අදෘශ්‍යමාන කරදර බාධක බොහොමයක් තියෙනවා. ඒවා ග්‍රහදෝෂ අපල උපද්‍රව, අමනුෂ්‍ය බලපෑම් ආදී වශයෙන් සලකන්න පුළුවන්. මේවගෙන් මිදෙන්න අපට උපයෝගී වන විශේෂ විදියක් තමයි පිරිත් දේශනය සහ ශ්‍රවණය.

කොහොම සජ්ඣායනා කළොත් ද, කොහොම ශ්‍රවණය කළොත් ද යහපත් ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්. මුලින් සඳහන් වුන විදියට පිරිත් දේශනාවේ අඩංගු වෙන්නේ ත්‍රිවිධ රත්නයේ උතුම් ගුණ, ඒ උතුම් තෙරුවන් ගුණ සිහිපත් කිරීම තුළයි මේ ගුණය ලැබෙන්නේ.

එහෙම නම් පාලියෙන් කියැවෙන සූත්‍ර දේශනාවන්වල අර්ථය දැනගෙන අර්ථ සිහිපත් කරමින් පිරිත් දේශනාව සහ ශ්‍රවණය කරනවා නම් තමයි මහත් පුණ්‍ය ශක්තියක් ඒකරාශී වෙන්නේ.

පාලි භාෂාව හැමෝටම තේරෙන්නේ නෑ. හැබැයි අර්ථ බලා ගන්න පුළුවන් ආකාරයට වර්තමානයේ ලිඛිත පොත් ඕනෑ තරම් තියෙනවා. අර්ථය දන්නේ ම නැතිනම් මේ දේශනා කරන්නේ ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ කියන අදහස, සිතිවිල්ල ඇති කරගෙන ශ්‍රවණය කරන්න ඕනේ. එවිටත් මහත් කුසල ශක්තියක් ඒකරාශී වෙනවා.

ඒ කුසල ශක්ති කරණකොටගෙනයි අපේ ජීවිතවලට අදෘශ්‍යමාන බලපෑම් හේතුකොටගෙන ඇති වී තිබෙන යම් කිසි කරදරයක්, බාධකයක් දුරුවෙලා යන්නේ.

අනෙක් කාරණය තමයි හාත්පසින් ආරක්ෂාව ලැබෙනවා කියන්නේ. මේ ලෝකයේදි අපි බාහිරව විතරක් ලබන ආරක්ෂාව නෙවෙයි. මෙලොව වශයෙන් වගේම පරලොව වශයෙන් සහ ආධ්‍යාත්මීය වශයෙන් ලැබෙන ආරක්ෂාවක්. ඒ අයුරින් ආරක්ෂාව ලැබෙන්නේ අපි සජ්ඣායනා කරගන්න පිරිත් සූත්‍ර දේශනාවන්වල අඩංගු ධර්ම කාරණා අපේ ජීවිත සමඟ බද්ධ කරගත යුතුයි. ඒ අනුව ජීවිත ගත කළ යුතුයි. එවිටයි නියම ආරක්ෂාව ලැබෙන්නේ. එනිසා පිරිත් සූත්‍ර දේශනාවන් තුළින් නියම ආරක්ෂාවක් ලැබීමට අපි කල්පනා කළ යුතුයි.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]