සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා
චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙනවා
උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ
කොළඹ හැව්ලොක් සිටි සාම විහාරය, හක්මණ දෙනගම මුණසිංහාරාම විහාරය, හක්මණ ඇල්ලේවෙල
ශී‍්‍ර අස්සත්ථාරාම පුරාණ විහාරය, බේරුවේවෙල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය යන
සිව්මහා විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දක්ෂිණ
ලංකාවේ සමථබලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය
ව්‍යක්ත බහුශ්‍රැතභාවයෙන් මෙන්ම පරෝපදේශ විරහිතව ශික්ෂාකාමී භික්ෂු ආකල්පයන්ගෙන්
සෝභමාන අතපත්තුකන්දේ ආනන්ද හාමුදුරුවෝ යන නමින් ජන සමාජයේ මෙන්ම විශේෂ වශයෙන්
ශිෂ්‍ය ප්‍රජාව අතර ආදර්ශ සම්පන්න ගුරුවරයකු වශයෙන් කීර්තිධර ඔබ වහන්සේ පැවිදි වූ
දින පටන් දක්ෂිණ ලංකාවේ සමථබලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය දක්වා පැමිණි
ගමන්මඟ පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරමු, අපේ හාමුදුරුවනේ.
මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ 1952 වර්ෂයේ ජුනි මස 08 වැනි පොසොන් පුර පසළොස්වක පොහොය
දිනයක. මාතර දිස්ත්‍රික්කයේ හක්මණ මැතිවරණ කොට්ඨාශයට අයත් අතපත්තුකන්ද කියන බොහොම
පෞරාණික කුඩා ගමක තමයි මම ළමා කාලය ගත කළේ. සාමාජිකයන් නව දෙනෙක් සිටි අපේ පවුලේ
කරුණාදාස අතපත්තු මහෝපාසක තුමා සහ දෝන හින්නිහාමිනේ අතපත්තු මාතාව තුනුරුවන් කෙරෙහි
බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කළ ගුණගරුක මව්පිය දෙපළක් බවත් මේ අවස්ථාවේ දී
පුණ්‍යානුමෝදනා පූර්වක ව සිහිපත් කළ යුතුයි.
කැටිය මහා විද්‍යාලය වගේම අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අක්ෂර ශික්ෂාව
ලැබූ කාලයේ දී ම ඩබ්ලිව්. අතපත්තු වන මගේ බාප්පා පැවිදිවීමේ යෝජනාව මූලිකව ඉදිරිපත්
කළා. එතුමාත් බොහොම ශ්‍රද්ධාවන්තයි. එම ඉල්ලීම මත මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව
පූර්වෝපචිත කුසලශි‍්‍රයට අනුව පැවිදි වීමට තිබූ මගේ කැමැත්ත ප්‍රකාශ කළා.
ඒ අනුව හක්මණ දෙනගම ශ්‍රී මුණසිංහාරාමය, හක්මණ ඇල්ලේවෙල ශ්‍රී අස්සත්ථාරාම පුරාණ
විහාරය බේරුවේවෙල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරය, යන විහාරත්‍රයාධිපති ගෞරවාර්හ
නාරන්දෙණියේ ධම්මරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1964 වර්ෂයේ දී
අගෝස්තු 4 වැනි දින අතපත්තුකන්දේ ආනන්ද යන උත්තරීතර ශාසනික නාමයෙන් සම්බුද්ධ ශාසනයේ
ප්‍රවෘජ්‍යාභාවයට පත්වුණා.
අනතුරුව පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාම රාජමහා විහාරස්ථානයේ වූ ශ්‍රී සංඝානන්ද
පිරිවෙනින් ප්‍රාථමික ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගෙන ද්විතීක අධ්‍යාපනය සඳහා මාතර
ශ්‍රී සුදර්ශී පිරිවෙන් විද්‍යායතනයට ඇතුළත් වුණා. එවකට එහි වැඩ සිටි ලංකා
ශාසනාම්බරය ආලෝකවත් කළ සාර්වභෞම වියත් ඇදුරු මඩුල්ලක් හමුවේ අධ්‍යාපනය හැදෑරීමට
තරම් භාග්‍යවන්ත වුණා.
අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා
සංඝරත්නය වෙතින් 1973 ක් වූ ජුනි මස 01 වැනි දින මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල
උපෝෂථාගාරයේ දී සුපරිසුද්ධෝපසම්පදාවට පත්වුණා. පූජනීය නාරන්දෙණියේ ධම්මරතන
නාහිමිපාණන් වහන්සේ හා පූජනීය කෝන්ගල පුඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ යන දෙනම
ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේ වශයෙන් කටයුතු කළ බවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එම
කාලයේ දී ම නායක හාමුදුරුවන් වහන්සේ බේරුවේවෙල සෞගතරාම පුරාණ විහාරය ප්‍රතිසංස්කරණය
කළා. හැත්තෑව දශකයේ මුල් භාගයේ දී එම විහාරස්ථානය මම බාරගත්තා. එම කාලවකවානුවේදීම
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමිපාණන් වහන්සේගේ සම්බන්ධතාවය මත බෙල්ලන්විල
රාජමහා විහාරස්ථානයේ නේවාසිකව වැඩ සිටිමින් නැවතත් ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ආරම්භ
කරමින් ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙන, පැපිලියාන සුනේත්‍රාදේවී
විද්‍යායතන පිරිවෙන යන දීප්තිමත් පරිවේණාස්ථානයන් තුළ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන්
යුතුව කටයුතු කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ප්‍රාථමික උපාධිය ලබා
ගත්තා.
අනතුරුව පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් වසර 2ක් සේවය කරමින්
පාසල් ගුරු සේවය ආරම්භ කළා. එම කාලය තුළ කැලණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති
උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා විභාගයත් සමත්වුණා. අනතුරුව
මහරගම විද්‍යාකර විද්‍යාලයේ සේවය කළා වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ සිංහල භාෂා ඒකකයේ
ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළා. 1990 දශකයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ
සාමාන්‍ය ගුරුවරයකු වශයෙන් වසර 23 ක් කටයුතු කළා. එම විද්‍යාලයේ ම සහකාර
විදුහල්පතිවරයකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කරමින් ශිෂ්‍ය විධායක මණ්ඩලය බාරවත්,
පාසලේ විනය බාරවත් කටයුතු කළා. සංස්කෘතිමය, ජාතිකමය වශයෙන් දරුවන් හැඩගස්වමින්
ආගමික, ජාතික වශයෙන් රටේ පැවතුණ ගැටලුවලට පවා මැදිහත් වෙමින් ආනන්ද විද්‍යාලයේ
ගෞරවයත් රැකගෙන කටයුතු කරමින්. 2012 වර්ෂයේ දි විශ්‍රාම ගියා. ඒ අතරතුර කොළඹ 06
හැව්ලොක් සාම විහාරය ඉදිකළා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන්
සිදුකළ සේවාව ඇගයීමට පාත්‍රකරමින් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු
මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විංශත්වර්ගික කාරක
මහා සංඝ සභාව වෙතින් දක්ෂිණලංකාවේ සමථබලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය
සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස යන ගෞරව නාමය සහිතව පිරිනැමීමට කටයුතු කර
තිබෙනවා.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අතිගරු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
සහභාගිත්වයෙන් ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනිපත පිළිගැන්වීමේ ප්‍රදානෝත්සව අභිනන්දන
උත්සවය මාර්තු 20 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී
සිදුකරනු ලබනවා.
ඓතිහාසික විහාරස්ථානයක මෙන්ම කොළඹ නගරයේ පිහිටි විහාරස්ථානයක ආධිපත්‍ය දරමින්
ජාතික, ආගමික, සාමාජික ශාස්ත්‍රීය වශයෙන් සිදුකරන සේවාවන් මොනවාද නායක හාමුදුරුවනේ,
කොළඹ හැව්ලොක් සිටි ප්‍රදේශයේ සාම විහාරය ඉදිකිරීමට ලැබීම විශාල ශාසනික කාර්යභාරයක්
ඉටුකළා වගේ හැඟෙනවා. මෙම ස්ථානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමේ
කුමන්ත්‍රණකාරි තත්ත්වයක් තිබුණා. 1994 වර්ෂයේ දි සාම විහාරය ඉදිකිරීම් ආරම්භ
කරමින් වර්තමානය වන විට දර්ශනීය විහාරස්ථානයක් වශයෙන් ගොඩනඟා තිබෙනවා.
ආගමික වශයෙන් විශාල ප්‍රබෝධයක් ඇතිවන වැඩසටහන් වගේම ‘අත්වැල සමාජ සුභසාධන පදනම හරහා
විශාල සමාජ කාර්යභාරයක් සිදුකරගෙන යනවා. පුවත්පත්වල පළ කොට තිබෙන ලිපි එකතුවක් “අනද
පන්හිඳ දුටුව සදහම්” යනුවෙන් ග්‍රන්ථයක් වශයෙන් ද ‘පෝදා විමසුම්” ග්‍රන්ථය ද නායක
උත්සවය නිමිත්තෙන් රචනා කිරීමට කටයුතු කළා.
සමාජයේ විවිධ ප්‍රශ්න පිළිබඳ විචාරාක්ෂියෙන් බලන ප්‍රතිබල සම්පන්න නායක හාමුදුරුවන්
වහන්සේ නමක් වන ඔබ වහන්සේ දැන් පිරිනමන ශාසනික පදවිවලින් නූතන ශාසන ආරක්ෂාව සඳහා
කුමන බලපෑමක් කළ හැකි දැයි පහදා දෙන්න.
බුදුරජාණන් වහන්සේ පළමුකොටම සැරියුත් මුගලන් ආදි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ
හැකියාව අනුව ශාසනික පදවි පිරිනමා තිබෙනවා. එම ශාසනික පදවිවල දිගුවක් තමයි දැන්
තිබෙන්නේ. ශාසනික වශයෙන් තිබෙන අර්බුද. යම් යම් හැලහැප්පීම්, හැමදාමත් තිබිල
තිබෙනවා. මේවා අද පමණක් සිදුවන දේ නොවෙයි. වර්තමානය තුළත් භික්ෂූන් වහන්සේලාගේ යම්
යම් කටයුතු මූලස්ථානය වෙත යොමුකිරීමක් සිදුවෙනවා. ඒ සඳහා මැදිහත්වෙලා කටයුතු කළත්,
මෙම තනතුරුවල ශාසනික බලයක් මිස, නීතිමය බලයක් නැහැ. එනිසා ඇතැම් අවස්ථාවල මෙම නායක
පදවි විවේචනයට පවා ලක්වෙනවා.
හේමමාලා රන්දුනු |