ජීවිතයට
සතුට සැනසුම ලබාදෙන
මුදු ගුණය
බළංගොඩ ශ්‍රී ධර්මානන්ද
පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති
මහා නා හිමි
නිදිකුම්බා පැළෑටිය යන්තමින් ස්පර්ශ කළ ද හැකිළේ. කරදරයක් නොවේ. තදින් ස්පර්ශ කළ ද
හැකිළේ. නමුත් විෂ කටු ඇනේ. තුවාල වේ. වේදනා විඳින්නට සිදුවේ. සමහර මනුෂ්‍යයෝ ද
නම්‍යශීලී බව පෙන්වමින් අනෙකක් කරති. උපායෙන් රවටති.
‘දයා දාක්ෂිණ්‍ය’ අපගේ භාෂා ව්‍යවහාරයෙහි එන වචනයකි. ‘දයා’ යනු දයාවයි. කරුණාව,
මෛත්‍රිය, ආදරය, යහපත් අදහසට එකඟවීම ආදී ගුණයන්ගෙන් යුක්ත බවයි.
දාක්ෂිණ්‍ය යනු අනුන් සතුටුවන ආකාරයට කටයුතු කිරීමයි. දයා දාක්ෂිණ්‍ය මුදු ගුණයට
සමාන ය. මුදුගුණ ඇත්තෝ කීකරු වෙති. ආදරණීය වෙති. අවවාද අසති. පිළිගනිති. හොඳ දෙයට
කන් දෙති. වරද අමතක කරති. ලතෙත් හදවත් වූවෝ වෙති. දුකේදී ළඟ සිටිති. විපතේ දී පිහිට
වෙති. මුදු මොළොක් වදන්ම කියති. දරදඬු නොවෙති. ප්‍රතිපත්ති රකිති.
කරණීය මෙත්ත සූත්‍රයේ දී මෙත් වඩන්නකු තුළ තිබිය යුතු ගුණයක් ලෙස පුරුදු පුහුණු
කරන්නට පෙන්වා දුන් මුදු ගුණය සාමාන්‍ය ජීවිතයේ සාර්ථකත්වයට හේතුවන උතුම් ගුණ
ධර්මයකි.
පදම් කළ සමක් කැමැති අතකට නැමිය හැකි ය. රත් කළ යකඩයකට කැමැති හැඩයක් දීමට පුළුවන.
උණුකළ රත්‍රන්වලින් නොයෙක් ආකාරයේ ආභරණ නිර්මාණය කළ හැකි ය. පල ප්‍රයෝජනවත් දෙයක්
සෑදීමට ද පුළුවන. ජීවිතයට මෙබඳු නම්‍යශීලී බවක් අවශ්‍ය ය.
දරදඬු ජීවිතවල ඔවුනොවුන් අතර ජීවත්වීම අමාරු ය. පුංචි දරුවන්, තරුණ තරුණියන්, අඹු
සැමියන්, මව්පියන්, වැඩිහිටියන් අතර නම්‍යශීලී බවක් නොමැති නම් ඔවුන් ජීවත්වන ගෙදර
සැනසිලිදායක නොවනු ඇත. මෙවැනි අයගෙන් යුත් ගම ද, රට ද සාමකාමී නොවනු ඇත.
වඩාත් මුදු ගුණය ඇත්තෝ පුංචි දරුවෝ ය. හරියට උණුකළ රත්‍රන් පිඩක් සේ ය. ආදර්ශයෙන්
අවවාදයෙන් ඔවුනට හොඳ නිමැවුමක් දෙන්නට පුළුවන. සරලව කියනවා නම් අනාගතයට හොඳ
පුරවැසියකු නිර්මාණය කරන්නට පුළුවන.
පුංචි දරුවා ඉගෙන ගන්නේ ඇසෙන දකින දෙයිනි. මවුපියන් තුළ මුදු ගුණය ඇතිනම් තම දරුවෝ
ද ඒ මඟ යති. මව්පියන් දරදඬු නම් දරුවෝ ද දරදඬු වෙති. අනුකරණය දරුවන්ගේ ස්වභාවයයි.
ආදරයට, සෙනෙහසට, කරුණාවට, දයාවට පුංචි දරුවන්ගේ සිත ක්ෂණයකින් නැමේ. වචනයෙන්
පෙනුමෙන් මනිනවා මිස කෙනකුගේ අභ්‍යන්තර සිතිවිලි කපටිකම්, බොරු වංචාකාරකම් තේරුම්
ගන්නට දරුවන්ට අවබෝධයක් නැත. මේ නිසා බාහිරින් පෙන්වන මුදු බව හමුවේ ඔවුන්
වංචනිකයන්ට හසුවීමට ද ඉඩ ඇත. නිදිකුම්බා පැළෑටිය යන්තමින් ස්පර්ශ කළ ද හැකිළේ.
කරදරයක් නොවේ.
තදින් ස්පර්ශ කළ ද හැකිළේ. නමුත් විෂ කටු ඇනේ. තුවාල වේ. වේදනා විඳින්නට සිදුවේ.
සමහර මනුෂ්‍යයෝ ද නම්‍යශීලී බව පෙන්වමින් අනෙකක් කරති. උපායෙන් රවටති. විපත් ගෙන
දෙති. මේ නිසා මවුපියන් දරුවන් පසු පසම හිඳිමින් ඔවුන් ආරක්ෂා කළ යුතු වේ.
අඹු සැමියන් ඔවුනොවුන් ට මුදු නොවූ තැන විවාහ දිවිය නීරස වනු ඇත. බිරියගේ මුදු
මොළොක් වචනය සැමියාගේ මුදුමොළොක් වචනය දෙදෙනාගේ ම සිත නිවයි. තැවුල් සෝ දුක් නසයි.
ප්‍රශ්න ගැටුම් දුරදිග නොයවයි. නැන්දම්මා ලේලියටත්, ලේලිය නැන්දම්මාටත් මුදු මොළොක්
වූයේ නම් ඒ පවුලේ කිසිවෙක් ඔවුනොවුන් නිසා අසරණ වන්නේ නැත.
ගුරුවරයා සිසු දරුවන්ට මුදු සිතින් වචනයෙන් ඔවදන් දෙන්නේ නම්, ශිෂ්‍යයා ගුරුවරුන්
වෙත මුදු වන්නේ නම් පැහැබර වන්නේ හෙට රටේ ආනාගත යයි.
මුදු මොළොක් වචනය ගැටුම් දුරදිග නොයවන්නේ ය. කෝපයෙන් දැවෙමින් ගිනියම් වූ සිතට මුදු
මොළොක් වචනය සිසිල් දිය බිඳකි. සිතට සැනසිල්ල උදාකරයි.
දිනක් එක් කුමාරයෙක් සිය මව සහ තවත් පිරිසක් සමඟින් ගමනක් යමින් සිටියහ. පුතු මුදු
මොළොක් ගති පැවැතුම් ඇතත් මව දරදඬු ය. සැර පරුෂ අමිහිරි වදන් ඇත්තියකි.
කිසිවෙක් ඇය පි‍්‍රය නොකරති. මහ වන මැද දී කෑරලයෙක් හඬලෑවේ ය. කෑරල හඬ අමිහිරි,
අසුබ හඬක් නිසා සියල්ලෝ ම දෙකන් වසා ගත්හ. අම්මා ද පුතු ද එසේම කළහ. තවත් ටික දුරක්
යන විට කොවුලකුගේ මිහිරි නාදයක් ඇසුණි. ඒ කර්ණ රසායන හඬට ඉතා ආසාවෙන් ඇහුම්කන්
දෙමින් පිරිස සතුටු වූහ.
‘පෙනේ ද මෑණියනි, කෑරලාගේ අමිහිරි හඬ නිසා හැමදෙනා ම දෙකන් වසාගත් සැටි, කෝකිලයාගේ
මිහිරි නාදය අසා සතුටු වූ සැටි’ පුතු මවට කීවේ ය. කටුක වචනයෙහි, සැර පරුෂ බිනීමෙහි
වරද අම්මා තේරුම් ගත්තා ය. ජාතක පොතේ එන මේ කතා පුවත අපගේ ජීවිතයට දුන්නේ වැදගත්
පණිවිඩයකි.
මුදු ගුණයට ස්ථානෝචිත ප්‍රඥාව ද අවශ්‍ය ය. මෘදු නොවිය යුතු අවස්ථා ද ඇත. අයහපතට,
නරකට, වැරැදි දේට මෘදු නොවිය යුතු ය. ප්‍රතිපත්ති ගරුක විය යුතු ය. යහපත, අයහපත
තෝරා ගන්නට ප්‍රඥාව තිබිය යුතු ය. ජීවිතය වඩාත් සාර්ථක වන්නේ එවිට ය.
සමහර මව්පියන්, ගුරුවරු, වැඩිහිටියන්, දරුවන් හා ශිෂ්‍යයන් වෙනුවෙන් ටිකක් සැර රළු
වචන භාවිත කරන්න පුළුවන්. එහෙත් ඒවා පරුෂ වචන ගණයට වැටෙන්නේ නැහැ. දරුවා සුමගට
ගැනීමට ආදරයෙනුයි, ඒ වචන ඔවුන් භාවිත කරන්නේ. සමහරු බලයෙන්, තාන්න මාන්නවලින් හා
මුදලින් ඉදිමිලා අන් අය පහත් කර කතා කරන අවස්ථා බොහෝ විට දැක ගන්න පුළුවන්.
හැම පැත්තකින්ම මේවායේ ප්‍රතිඵල දුක්ඛදායක ය. හිත් රිදෙන වචනවලින් ඉවත්ව, කනට
සුවයක් ගෙන දෙන, පි‍්‍රය බව ඇති කරන, හදවතට සැනසිල්ල උදා කරන, හොඳ වැදගත් වචන, බොහෝ
දෙනා පි‍්‍රය කරන, බොහෝ දෙනා කැමැති (බහුජන මනාපා) වචන කතා කරනවා නම් ඒ තැනැත්තා
‘මධුභාණී’ ලෙස ධර්මයෙහි සඳහන් කර ඇත. ඔහුගේ වචන මී පැණි මෙන් රසවත් ය. ඔබත් මධුභාණී
වන්න.
බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ ඇති සංවර බව, සිත් ගන්නා සුළු බව කෙතෙක් ද යන්න
උන්වහන්සේගේ දේශනා තුළින් දමනය වූ පුද්ගලයන් දෙස බැලීමෙන් ද අද දක්වාත් එම දේශනා
මිනිස් හදවත් ඇද බැඳ තබා ගැනීමට සමත් වීම තුළින් ද දැකගත හැකි ය. සෝණ දණ්ඩ
බ්‍රාහ්මණයා බුදුරදුන් පිළිබඳව සඳහන් කරන්නේ,
“සමණෝ ඛලු භෝ ගෝතමෝ එහි ස්වාගතවාදී, සඛිලෝ සම්මෝදකෝ උත්තාන මුඛෝ පුබ්බ
හාසී,පුබ්බභාසී” යනුවෙනි. තමන් ළඟට එන අය ආශීර්වාදාත්මකව සුබ පතමින් පිළිගන්නවා.
යාළුවෙක් වගේ තමයි කතා කරන්නේ.
හිනාවෙලා ප්‍රසන්න මුහුණින්, කෙළින් මුහුණ දීලා කතා කරනවා. අනිත් අයට ඉස්සෙල්ලම කතා
කරන්නෙත්, ඉස්සෙල්ලාම හිනාවෙන්නෙත් බුදුහාමුදුරුවෝ. අපට කෙනකු මුණ ගැසුණ විට
හැසිරිය යුතු ආකාරය මොනතරම් ලස්සනට පෙන්නුම් කළා ද බලන්න. අපට වැදගත් පාඩමක් කියා
දුන්නා නොවේ ද?
හොඳ වචනයේ වටිනාකම අගය කළ බුදුරදහු වචනයේ උපරිම පල නෙළා ගත් එමෙන්ම තමන් වෙත එල්ල
වූ සියලු වාග් ප්‍රහාරවලට ඉවසීමෙන්, කරුණාවෙන්, මුහුණ දී ලෝකයම ජයගත් ශ්‍රේෂ්ඨ
උත්තමයෙකි. අතින් පයින් කරන විපත්වලට වඩා කටින් කරන විපත බරපතළ ය.
වචනයක් කටින් පිට කරන්නට පෙර කිහිපවරක් සිතන්න. උදේ සිට නින්දට යනතුරු කළ කතාබහ ගැන
සිතා දුර්වල තැන් හදා ගන්න. ඔබ වෙත එල්ලවන අපි‍්‍රය අමනාප වචන ඉවසන්න හුරුවන්න.
මුදු ගුණයෙන් යුක්තව ඔබ පිට කරන මිහිරි වදන්වැල ඔබේ ජීවිතය අලංකාර කරනු ඇත. |