දහම් දැනුම තිබුණත්
දුගතිය උරුම කරගන්නෝ
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් තෙරුවන් සරණ යන බොහෝ පිරිසකට යම් දහම් දැනුමක් වේ. එනමුත්
පිරිසිඳ දැන ගැනීම හෙවත් මනාවූ දැනීම සහ අවබෝධය හීනය. අවබෝධය හීන වන්නට හෝ නොමැති
වන්නට හේතු වන්නේ භාවිතය හෙවත් අභ්‍යාසය නොමැති වීමයි. මෙය භාවනාව යනුවෙන්
හැඳින්විය හැකියි.
මෙහිදී ගැටලුව වන්නේ පුහුණු වෙනවා හෝ භාවනාව කරනවා යනුවෙන් පවසන්නෝ නියම මාර්ගයෙහි
ගමන් කරන්නේ ද යන්න ය.එනම් ඒ ඒ අරමුණෙහි ලෝභ, දෝස, මෝහ නැසෙන ආකාරයෙන් සිත සිහිය
පවත්වන්නේ ද යන කරුණයි.
තව දුරටත් කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් සමථයේදී පරිකර්ම, උපචාර, අර්පණා සමාධි
ලෙසිනුත්, විදර්ශනාවේ දී ස්කන්ධ පංචකය මුල් කොට ගත් සියලු සංස්කාර අනිච්ච, දුක්ඛ,
අනත්ත යන ත්‍රිලක්ඛනයට යටත් කොට උදයව්‍ය අවබෝධ කර ගැනීමයි.
දැනුම එක් කොටසකි. අවබෝධය තවත් කොටසකි. මේ දෙකෙනුත් අවබෝධය ප්‍රධාන ය. එයට හේතුව
නම් දැනුම සකස් වන්නේ මොළයේ ක්‍රියාකාරිත්වයෙනි. එනමුත් අවබෝධය සකස් වන්නේ සිත
හෙවත් විඤ්ඤාණය ස්පර්ශ කිරීම හෙවත් මෙහෙයවා ගැනීමෙනි. මේ කාර්යයේ දී සාංසාරික
වශයෙන් සහ මෙම ජීවිතයේ දී බලවත් වූ ගුණාත්මක කැපකිරීමක් අවශ්‍යය.
මෙය සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබුවේ පාරමිතා සම්පූර්ණ කිරීම යනුවෙනි. සැබැවින්ම මෙම
ක්‍රියාදාමය ආර්ය පර්යේෂණයක් විය යුත්තේ ය. එනම් දාන, සීල,නෙක්ඛම්ම ආදි ලෙසින් නම්
කරන පාරමිතා පෙළ ගැස්ම තණ්හා, මද, මාන, දිට්ඨි භංග කරන ආකාරයට සිත පුහුණු කිරීම ය.
ආනුපුබ්බී දේශනාවට අනුව දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව ඕකාරං ,සංක්ලේසෝ,
නෙක්ඛම්මේ අනිසංසො වශයෙන් ආශව ක්ෂය කිරීමේ මාර්ගය දියුණු කර ගත යුතු වේ. නැවත සඳහන්
කරන්නේ නම්, පාරමිතා සම්පූර්ණ කිරීමෙන් අදහස් කරන්නේ ද මෙම ක්‍රියාදාමයයි.
දන් දෙන, සිල් රකින ,භාවනා කරන, සියලු දෙනාම මේ පිළිබඳව මනා කොට සිත සිහිය
පිහිටුවන්නේ දැයි තමා වෙතින්ම විමසා බැලුය යුතු ය. දැනුම සහ අවබෝධය අතර මනා වූ
ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන්නේ මේ නිසා ය.
ත්‍රිවිධ ශාසනය ලෙස නම් කරන පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ මාර්ගයෙහි ද මේ බව
මැනවින් වටහා ගැනීම අවශ්‍ය ය. ධර්ම ශ්‍රවණය දහම් පොත පත කියැවීම, සාකච්ඡාව
පරියාප්තියයි.
සීල, සමාධි, පඤ්ඤා ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම ප්‍රතිපත්තියයි.
ප්‍රතිවේධය නම් සියලු ආශ්‍රවයන්ගෙන් මිදීමෙන් සිදු වන්නා වූ නිවීමයි. ජාති, ජරා,
ව්‍යාධි, මරණ ආදි සියලු දුක්ඛ දෝමනස්සයන්ගේ සම්පූර්ණ වූ නිවීමයි.
එනම් සදාකාලික වූ නිදහස්වීමයි. දැනුමෙන් පමණක් මෙම ප්‍රතිපදාව සම්පූර්ණ වේද?
සැදැහැවත් සියලු දෙනා විසින් තමා කෙරෙන් විමසා බැලිය යුත්තේ ය.
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ධර්ම දේශකයා විසින් තම සිත්හි , ඒ ඒ අරමුණෙහි රාග,
ද්වේෂ , මෝහ සංසිඳුවාගෙන ශ්‍රාවකයන්ගේ ද සිත්හි රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන්
දේශනා කළ යුතු වන්නේ ය. මුල, මැද, අග සියලු තැන්හි එසේ විය යුතු වන්නේ ය.
අර්ථ රසයෙන් සහ ධර්ම රසයෙන් සමන්නාගත ව කෙලෙස් නැසීමෙහි සිත සිහිය පිහිටුවන
පිරිසුදු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතු බ්‍රහ්මචරිය මගම විය යුතු වන්නේ ය.
මෙ මඟින් බැහැරවන සියලු කතා හෝ දේශනා බ්‍රහ්මචාරි මඟට අනුව අධම්ම වාදී , අවිනයවාදි,
අකාලවාදී ,අභූතවාදී වන්නේ ය.
අශ්‍රැතවත් පෘථග්ජනයා මෙසේ සාකච්ඡා කරන ආර්ය මාර්ගය මැනවින් අවබෝධ කරගත්,නොගත් හෝ
අවබෝධකර නොගන්නා ය.
ආර්ය ධර්මය නොදැකීම හෙවත් අවබෝධ කර නොගැනීම නිසා ආර්ය ධර්මයෙහි අදක්ෂ ය. ආර්ය
ධර්මයෙහි අවිනීත ය. මේ නිසා සිත, කය, වචන නම් ආකාර තුනෙන් ම පස් පව් දස අකුසල් කර
ගනියි.
යම් පිරිසක් දහම් දැනුම උපයෝගී කරගෙන කය වචනය සංවර ගෙන සිටිය ද සිතින් කෙලෙස් සහගතව
හැසිරෙති. ආර්ය ධර්මයෙහි ප්‍රතික්ෂේපිත අභිජ්ඣා දෝමනස්සයන්ගෙන් යුක්ත වෙති. එනම්
දැඩි ආශාවන්ගෙන් සහ ගැටීමෙන් යුක්ත ය.
එමෙන්ම කුහක වූ ද, චාටු බස් කියන ක්‍රෝධයෙන් සහ මානයෙන් දැඩි වූවෝ තමාම මතු කොට කතා
කරති. කෙලෙස් සිත් ඇත්තාහු එකඟ වූ සිත් නැත්තා හු වෙත් ද, ඔවුහු සම්මා සම්බුද්ධ
දහමෙහි දිළිඳු පුද්ගලයෝ ය. දහමෙන් දිළින්දා දුගති මඟට වැටුණු අයෙකි.
ධර්මයෙහි නිතර යෙදෙන වදනක් වන බහුස්සති නම් වදන සිහිපත් කරමි. බොහෝ ඇසූ පිරූ තැන්
ඇති යනුවෙන් සාම්ප්‍රදායිකව මෙය විස්තර කෙරේ. මෙය තවදුරටත් විමසා බැලිය හැකි ය.
ලෝභ, දෝෂ, මෝහ සංසිඳෙන ආකාරයෙන් ශ්‍රවණය කිරීම ද, එම අවබෝධය මුළු ජීවිත කාලය පුරාම
පවත්වා ගැනීම ද අවශ්‍යය. එමෙන් ම එසේ ඇසූ දහම් නිවැරැදි ලෙස ම මතකයේ පවත්වා ගැනීමද
ආශව ධර්මයන් ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ අංගයකි.
එයට හේතුව නම් අශ්‍රැතවත් පෘථග්ජන සිත් පහළ වෙන්නා වූ කෙලෙස් නැසීම පිණිසත් ,
පරමාර්ථ ධර්ම සිතිවිලිවලට සිතෙහි ප්‍රමුඛත්වය ලබා දීමත් ය. කෙලෙස් සිතිවිලි නැසීමට
මෙන්ම , අලුත් කෙලෙස් සිතිවිලි පහළ වීමට දුර්වලවීමටත් මෙය හේතුවක් බවට පත්වෙයි.
එමෙන්ම අසන ලද, දරන ලද, දහම් වචනයෙන් නැවත නැවතත් පුහුණු කිරීම අවශ්‍යය. සජ්ඣායනය
යනුවෙන් හඳුන්වන මෙය පුද්ගල ලෙසින් හෝ සමූහ වශයෙන් ද සිදුකළ හැකි ය.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි අවධියේ දී මෙන්ම පළමුවන ධර්ම සංගායනාවේ පටන් මේ බව
තේරුම් ගත හැකි ය. මෙම සජ්ඣායනාවන් කෙලෙස් සන්සිඳෙන ආකාරයෙන් මිස කෙලෙස් උද්දීපනය
වන ආකාරය නොවිය යුත්තේ ය.
නැවත නැවත මෙනෙහි කිරීමත්, සිහියට එනම් සතර සතිපට්ඨානයෙහි විස්තර කෙරෙන සම්මා සතියට
ම යටත් කොට දැක්මත් අවශ්‍යය. අවසානයෙහි සිදුවිය යුත්තේ කුමක් ද? සම්මා නම් වූ සියලු
සංස්කාර ධර්මයන්හි අනිත්‍ය, දුක්ඛ, අනත්ථ ස්වභාවය විදර්ශනා නුවණින් අවබෝධ කරගැනීම
අවශ්‍යයි.
ස්කන්ධ පඤ්චකයෙහි පවත්නා නිසරු බව උපාධානය කර නොගැනීමෙන් මනසින් දැකීම අවශ්‍යය.
එම අවස්ථාවේ දී ලෝභාදී කෙලෙස්වල පහළවීම දුර්වල වන්නේ ය. මෙය අනුපූර්ව
ක්‍රියාවලියකි.
දැනුම පවතින්නේ ද, අවබෝධය නොමැත්තේ නම් කෙලෙස් නම් සැඩ පහරට හසු වීම වැළැක්විය
නොහැකි ය. මහා දැනුම් සම්භාරයක් පවත්වා ගන්නා වූ යම් අය ද පුහුණුව , භාවනාව, අවබෝධය
නොමැති වීම නිසා කෙලෙස් සැඩ පහරට හසුවී ගිලී යන්නේ ය.
එනම් සතර අපායම මුල් කොට ගත් දුගතියෙහි ම උපදින්නෝ ය. මේ උතුම් බුදු සසුනෙහි කෙලෙස්
නැසීමට නම් සාධනීය ලෙස පුහුණුව අවශ්‍ය ය. කාලය ගෙවී යයි. මහා ධර්ම මාර්ගයට අනුගතවීම
අවශ්‍යම කරුණයි. |