රෝහණ විහාරයට අභිමානයක් වූ
රෝහණ
මහා සෑ රදුන් වහන්සේ
2022 නව වර්ෂයෙහි ජනවාරි මස 18 දින “රෝහණ මහා සෑය” වන්දනාව සඳහා විවෘත විය. එමඟින්
රෝහණ විහාරය මෙන් ම කැලණි ප්‍රදේශය ද වඩාත් පූජනීයත්වයට හා අභිමානනීයත්වයට පත්ව
ඇත.”
වර්ෂ 1952 දී පර්චස් 16 ක් තරම් කුඩා බිම් කඩක එදා ‘සරණගිරි විහාරය” ලෙසින් සමාරම්භ
වූ වත්මන් රෝහණ විහාරය වර්ෂ 1976 දී පැවැත් වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව හේතුවෙන්
සිදු කරන ලද මහා මාර්ග පුළුල් කිරීමේ දී මෙහි තිබූ එකම විහාර අංගය වූ කුඩා ආවාස
ගෘහයේ කොටසක් සහිතව ඉඩමින් විශාල කොටසක් ද පාරට අත්පත් කරගෙන ඇත. 1981 වර්ෂයේ දී
වත්මන් විහාරාධිපතීන් වහන්සේ මෙහි වැඩම කරන විට මෙම කුඩා භූමි භාගය බොහෝ පරිබාහිර ව
පුද්ගලයන් විවිධ හේතුන් මත භුක්ති විඳිමින් සිටි ස්ථානයකි.
වත්මන් රෝහණ විහාරය ඉදිකිරීමට වසර ගණනාවක් සිය ශ්‍රමය, ධනය, කාලය කැප කිරීමට සිදු
වූ බව වත්මන් විහාරාධිපතීන් වහන්සේගේ අදහස යි. මඩ ගොහොරුවක් ලෙස පැවති මෙම භූමිය
ගොඩනඟමින් ප්‍රථමයෙන් 1982 වසරේ දී ගමත්, පන්සලත් අතර සම්බන්ධතාව ගොඩනඟමින් ශ්‍රී
සෝභිත දහම් පාසල සහ ළදරු පාසලක් ආරම්භ කරන ලදී.
අනතුරුව වර්ෂ 1983 දී විහාරස්ථානයක් සඳහා අවශ්‍යම වූ, ත්‍රිවිධ චෛත්‍යයෙන් එකක් වූ,
පාරිභෝගික චෛත්‍ය ලෙස ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම කරවා රෝපණය කරවී ය.
වර්ෂ 1987 දී විහාර මන්දිරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළත් එම අභිලාෂය මුදුන්පත්
කරගත හැකි වූයේ එවක කැලණිය ප්‍රදේශයේ පදිංචියට පැමිණි වෙළඳ ව්‍යාපාරික අභාවප්‍රාප්ත
වී.වී. කරුණාරත්න මහතා රෝහණ විහාරයට සම්බන්ධවීමත් සමඟ ය. අතිදර්ශණීය දෙමහල් විහාර
මන්දිරය ගොඩනඟා 1989 වර්ෂයේ දී මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින්
නිරාවරණය කිරීමත් සමඟ මෙම විහාරය රෝහණ විහාරය” නමින් අභිනව පුනරුදයට මුල පිරී ය.
නවලෝක සමූහ ව්‍යාපාර අධිපතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වූ මෙම දේවායතන සංකීර්ණය
එහි උඩ සිවිලිමෙහි දේවසභාව , සතරවරම් දෙවිවරු , විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාර සිතුවම්
කර තිබීමෙන් ද සුවිශේෂත්වයක් උසුලයි.
මේ වනවිට රෝපණය කරන ලද බෝධි ශාඛාව ද ක්‍රමයෙන් වැඩී තිබුණු හෙයින් ඒ වටා සාමාන්‍ය
බෝධි ප්‍රාකාරයක් ඉදි වුව ද, පසුකාලීනව මෙම විහාර භූමිය වඩාත් ගෞරව සම්මානයට පාත්‍ර
වූ සුවිශේෂ අංගයක් ලෙස යුගල රන් වැට හා රන් ආලේපිත අටවිසි බුද්ධ ප්‍රතිමා කුටි
සහිත අභිනව බෝධි ප්‍රාකාරය සඳහන් කළ හැකි ය.
මෙවන් රමණීය පින් බිමක අසිරිය වඩාත් ඔපවත් කරමින් දොරට වඩින අභිනව විහාරාංගය වන්නේ
රෝහණ මහා සෑය ඉදිවීම යි. වර්ෂ 2018 දී ඉදිකිරීම් කටයුතු සමාරම්භ කළ මෙම චෛත්‍ය
රාජයාණන් වහන්සේ විහාර ආශි‍්‍රත කුඩා බිම් කොටස දැඩි පරිශ්‍රමයක් දරා විශාල මුදලක්
වැයකොට මිලදී ගැනීමෙන් පසුව මෙම චෛත්‍ය කර්මාන්තය වඩාත් සක්‍රීය හා පලදායීත්වයෙන්
යුතුව ඉදිවන්නට විය. විහාරාධිපතීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම නිසා විවිධ
දුෂ්කරතා අභිබවා වසර කීපයක් මුළුල්ලෙහි මෙම මහා සෑය ගොඩනැගීම සිදු කරන ලදී. අඩි 88
ක් පමණ උසැතිව මෙම මහා සෑ රදුන් ගොඩනඟා ඇත.
ප්‍රාදේශීය දානපතීන්ගේ ආධාරය, නුවර පාර මහ මාවත ගමන් කරන වාහන හිමියන් මෙන් ම
බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල් හා විහාරාධිපතීන් වහන්සේගේ ද ධන පරිත්‍යාගයෙන්
විශාල ධනස්කන්ධයක් වැයකොට මෙම අනභිභවනීය මහාථූපය ස්ථාපිත කර ඇත.
චේතියඝරය සහිත ධාතු චෛත්‍ය නුවර පාර නව අධිවේගි මාර්ගයේ ගමන් කරන අයට ඒ වගේ ම
කල්‍යාණි පුරවරයෙන් කොළොම්තොටට පිවිසෙන මෙන් ම කොළොම්තොටින් පිටවෙන සෑම දෙනාට ම
නිර්මල බෞද්ධ සංකේතයකි.
නෙතට රසඳුනකි. චේතියඝරය ඇතුළත් අඩි 33 ක් උසට ධාතු චෛත්‍ය පිහිටා ඇත. අටපට්ටම්
හැඩයෙන් යුක්ත අභ්‍යන්තරික කොටසෙහි තනි තේක්ක දැවයෙන් නිම කරන ලද මල්කම් හා
ලියකම්වලින් සමලංකෘත ය. ධාතු චේතිය වටා අඩි 12ක් උසින් අටවිසි බුද්ධ ප්‍රතිමා ද, එම
චේතිය වටා ප්‍රධාන බුදු පිළිම 8 ක් ද තැන්පත් කර ඇත. ථූපඝරය ඇතුළත බෞද්ධ කොඩිය,
නෙළුම් මල් හා සදෙව් ලොව ද නෙත් සිත් අදනා ලෙස චිත්‍රණය කර ඇත.
සමස්තයක් වශයෙන් ගත් කල විහාරාධිපතීන් වහන්සේගේ සහජ නිර්මාණශීලි සංකල්පනාවන්ගෙන් ද,
සුරේෂ් රුවන්පුර වැලිගම මහතාගේ නිර්මාණකරණයෙන් ද, කලාශූරී පෑලියගොඩ දයානන්දයන්ගේ
කැටයම් හා චිත්‍ර ශිල්පයෙන් ද මනා සංකලනයෙන් ඔපවත් වූ මෙම චෛත්‍ය කර්මාන්තය ජනවාරි
18 දින වන්දනාව සඳහා විවෘත විය.
මෙම දර්ශණිය වෙහෙර බිම ත්‍රිවිධ චෛත්‍යයෙන් සමලංකෘත වූ සකලාංග පරිපූර්ණ විහාරයක්
බවට පත් කරමින් “රෝහණ මහා සෑය” ඉදි කොට නිම කරන ලදී. එහි නිරාවරණය කිරීමේ කටයුතු
පසුගිය මස 18 දිනට යෙදුණි.
මෙම මාහැඟි පින්බර සදානුස්මරණීය උත්කර්ෂවත් අවස්ථාව කල්‍යාණි රාජමහා විහාරාධිපති හා
කැලණි සරසවියේ කුලපති, මහාචාර්ය,කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මාහිමිපාණන් වහන්සේ
ප්‍රධාන ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ද, ව්‍යාපාරික ප්‍රජාව හා අනිකුත් පින්වතුන් ද
ඇතුළු ගිහි - පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
ශාස්ත්‍රපති
වත්තල සෝභිත හිමි |