පෑන මෙහෙයවා ජාතියක් අවදි කළ
නිදහස් අරගලයේ
අභිමානවත් සලකුණ
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් අරමුණ මැනවින් තේරුම් ගත් විරල ගණයේ ජාතික
වීරවරයෙකි. එතුමා නිදහස් සටන් ව්‍යාපාරයේ දී කිසිවකුට ඉටු කළ නොහැකි මහා මෙහෙවරක
නිරත විය.
ඒ රටේ නිදහස් අරගලය වෙනුවෙන් සිය පුවත්පත් මඟින් උපරිම සංවිධානශීලි හැකියාවෙන්
පූර්ණ දායකත්වයක් දැක්වීමෙනි. ලේක්හවුස් නිර්මාතෘ
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 136 වැනි ජන්ම දිනය පෙබරවාරි 23 වැනිදාට යෙදී
තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අපේ රටට නිදහස ලබා ගැනීමට ප්‍රමුඛව කටුතු කළ, මෙරට ප්‍රථම හා විශාලතම පුවත්පත්
ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන් වූයේ ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන
ශ්‍රීමතාණන් ය. එතුමා උගත්, බුද්ධිමත් ජාති හිතෛෂි, නිර්මාණශීලි හා මනා
සංවිධානාත්මක හැකියාවකින් හෙබි ජනහිතකාමියෙකි.
දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි
පුත්‍ර රත්නය ලෙසින් එතුමා උපත ලබා ඇත්තේ 1886 පෙබරවාරි 23 වැනිදා ය. එතුමා මූලික
අධ්‍යාපනය ලැබුවේ කොළඹ මෝදර පිහිටි ශාන්ත තෝමස් විදුහලෙනි. පාසල් අධ්‍යාපනයෙන්
අනතුරුව බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් සරසවියේ උසස් අධ්‍යාපනය ලද ඩී. ආර්. විජයවර්ධන
මහතා 1912 දී යළිත් මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි. මෙරටට පැමිණ වෘත්තිය
ලෙස නීති අංශය හෝ තම පිය පාර්ශ්වයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙන යාමෙන් පහසු
ජීවිතයක් ගත කළ හැකිව තිබුණ ද , විජයවර්ධන මහතා එම පහසු මං තෝරා ගත්තේ නැත. “රටේ
උගත් ජනතාවගේ මහජන මතය පෙළගැස්වීමට පුවත්පතකට විශේෂ හැකියාවක් ඇතැයි“ යනුවෙන් එදා
එංගලන්තයේ දී නීතිඥ කෝබට් මහතා පළ කළ අදහස් තරුණ විජයවර්ධන මහතාගේ සිත තුළ ලියලන්නට
විය.
ඩී. ආර්. විජයවර්ධනයන්, සර්. ඩී. බී. ජයතිලක, ඒ. ඊ. ගුණසිංහ, පොන්නම්බලම්
අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, එෆ්. ආර්. සේනානායක. ඩී. එස්. සේනානායක, සිද්ධි
ලෙබ්බේ වැනි ජාතික නායකයන් සමඟ එක්ව කටයුතු කළේ බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි
මුල් වකවානුවේ සිට ය. ඒ කාලය තුළ නිදහස් සටනේ පෙරමුණ ගත්තේ “ලංකා ජාතික“ සමිතියයි.
මෙම “ලංකා ජාතික“ සමිතියෙහි ඉහත අය මෙන් ම මෙරට උගත් සල්ලිකාර සිංහල, ද්‍රවිඩ,
මුස්ලිම් ප්‍රභූ පැලැන්තියේ අය ද සාමාජිකත්වය දැරූහ. පසු කාලයේ දී රටට නිදහස ලබා
ගැනීමට පුරෝගාමී වූ “ලංකා ජාතික සංගමය“ බවට පත්වූයේ මේ සමිතියයි. වර්ෂ 1913
ඔක්තෝබර් මස 23 දින පැවැති ලංකා ජාතික සමිතියේ රැස්වීමේ දී ඩී. ආර්. විජයවර්ධනයන්
එහි ලේකම් ධූරයට පත්විය.
දහනම වැනි සියවස මුල් කාලයේ සිට ම මෙරට පුවත්පත් රැසක් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ
භාෂාවලින් පළ විය. එම පුවත්පත් විවිධ අරමුණු සහ දේශපාලන මතවාද අනුව පළ වූ පුවත්පත්
වූ අතර එසේ ඇරැඹි පුවත්පත්වල පැවැත්ම ද කෙටි කාලීන විය. එවකට පළ වූ ඉංග්‍රීසි
පුවත්පත් යම්කිසි ස්ථාවර තත්වයක තිබුණ ද එය සිංහල පුවත්පත් කලාවට බලපෑවේ නැත. මෙම
ක්‍රමය වෙනස් කිරීමට සමත් අයකු ද එවක සමාජයේ නොසිටි බැවින් එය පුවත්පත් කලාවට විශාල
අඩුවක් ලෙස කැපී පෙනුණි.
ඩී. ආර්. විජයවර්ධන මහතා වැනි උගත්, බුද්ධිමත් නව අදහස් ඇති තරුණයන් සමාජයේ කැපී
පෙනෙන්නට පටන් ගන්නේ ද මේ කාලයේ දී ය. විජයවර්ධන මහතා වැනි තරුණයන් මෙරට ගමන් කළ
මාවත වෙනස් කිරීමටත් නව අදහස් ක්‍රියාත්මක කරන්නටත් සැලසුම් සම්පාදනය වන්නේ ද මේ
කාල වකවානුවේ දී ය.
ජාතික අරමුණු ඔස්සේ සමාජ වෙනසකට මඟ සැලසූ ඩී. එස්. සේනානායක, ෆ්‍රැන්සිස් මොලමුරේ
වැනි අය විජයවර්ධන මහතා ගේ සමකාලීනයන් ය. විජයවර්ධන මහතාගේ මතවාදීම ය සංවර්ධනය සඳහා
විශාල පිටිවහලක් මේ අයගෙන් ලැබුණි. ඒ අනුව විජයවර්ධන මහතා තෝරා ගන්නා ලද්දේ සමාජයේ
මතවාද ගොඩනැඟිය හැකි, දේශපාලනයට නිසි මඟ පෙන්වා දිය හැකි මුද්‍රිත මාධ්‍ය
ක්ෂේත්‍රයයි.
එකල මෙරට පැවතියේ නගරයට සීමා වූ ඉංග්‍රීසි පුවත්පත් අධිරාජ්‍යයකි. එදා මෙරට බහුතර
ජනතාව වූ සිංහල ජනතාවට කියැවීමට දිනපතා සිංහල පුවත්පතක් නොවීය. ඒ අනුව අපේ බහුතර
සිංහල ජනතාවට සාරගර්භ දැනුම හා විනෝදය සමඟ නිදහස් අරගලයට පණ පෙවීමට පොළඹවන, රටට ම
බෙදාහරින පුවත්පතක අවශ්‍යතාව එකල හොඳීන් පෙන්නුම් කළේ ය.
වර්ෂ 1909 දී ආරම්භ වූ දිනමිණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ එච්.
එස්. පෙරේරා මහතා ය. ඔහු රෝගාතුර වීම හේතුවෙන් දිනමිණ පුවත්පත පවත්වාගෙන යෑම
පිළිබඳව ගැටලුවක් මතුව තිබුණි. එම තත්වය තුළ විජයවර්ධන මහතා තීරණය කළේ සමාජයට විශාල
සේවයක් සිදු කළ හැකි දිනමිණ වැනි පුවත්පතක් වැසී යා නොදී එහි කළමණාකාරීත්වය පවරා
ගැනීම ය. ඒ අනුව 1914 දී ඩී. ආර්. විජයවර්ධනයන් දිනමිණ මිල දී ගත්තේ ය. ඒ සමඟ
දිනමිණ පුවත්පතට නව ජීවියක් එකතු විය. විජයවර්ධනයන්ගේ කාලීන ව්‍යාපාරික ඥානය අනුව
වැසී යමින් තිබූ දිනමිණ පුවත්පත මිලට ගැනීම හා වාණිජ පුවත්පත් කර්මාන්තය හා ජායාරූප
ශිල්පී කලාවක් රටට හඳුන්වා දී දියුණු කළේ නැති නම් අද මෙරට මෙතරම් දියුණු වාණිජ
පුවත්පත් කර්මාන්තයක් නොතිබෙන්නට තිබුණි.
මුල්වරට විධිමත් ලෙස පුවත්පතක් පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය හඳුන්වා දුන් විජයවර්ධන
මහතා මෙරට ප්‍රථම වරට පුවත්පතක පළ වූ වර්ණ ඡායාරූපයක් ලෙස 1915 පෙබරවාරි 02 වැනි දා
සිංහ කොඩියක වර්ණ ඡායාරූපයක් දිනමිණ මුල් පිටුවේ පළ කළේ ය.
1917 වන විට “සීලනීස්“ නමින් පැවැති මුද්‍රණාලයක් ද මිලට ගන්නා අතර එහි අරමුණ වූයේ
දිනමිණ මූලික කර ගත් පුවත්පත් සමූහයක් ආරම්භ කිරීම වූ අතර එම අරමුණ සඵල කර ගනිමින්
1918 වන විට “ඩේලිනිවුස්“ පුවත්පත ආරම්භ කළේ ය. ඒ වන විට ස්වදේශිකයකු ආරම්භ කළ
ඉංග්‍රිසි පුවත්පතක් ලෙස දේශීය මතවාද අදහස් අධිරාජ්‍යවාදීන් වෙත ගෙනයාමට ඩේලිනිවුස්
පුවත්පත මහා මෙහෙවරක් ඉටු කළ බව සඳහන් වේ.
1923 දී යුරෝපීයයන් සතුව තිබූ “ඔබ්සර්වර්“ පුවත්පත ද ඩී. ආර්. විජයවර්ධනයන් මිල දී
ගෙන නව්‍යතාවයෙන් යුතුව මුද්‍රණය කොට ඇත. අවි නොදරා මතවාදීමය තලයේ නිදහස් සටන දියත්
කිරීමට විජයවර්ධන මහතාගේ පුවත්පත් කලාව විශාල සහයෝගයක් වූ බව ද කියැවේ.
එවකට විවිධ වූ අන්තවාදී මතවාද ඔස්සේ ජාතික සටන දියත් කිරීමට සමහර බලවේග විසින්
කටයුතු කළ ද විජයවර්ධන මහතා තම පුවත්පත් කලාව ඔස්සේ පෙරට ගෙන ආවේ මැදහත් සහ
අන්තවාදී නොවන ප්‍රගතිශීලි අදහස් ය.
මේ අනුව එතුමා 1926 දී කොළඹ කොටුවේ බේරේ වැව අසල සුන්දර භූමි භාගයක මෙරට ප්‍රථම
වාණිජ පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් මන්දිරය විවෘත කළේ ය. එතුමා එහි ආරම්භ කළ
එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති විය.
1930 මාර්තු 30 වැනිදා මෙරට සිංහල සතිපතා පුවත්පත ලෙස එදත් අදත් පත්තර ලොවේ දිදුලන
“සිළුමිණ“ ඉරිදා පුවත්පත ආරම්භ කිරීමට ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් කටයුතු කළේ
ය. සාහිත්‍ය, දේශපාලනය, ආගමික යන තුන් පාර්ශ්වය ම රැගත් සියලු අංශ නියෝජනය කරන
පුවත්පතක් විය. අවුරුද්දක පමණ කාලයක් තුළ සිළුමිණ මෙරට ජනප්‍රියතම සිංහල සති අන්ත
පුවත්පත වූ අතර ශත දහයේ විශ්වවිද්‍යාලය යන විරුදාවලිය ලබන්නට සමත් වන්නේ ඩී. ආර්.
විජයවර්ධන මහතා තුළ තිබූ ඉතා උසස් චින්තනය සහ සංකල්ප හේතු වෙනි.
1932 පමණ වන විට විජයවර්ධන මහතා සතුව භාෂා තුනෙන් ම මුද්‍රණය වන ජනප්‍රිය ම
පුවත්පත් හයක් විය. දිනමිණ, සිළුමිණ, තිනකරන්, වාරමංජරී, ඩේලිනිවුස් සහ සන්ඩේ
ඔබ්සවර් ය. මෙම පුවත්පත් සමූහය එක හස්තයක් වශයෙන් මෙරට නිදහස් සටනට අවශ්‍ය මාධ්‍ය
ශක්තිය ලබා දුනි.
විජයවර්ධන මහතාගේ මූලික පරමාර්ථය වූයේ දේශීය අදහස් මතවාද සමඟ මෙරට නිදහස් සටන
ශක්තිමත් කිරීම සහ ඒ ඇසුරෙන් සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමය. 1940, 1950 දශකවල
ඇතිව 60,70 දශක දක්වා පැතිර ගිය සාහිත්‍ය අධ්‍යාපන ප්‍රමෝදයට මූලිකත්වය ලබාදුන්
කරුණ වූයේ ලේක්හවුස් පුවත්පත් සමූහය ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ. සිංහල
භාෂාවට ඉහළ තැනක් ලබා දීමත්, මෙරට සමාජයෙන් එතෙක් සැඟව තිබූ දියුණු ලෝකයේ දැනුම
තොරතුරු ලබා දී ම වැනි කරුණුවල දී විජයවර්ධන මහතාගේ ලේක්හවුස් පුවත්පත් සමූහයෙන්
විශාල කාර්යභාරයක් ඉටු වුණි.
විජයවර්ධනයන් පුවත්පත් කලාවට ම සියල්ල සීමා කරගත්තකු නොව, ඉන් එහා ගිය සටන්
ඉතිහාසයක් තිබේ. එනම් ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටුවන සටනයි.
එවකට බහුතරයක සහාය තිබුණේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවිය යුතු බවට
මතයයි. එම මතය පිළිගත් විජයවර්ධන මහතා තම සමාජ බලය හා මාධ්‍ය බලය ද යොදා ගනිමින්
මෙම සටනට සහාය ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ
ඉතා රමණීය භූමියක ස්ථාපිත කෙරුණි. ඒ අනුව අපිට අවශ්‍ය නාමික විශ්වවිද්‍යාලයක් නොව
කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් මෙන් නේවාසික පහසුකම් සහිත අංග සම්පූර්ණ දේශීය
විශ්වවිද්‍යාලයක් යැයි හඬ නැඟීමේ පුරෝගාමියා වූයේ ද විජයවර්ධන ශ්‍රීමතාණන් ය. මේ
අනුව හන්තාන කඳු පාමුල පිහිටා ඇති විශ්වවිද්‍යාලීය සංඝාවාසයත්, ඩී. ආර්. විජයවර්ධන
නේවාසිකාගාරයත් ඩී. ආර්. විජයවර්ධන නමත් සමඟ ඉතිහාසයට එක්ව ඇත.
විජයවර්ධන මහතා නිතරම සාධාරණ සහ ප්‍රගතිශීලි සටන්වල දී හොඳ සටන් කරුවකු වූයේ ය.
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ජාතික නිදහස් සටන හා ජාතික අධ්‍යාපන
ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ද කළ මෙහෙය ද ඉතා ඉහළ ය. ග්‍රාමීය ප්‍රදේශවල පාඨශාලා
පිහිටුවා ශ්‍රී ලාංකික දරුවන් අධ්‍යාපනයෙන් පොහොසත් කිරීමට හා දිළිදු ජනතාවට පිහිට
වීමට මෙතුමා කැප වී ක්‍රියා කළේ ය. ඒ වගේ ම මෙරට නිදහස ලබා ගැනීමෙන් පසු මෙරට බෞද්ධ
විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරිමට පෙරමුණ ගත්තේ ය. විශේෂයෙන් කැලණිය රාජ මහා විහාරය,
කොළඹ ගංගාරාම විහාරස්ථානය හා බම්බලපිටියේ වජිරාරාමය දියුණු කිරීම සඳහා පෞද්ගලිකව
කැපවී කටයුතු කළ අතර, පේරාදෙණිය සරසවියේ සංඝාරාමය ඉදිකිරීම උදෙසා එකළ තම පෞද්ගලික
ධනය ද පරිත්‍යාග කළේ ය.
අනුබුදු මිහිඳු මා හිමියන් ගුණ සිහිපත් කරමින් පොසොන් පෝදා මිහින්තලා පුදබිම
ආලෝකවත් කරමින් අඛණ්ඩව සිදු කෙරෙන ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව
ඇරඹෙන්නේ ද ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පින්බර අදහසක් මල්පල ගන්වමිනි.
තම උපන් රටට නිදහස ලබා ගැනීමට මෙන් ම රට තුළ අපට ආවේණික පුවත්පත් කලාවක් ස්ථාපිත
කිරීමට හා මෙරට ප්‍රථම ශක්තිමත් මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය
පිහිටුවා වර්තමානයට ද ආදර්ශයක් දුන් දොන් රිචඩ් විජයවර්ධන ශ්‍රීමතාණෝ ජාතික වීර
නාමාවලිය ආලෝකවත් කළ මිණි පහනකි.
දීපා පෙරේරා |