අවබෝධයෙන් පින් පුරා
සුගති සැප සලසා ගමු
ජීවිතයේ මුල් කාලයේ කෙනකුට අකුසල්වලින් වැළකීම අපහසු වූවා විය හැකි ය. එහෙත්
මැදිවියත් සමඟ ජීවිත අත්දැකීම් ලබා වියපත් වූ විට හෝ සිතින් සිතුවහෙත් කුසල් අතට
සිත යොමු කිරීමට නොහැකිකමක් නැත. ජීවිතයේ සැඳෑ සමයේ වුවත් කුසල් කිරීමට සිත යොමු
කරන්නේ සුළු පිරිසකි.
තෙරුවන් කෙරෙහි වන ශ්‍රද්ධාව, පින් – පව්, කුසල්– අකුසල් සමඟ සම්බන්ධ වන සැටි විමසා
බැලීමෙන්, මේ කරුණු සමඟ කෙනෙක් කොපමණ සම්බන්ධ වී ඉන්නේ දැයි අවබෝධ කර ගත හැකි ය.
ශ්‍රද්ධාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පිළිබඳ ව අවබෝධයෙන් යුතු පැහැදීමයි.
පින් පව්, කුසල් – අකුසල් පිළිබඳ අනවබෝධය ඇති කිසිවකුට සැබෑ බෞද්ධයකු විය නොහැකි ය.
ඇතැමෙක් ශ්‍රද්ධා දොරටුව සම්පූර්ණයෙන් විවෘත කර කටයුතු කරති. ඔවුන්ගේ හදවත්
රත්නත්‍රයට ස්ථිර පදිංචිය සලසා දුන් නිවාස වැනි ය. සිදත් සඟරා කතුවරයා ‘මහද ගඳ කිළි
කැරැ – සව් නේ ගෙවා දත් හට”යි කීවේ, උන්වහන්සේ ගේ ශ්‍රද්ධාව එබඳු වූ නිසා විය යුතු
ය. පාපී අකුසල් , එබඳු හදවත්වලට ඇතුළු වන්නට ඉඩ නැත.
උපතින්ම බෞද්ධ වූ බොහෝ දෙනා පින්, කුසල් යන්නෙහිත්, පව් - අකුසල් යන්නෙහිත් වෙනස නො
දනිති. ඇතැම් විට ධර්මය ලියැවුණු ඇතැම් පොත්පත්වල පවා මේ පිළිබඳ අදහස් පැටලිලි සහිත
ය. මේ අවුල ලිහා ගන්නට ඔවුනට වුවමනාවක් උනන්දුවක් නැතිකම නිසා අවුල, වියවුලක් වී
තිබේ.
පුණ්‍ය කටයුතුවල විපාක ලෙස මනුලොවත්, දිව්‍ය බ්‍රහ්ම ලෝකවලත් උපත ලැබිය හැකි ය. පාප
ක්‍රියාවල විපාක ලෙස තිරිසන් අපායේ සිට අවීචි මහා නරකය තෙක් නිරයන්හි උපත ලබන්නට
සිදු වේ. මේ අනුව පින් පව් දෙකින් ම සිදුවන්නේ භවය ( සසර) දිගු වීම ය.
කුසල් යනු දක්ෂ යන තේරුම ඇති වචනයකි. ක්‍රියාවල දක්ෂ බව ක්‍රියා කෞශල්‍යය ලෙස නම්
කරන්නේ ඒ අනුව ය. ආගමික වශයෙන් මේ දක්ෂ බව අවශ්‍ය වන්නේ, සසර ගමන නවතා නිවන් මඟට
ගමන් කිරීමට ය.
එය ඉතා දුෂ්කර කාර්යයකි. ශූරයකුට පමණක් කළ හැකි වැඩෙකි. එහි දී කාම තණ්හාවත්, භව
තෘෂ්ණාවත් මැඬලන්නට සිදු වීම ඊට හේතුව යි. ඒ සඳහා කළ යුතු ක්‍රියා, කුසල ක්‍රියා
ලෙස නම් කැරේ.
නිඳි ලැබ ගතකරන හා සිහි විසංඥ කාලය හැර ඉතිරි කාලයන් තුළ සිතින් සිතන බැවින් එම
කාලයෙන් සියයට 90% කට වඩා කටයුතු වලදී ඇතිවන්නේ අකුසල් සිතිවිලි බව පැවසේ. යහපත්
කටයුතුවලදී කුසල් සිතිවිලි ඇති කර සිත දියුණු කරගත් ප්‍රමාණය අනුව කුසල් සිත් ඇති
කරගත හැකි ය. සිත දියුණු අය සිතට අකුසල් සිත් එන විට, අකුසල් සිත් හැඳිනගෙන, අකුසල්
යටපත් කර කුසල් සිත් ඇති කර ගනිති.
සිත,කය, වචනය යහපත් සෑම කෙනකුට මේ තත්ත්වයට ඒමට හැකියාව ඇත. ඒ සිත හඳුනාගෙන සිතට එන
අකුසල් සිත් යටපත් කිරීමෙනි. පරාර්ථකාමී සේවයේ දී ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නැතිව
කරන යහපත් සේවය නිසා, අකුසල් සිත් පැමිණීම අඩු වේ. යහපත කිරීමේ අරමුණ නිසා කුසල්
සිතිවිලි ඇති වේ.
සිත ගැන අවබෝධයෙන් සිටින සැවොම නිතර නිතර එදිනෙදා අත්විඳින අත්දකින කුසල් සිත් ඇති
කරගෙන අකුසල්වලින් වැළකී සිටීමෙන් මුළු ජීවිත කාලය ම සතුටින් සැපෙන්, දියුණුවෙන්
දියුණුවට යමින් නිවී සැනහී සතුට කරා ළඟාවිය හැකි ය.
ජීවිතයේ මුල් කාලයේ කෙනකුට අකුසල්වලින් වැළකීම අපහසු වූවා විය හැකි ය. එහෙත්
මැදිවියත් සමඟ ජීවිත අත්දැකීම් ලබා වියපත් වූ විට හෝ සිතින් සිතුවහෙත් කුසල් අතට
සිත යොමු කිරීමට නොහැකිකමක් නැත. ජීවිතයේ සැඳෑ සමයේ වුවත් කුසල් කිරීමට සිත යොමු
කරන්නේ සුළු පිරිසකි.
බොහෝ දෙනකු කරන්නේ ඇස, කන, නාසය, දිව, කය මනස පිනවීමේ කාර්යයෙහි යෙදීම යි. වියපත්
වුවත් ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආශාව නිසා ඇතැමෙක් විවිධ බෙහෙත් වර්ග ගෙන වැහැරී
ගිය ශරීරය ප්‍රකෘතිමත් තත්ත්වයට ගැනීමට වෙර දරති. එය ස්වභාව ධර්මයට පටහැනි බැවින්
ටික දවසක් ප්‍රකෘතිමත් තත්ත්වයෙන් සිටීමට හැකි වුවත් වැඩි කලක් යන්නට මත්තෙන්
නොහඳුනන ලෙඩ ඇති කර මරු වසඟයට ගනී.
වැරැදි නොවන ලෙස ඉන්ද්‍රියයන් පිනවීම පවක් නොවේ. එබැවින් එයින් දුගතිගාමී වන්නේ
නැත. එහෙත් නිවන කරා යා නො හැකි ය. එසේ ම ජීවිතයේ සතුට ද ලබා ගැනීම අපහසු ය.
කුසල් කරන්නට ඉටා ගත් අය අතිනුත් ඉඳහිට හදිසි අවස්ථාවල ප්‍රමාද දෝෂ නිස ආවේග
ඇවිස්සීමෙන් කුසලයට ප්‍රතිපක්ෂ ක්‍රියා සිදු විය හැකි ය.
කුසලට නැඹුරු වුණු තැනැත්තාට තමා අතින් වරදක් වූ බව වහා වැටහේ. එබන්දක් නැවත ඇති
නොවන ලෙස පරිස්සම් වීමට තරම් ප්‍රමාණවත් සම්මා සතිය හා සම්මා වායාම ද තම සිත නිතර
පරික්ෂා කිරීමට ප්‍රමාණවත් සන්දිට්ඨික බව ද ඔහුට ඇති බැවිනි. ඒ හැරෙන්නට තමන්ගෙන්
සිදුවුණු එම අකුසලයට පාදක වුණු වෙනත් පුද්ගලයෙක් වී නම් ඔහු කමා කරවා ගැනීමෙන් ද
එසේ නැති නම් තෙරුවන් ඉදිරියේ ඒ බව කියා සිටීමෙන් ද සිත සැහැල්ලු කරගත හැකි ය.
මෙබඳු හැකියාවන් පාපී පුද්ගලයන් ළඟ නැත.
සිරිසුමන ගොඩගේ |