දුරුතු අව අටවක 2022-01-25
ගුණධර්ම දායාද කිරීම
බොරුව, වංචාව, කපටිකම, ඊර්ෂ්‍යාව නැති කිරීමටත්, පිරිසුදුකම, අන් අයට උදව්කිරීම,
දෙමාපිය උපස්ථානය, කායික සහ වාචසික සංවරකම ඇති කර ගැනීමටත් උගන්වන්නේ බහතෝරන අවදියේ
දී සිට ය.
මව, පියා, ආච්චි අම්මා, සීයා, නැන්දා, මාමා ආදී ලෙස දරුවාට ඥාතීත්වය දක්වන පිරිසත්,
ශිල්පය උගන්වන ගුරුවරුනුත්, අසල්වැසියන් ඇතුළු සමස්ත සමාජයත් කුඩා දරුවන්ට හොඳ ගුණ
ධර්ම කියා දීමට බැඳී සිටිති. වැඩිහිටියන් වූ පසු ඔවුන්ට අවවාද, අනුශාසනා කිරීම
අපහසු ය. නිවසේ හැදී වැඩෙන දරුවා ක්‍රමයෙන් පෙර පාසල, ප්‍රාථමික අධ්‍යාපනය,
ද්විතීයික අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැනි උසස් අධ්‍යාපනයක් ලබා
ක්‍රමයෙන් සමාජානුයෝජනය වෙයි.
වැඩිහිටියන්ගේ වගකීම දරන ඊළග පරපුර ඔවුන් ය. ආගම, භාෂාව, සිරිත් විරිත් ආදී
සංස්කෘතිකාංග පරපුරෙන් පරපුරට ගෙනයන්නේ කුඩා අවදියේ පසු වූ දරුවන් ය. අ යන්න ඉගෙන
නො ගෙන, ආ යන්න ඉගෙන ගැනීමට යෑමෙන් ගැටලුවලට මුහුණ දෙයි. එපරිද්දෙන් කුඩා වයසේ දී
ඉගෙන ගත යුතු ජාතික, ආගමික සාරධර්ම සහ ගුණ ධර්ම ඉගෙන නොගෙන සමාජයේ වගකීම් දරන
පුද්ගලයින් බවට පත් වූ විට පාලනය කරන ආයතනයත්, එහි සේවය කරන සේවක පිරිසත් පීඩාවට ම
පත් වෙති. එසේම දියුණුවක් සිදු නොවේ. දියුණුවක් සිදු වුවත් මානව ගුණ ධර්මවලින් තොර
වේ. ඉතා සීමිත කාලයකට ශරීරය සහ ශරීර ශක්තිය මෙලොව රඳවා ගන්නා ඇතැම් මනුෂ්‍යයා
දෙලොවට ම වැඩක් නොවන තනතුර, ධනය හෝ ගෞරවය පෙරමුණෙහි තබාගෙන කටයුතු කරයි. එය
පිරිහීමේ ලක්ෂණයකි.
ගුණ ධර්මවලින් පොහොසත්, සමාජයේත්, රටේත් දියුණුව අපේක්ෂා කිරීමට නම් කුඩා දරුවන්ට
ආගමානුකූල නැඹුරුවක් ලබා දී සත්‍යවාදී සහ ගුණගරුක පුද්ගලයින් කළ යුතු ය. එහි වගකීම
පැවරෙන්නේ දෙමාපියන් ඇතුළු සමස්ත සමාජයට යි. ඔවුන් තම යුතුකම් නිසි සේ ඉටු නො කරන
විට එහි විපාක ඔවුන්ටත් මතු පරපුරටත් විඳීමට සිදු වේ. සමස්ත සමාජය ම පිරිහීමට ලක්
වේ. ඇතැම් රැකියා ස්ථානයන්හි, පෞද්ගලික ආයතනවල භෞතික දියුණුව දැකීමට ලැබුණත්
ඒවායෙහි සේවය කරන හෝ පාලනය කරන ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියා කුඩා දරුවන්ගේ ක්‍රියා
පරදවන සුලු යි. ඔවුන්ට නැවතත් බහතෝරන අවදියේ දී දිය යුතු අවවාද අනුශාසනා දීමට සිදු
ව තිබේ. එතරම් ම ඔවුන්ගේ ගුණධර්ම පිරිහී ගොස් ය.
බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ගිහි ගෙය වසන අවදියේ තම ලෙයින් උපන්
දරුවා හත් වැනි වයසේ දී පැවිදි කර ශාසනික දායාදය ලබා දෙමින් නිවැරැදි මඟ පෙන්වීමක්
කරමින් සැරියුත් මහරහතන් වහන්සේගේ ඇසුරේ වැඩීමට කටයුතු සැලැස්වූහ. එබැවින් දරුවන්ගේ
වගකීම මව්පියන් ඇතුළු ඥාතීන්ටත්, ගුරුවරුන් ඇතුළු සමස්ත වැඩිහිටි සමාජයටත් හිමි වී
ඇත. නිවැරැදි ව එය අවබෝධ කරගෙන කුඩා අවදියේ දී දරුවාට ලබා ගත යුතු අවවාද අනුශාසනා
සහ ගුණධර්ම ලබාදීමට කටයුතු කළ යුතු ය. |