මිතුරු වෙසින් එන සතුරන්
සිහි බුද්ධියෙන් හඳුනා ගන්න
මහනුවර අස්ගිරි
මහා විහාරයේ කාරක සංඝසභික
හා උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ
ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
සමාජයේ ජීවත් වනවිට අප හැම කෙනෙකුට ම කවර හෝ මිත්‍රයෙක් ඉන්නවා. මේ මිත්‍රයාගේ සැබෑ
තත්වය හඳුනා ගැනීම අප හැම දෙනාට ම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිත්‍රයාගේ
ස්වභාවය පිළිබඳ පැහැදිලි විස්තරයක් අපට පෙන්වා දී තිබෙනවා.
ඒ සිඟාලෝවාද සූත්‍රයේ දී. සමාජයේ ජීවත්වන විට එක් එක් වයස් කාණ්ඩවලදී හමු වෙන
මිතුරන් ගැන සිතුවොත් දරුවන්ට බොහෝ විට වැදගත් වන්නේ දෙමාපියන්ටත් වඩා ඒ මිතුරන්.
ඉතින් මේ සැබෑ මිතුරා කවුද කියලා තේරුම් ගෙන ධර්මානුකූල ව වටහා ගෙන ක්‍රියා කළොත්,
ඇතැම් විට සමහර මව්පියන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා නොමඟට යන දරුවන් පවා ඒ
මිතුරන්ගේ ඇසුරෙන් සුමඟට හැරවීමේ හැකියාවකුත් තිබෙනවා. මවත් පියත් දෙදෙනා තමා ඇත්තට
ම දරුවන්ට හමු වන පළමුවන මිතුරන් දෙපළ වන්නේ. එසේ වීමට නම් ඒ මවත් පියත් දෙපළ ම
තමන්ගේ මාතෘත්වය හා පිතෘත්වය හරි හැටි අවබෝධ කර ගෙන තම දරුවන් යහපතෙහි පිහිටුවන්නට
ක්‍රියා කළ යුතු වෙනවා.
පාසලේ දී දරුවාට ගුරවරු යන්නෙන් පිරිසක් හමු වෙනවා. ඒ හමු වෙන්නේත් මිතුරු පිරිසක්
විදයට යි අර්ථ දක්වන්නේ. එහෙත් ගුරු වෘත්තියට නිගා දෙන ගුරුවරයා යන උතුම් වචනයේ
අරුත නො වටහා ගෙන ක්‍රියා කරන ගුරුවරුත් අප ජිවත් වන සමාජයේ නැත්තේ නොවෙයි.
ඉතින් මේ අවාසනාවන්ත තත්වයන් හරිහැටි තේරුම් ගෙන මිතුරා හඳුනා ගෙන ක්‍රියා කිරිම
නිසා මෙලොවත් පරලොවත් ජය ගන්නට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී
තිබෙනවා.
මෙහි දී සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, කෝසල සුංයුත්තයේ එන කල්‍යාණමිත්ත සූත්‍රය
විශේෂයෙන් පෙන්වා දෙන්නට පුළුවනි.
බෞද්ධ ජීවන ප්‍රතිපදාවේ අවසානය නිවීම යි. ඒ නිවීම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය
ප්‍රබලම ආධාරකය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කල්‍යාණ මිත්‍රයාගේ එක්වීම යි.
මේ කල්‍යාණ මිත්‍රයා කවුද? කියලා තේරුම් ගෙන ක්‍රියා කිරීම වැදගත් වෙනවා.
පාපමිත්‍රයා කවුද? කියා තේරුම් ගැනිම තුළින් මෙය වඩාත් පහසු වෙනවා.
අපට හමුවන බොහෝ මිත්‍ර ස්වරූපයෙන් පෙනි සිටින අයගේ සැබෑ තත්වය වටහා ගැනීම මඟින් මෙය
වඩාත් පහසු වෙනවා. තමන්ගෙන් යමක් ලබා ගැනිමට ඇතැම් කෙනෙක් මිත්‍රත්වයට පත් වෙන්න
පුළුවන්. (අඤ්ඤදත්ථුහර)තවත් මිත්‍රයන් කොටසක් ඉන්නවා සේරම වචනයට පමණක් සිමා කොට
තමාව මුළා කරන.(වචීපරම) තවත් මිත්‍රයෙක් වගේ පෙනී සිටින අයෙක් ඉන්නවා ඔහුගේ ස්වභාවය
වන්නේ තමන් කරන හැම දෙයක් ම අනුමත කරන ස්වරූපයෙන් කටයුතු කිරීම යි. මෙහි දී තමන්
වරදට යොමු වන දෙයක් කළත් එහි ප්‍රතිවිපාක පෙන්වා දී තමන්ට නිවැරැදි මඟ කියා දීමට
ක්‍රියා නො කරනවා නම් ඔහුගේ මිත්‍රකමෙන් පලක් වන්නේ නැහැ.අනුප්පියභාණී තවත්
මිතුරෙක් වගේ පෙනී සිටින අයෙක් තමයි. තමන් නිතරම වරදට පොළඹවන ලෙස ක්‍රියා කරන අය.
මේ අයට දහමේ පෙන්වා දෙන්නේ අපාය සහාය කියලා. අප අද දකින විදිහට නම් මේ සමාජයේ බහුලව
අපට හමු වන්නේ මේ අපාය සහාය ලක්ෂණයන්ගෙන් යුත් මිතුරන්. ඒ අය මව්පියන් වෙන්නට
පුළුවන් අවස්ථා වූවත් අපේ සමාජයේ වුණත් අද දකින්නට හැකියාව තිබෙනවා.ගුරුවරු වෙන්නට
පුළුවන්. පූජ්‍ය පක්ෂයේ කෙනෙක් වුවත් වෙන්නට පුළුවන්.
ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තත්වය නිසා තමා උන්වහන්සේගේ දේශනා මාර්ගය අවසාන
විමුක්තිය වූ නිවනට යොමු කරලා තිබෙන්නේ. ඉතින් අප කරන කිසියම් ක්‍රියාවක්, අප සිතන
කිසියම් සිතිවිල්ලක්, පාවිච්චි කරන කිසියම් වචනයක් අපේ මෙලොව ජිවන පැවැත්මට හෝ
මරණින් පසු තෙරක් නො පෙනෙන සාංසාරික ජීවිතයට හානිකර තත්වයක් ඇති කිරිමට හේතු වන්නේ
නම්, එය බොහෝ විට සිදු වන්නේ පාප මිත්‍ර සහාය නිසා බවයි බුදුරජාණන් වහන්සේ අපට
පෙන්වා දී තිබෙන්නේ.
බුදුරජාණන් වහන්සේ කල්‍යාණමිත්ත සුත්‍රය දේශනා කරන්නේ කොසොල් මහ රජතුමාට. රජතුමා
දවසක් දා නිදහසේ කල් ගත කරනවා. රජතුමාගේ සිතේ මෙවැනි සිතිවිල්ලක් පහළ වුණා. ” අපේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන විදිහට මේ නිවන් අරමුණු කොට පවත්නා මිනිස්
ජිවිත පැවැත්මේ උසස් බව සම්පූර්ණයෙන් රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රයාගේ සේවනය අපට
ලැබෙන තරම මතයි. කල්‍යාණ මිත්‍රයාගේ සහාය මත යි. කල්‍යාණ මිත්‍රයාට දක්වන නැමියාව
මතයි ” කියලා. තම සිතේ නළියමින් පැවති මේ අදහස සැක හැර බුදුරජාණන් වහන්සේගෙන් දැන
ගැනීමට යන්නට ඕන කියලා සිතුව රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවිමට ජේතවනාරාමයට ගියා.
එහෙම ගිහින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා ” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,
මට එක අවස්ථාවක නිදහසේ සිටින විට මෙන්න මෙහෙම අදහසක් පහළ වුණා. අපේ බුදුරජාණන්
වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය බොහොම හොඳට කිසි අවුලක් අඩුපාඩුවක් නැතිව
අතිශයින් ම ප්‍රයෝජනවත් විදිහට දේශනා කරන ලද එකක්. ඉතින් ඒ දහම ගැළපෙන්නේ කල්‍යාණ
මිත්‍රයන් ඇති උදවියට යි. හොඳ යහළුවන් ඇති අයටයි.
මේ කියමන් අසා ගෙන සිටිය බුදුරජාණන් වහන්සේ එක්වරම ප්‍රකාශ කරනවා ” ඒක හරි
මහරජතුමනි, මගේ ධර්මය මා විසින් දේශනා කරන ලද්දේ කිසිවකුට කිසි තැනෙක එය අඩුපාඩුවක්
දැකිය හැකි ආකාරයෙන් නොවෙයි. මුල මැද අග යන තුන් තැනෙහි ම මැනවින් දෙසූ දහමක්මයි ඒ
දහම.
දවසක් දා මහ රජතුමනි, අපේ මේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ විදියට ම ඒත් ටිකක් වෙනස් ව
මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනි. භාග්‍යවතුන් වහන්ස. මට මෙන්න මෙහෙම අදහසක්
ඇති වුණා.
ස්වාමීනි, මේ ලෝකයේ යම් ආකාරයට කල්‍යාණ මිත්‍රත්වයක් කියා දෙයක් ඇත්තේ ද? කල්‍යාණ
යහළු බවක් ඇත්තේ ද? කල්‍යාණබවට නැමීමක්, එක්වීමක් ඇත්තේ ද එය ඔබ වහන්සේ අපට පෙන්වා
දී තිබෙන මේ උතුම් බ්‍රහ්ම චරියාවෙන් හරි අඩක් ම යි කියලා මට හිතෙනවා.
ඉතින් ඒ මගේ සිතිවිල්ල නිවැරැදිද? ස්වාමීනි, මේ ගැන විමසා දැන ගන්නට ඔබ වහන්සේ හැර
වෙනත් කෙනෙක් මගේ සිහියට නැඟෙන්නේ නැහැ . බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලි සෘජු
පිළිතුරක් දෙනවා.”
එහෙම කියන්න එපා ආනන්ද, යම් ආකාරයකින් කල්‍යාණ මිත්‍රයන් ඉන්නවා ද? කල්‍යාණ
මිත්‍රයන්ගේ එක්වීමක් තිබෙනවාද? කල්‍යාණ මිත්‍රයාට නැමීමක් වේ ද, මේ මුළු
බ්‍රහ්මචර්යාව ම සම්පුර්ණයෙන් ම කල්‍යාණමිත්‍රත්වය නිසාම යි පවත්වාගෙන යන්නේ.”
මෙහි දී කල්‍යාණ මිත්‍රත්වයේ විශේෂත්වය වන්නේ එය පුද්ගලයාගේ දෙලොව අභිවෘද්ධිය පිණිස
හේතු වීම යි.
කල්‍යාණ මිත්‍රත්වය නිසා ම කෙළවරක් නැති මේ සංසාරයේ ඉපදි ඉපදී මැරී මැරී සසර දුක්
විඳීන සත්වයා ඉපදීම අවසන් කර ගැනීමට සමත් වෙනවා. ඒ විතරක් නොවේ. මැරෙන සත්වයා
මරණයෙන් දුක් විඳීම අවසන් කර මරණය නැති කර ගැනීමේ ශක්තිය ඇති කර ගන්නවා. එයට උපකාර
කර ගන්නේ අප්‍රමාදය යි. මේ අප්‍රමාදය කියලා කියන්නේ යෝනිසෝමනසිකාරය කියන නුවණින්
යුක්තව ක්‍රියා කිරීම යි. එහි දී පුද්ගලයා එළඹ සිටි සිහියෙන් ලොව යථාර්ථය අවබෝධ කර
ගැනීමේ උනන්දුව ඇති කර ගෙන ඒ අනුව ක්‍රියා කරනවා. මේ හේතුවෙන් පුද්ගලයා කුසල
කර්මයන්හි අප්‍රමාදය දියුණු කර ගෙන අලෝභ අදෝස හා අමෝහ යන කුසල සිතිවිලි ජනිත කර ගෙන
සසර කෙටි කර ගැනීමේ ව්‍යායාමයක යෙදෙනවා. |