උඳුවප් අමාවක පෝදා 2022-01-02
වාසනාව සෙවීම
ජීවිතය වාසනාවන්ත වන්නේත්, අවාසනාවන්ත වන්නේත් තම තමන් කළ පින් පව් අනුව ය. පින්
සිදුවන්නේ යහපත් ක්‍රියාවන්ගෙන් ය. පව් සිදු වන්නේ අයහපත් ක්‍රියාවන්ගෙන් ය. කුඩා
දරුවකුට වුව එය පහසුවෙන් අවබෝධ කරගත හැකි වුව ද සමහරු වාසනාව සොයා යන්නේ ම අයහපත
තුළිනි. එහෙත් කළ කම් හෝ , කරන කම් හෝ සැඟවිය නොහැකි ය. අපිරිසුදු සිතින් තමන් යම්
දෙයක් කරනවා නම් කියනවා නම් එහි පලය, අවාසනාව ගෙන එයි. රිය අදින ගොනු ගේ පසුපස්සේ
ලුහුබඳින රිය සක සේ තමන්ට අයහපතම පැමිණේ.
එමෙන්ම පිරිසුදු සිතින් යම් දෙයක් කරනවා නම්, කියනවා නම් එහි පලය වාසනාව ගෙන එයි.
එය සිරුර හැර නොයන සෙවණැල්ල සේ තමන් පසුපස පැමිණේ. සොබාදහමේ ස්වභාවය එයයි.
සැවැත්නුවර ඉසුරුමත් පවුලක පාලිත නම් කෙළෙඹියෙක් විය. බුදුරජාණන් වහන්සේගෙන් දහම්
අසා සසර දුක දැක කළකිරුණු ඔහු සියලු ඉසුරු ඥාතීන්ට පවරා දී පැවිදි වූයේ ය. මහණ දම්
මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් උන්වහන්සේ සිය ඇස් රෝගය ගැන ද නොසිතා දිගින් දිගටම
නොනිදමින් විදසුන් භාවනා වැඩූහ. අවසන උතුම් රහත් බව ලැබුව ද ඒ සමඟම උන්වහන්සේගේ
දෙනෙත් අඳවිය. චක්ඛුපාල නම් වූ උන්වහන්සේට එවන් ඉරණමක් අත්වූයේ පෙර අත්බවයක
අපිරිසුදු සිතින් කළ ක්‍රියාවක් විපාක දීම නිසා ය.
ඒ ඇස් වෙදකු ව සිටි තමන් රැවටීමට ලක් කළ කාන්තාවකගේ දෙනෙත් අඳ වීම සඳහා විෂ යෙදූ
බෙහෙතක් දුන් නිසා ය. අපිරිසුදු සිතින් ඒ කළ ක්‍රියාවේ විපා දුක රහත්බව ලැබුණ ද
උන්වහන්සේ පසුපස ලුහුබැඳ ආවේ ය.
සැවැත් නුවරම තවත් ඉසුරුමත් බමුණෙක් සිටියේ ය. එහෙත් ඔහුගේ මහා ධනය රකුසන් අරක් ගත්
විලක් මෙනි. කිසිවක් කිසිවකුට නොදුන්නේ ය. අදින්නපුබ්බක නම් වූ ඔහුට මට්ටකුණ්ඩලී
නම් පුතෙක් විය. තම පුතුට පවා පෝෂ්‍යදායි ආහාරයක් දෙන්නට ලොබ බැඳීම නිසා ඒ අසරණ
දරුවා රෝගී විය. ලෙඩට බෙහෙතක් කරන්නට ඉඩ නොදුන් ලෝභී සිතිවිලි අවසන ඒ දරුවා
මරණාසන්න විය. කුළුණු සිතින් එහි වැඩි බුදුරදුන් දුටු මට්ටකුණ්ඩලීගේ සිත පැහැදුණේ
ය. ඒ පහන් සිතින් මිය ගොස් දෙව්ලොව ඉපදුණේ ය. සෙවණැල්ල සේ වාසනාව, සැපය ඔහු පසු පස
ලුහු බැඳ ආවේ ය.
යහපතෙහි සහ අයහපතෙහි වෙනස මෙ පරිදි ය. ගැලවෙන්නට නොහැකි ය. එහෙත් දුක් විපාක
විඳිමින් අවාසනාව යැයි පසුතැවෙනවාට වඩා පිරිසුදු සිතිවිලි උපදවා යහපත් දෑ කීමෙන්,
කිරීමෙන් තමන් වෙත වාසනාව උදා කර ගන්නට ඕනෑම කෙනකුට පුළුවන.
තමන්ගේ සිත නිතර විමසුමට ලක් කළ යුතු ය. සිත අපිරිසුදු වන්නේ ලෝබ,ද්වේෂ ,මෝහ
සිතිවිලි බලවත් වන තරමට ය. සිත ගැන සිහියෙන් එම අකුසල සිතිවිලි මර්දනය කිරීමට
උත්සාහ ගත යුතු ව ඇත. ඒ ලෝභ සිත එක් රැස් කිරීමට ද, ද්වේෂ සහගත සිත වෛරයෙන්,
කෝපයෙන්, දවමින් එම පුද්ගලයා කුපිත කිරීමට ද, මෝහයෙන් බැඳුණු සිත අපිරිසුදු
ක්‍රියාවන්හි ම පැටලවීමට ද තමන් යොමු කරවන හෙයිනි.
එවිට ඔහු ක්‍රියා කරන්නේ දෙනෙත් අඳ වූවකු විලසිනි. ලෝකය හොඳින් දකින්නට මඟ බුදු
දහමේ උගන්වා ඇත. අප කළ යුතු ඒ මඟ යන්නට ඇප කැප වීම ය. |