[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි මංගල උපෝසථාගාරය ඓතිහාසික වටිනාකම් සුරකිමින්

සිරි මංගල උපෝසථාගාරය ඓතිහාසික වටිනාකම් සුරකිමින් ප්‍රතිනිර්මාණය කෙරුණ වගයි

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියට, ලක්දිව බිහි වූ රාජධානි අතර සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඒ වගේ ම ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික, සමාජයීය මෙන් ම දේශපාලනික ක්ෂේත්‍රවල සුවිශේෂ වෙනස්කම් රැසක් සිදු වූ රාජධානියක් ලෙස වැදගත් වේ. කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙස ද සැලකේ. මේ සියලු කි‍්‍රයාදාමයන්ට මූලික ලෙසින් ම බලපෑවේ රාජ්‍ය පාලකයා සහ මහා භික්ෂු පරපුර අතර පැවැති සහසම්බන්ධතාව යි. ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ඓතිහාසික සිරි මංගල උපෝසථාගාරය ප්‍රතිනිර්මාණය කිරීම ද එබඳුම රාජ්‍ය අනුග්‍රහයක් දැක්වීමක් ලෙස පැවසිය හැකි ය. උපෝසථාගාරය ප්‍රතිනිර්මාණ කටයුත්තේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්‍ වෙත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ ස්තූතිය ප්‍රකාශ කිරීම 2022 ජනවාරි 02 වැනි දින ප.ව. 4.00 ට කෝට්ටේ රාජ මහා විහාරස්ථානයේ දී සිදු වේ. ඒ උතුම් පුණ්‍ය කර්මය පිළිබඳ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

මහා විහාරවංශික ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව ශී‍්‍ර ලංකාවේ අගනුවර කේන්ද්‍රස්ථානය කර ගනිමින්, පහත රට බිහි වූ පළමු වැනි සංඝ සභාව වේ. එය වසර 156 ක් තරම් වූ අතීතයකට උරුමකම් කියයි.

කෝට්ටේ රාජ මහා විහාරය ක්‍රි. ව. 1400 ගණන්වල, පරාක්‍රමබාහු රාජ සමයේ බිහි වූ යැයි සැලකෙන විහාරස්ථානයකි. වර්ෂ 1813 දී පිලානේ බුද්ධරක්ඛිත නා හිමියන් විසින් මේ රාජ මහා විහාරය සොයා ගන්නා විට එය වල් බිහිව නෂ්ටාවශේෂ වූ බිමකි.

වර්ෂ 1840 දී පමණ අප රටේ භික්ෂූන් වහන්සේලා අතර ධර්ම විනය පිළිබඳ යම් යම් ගැටලු ඇති විය. “අධිමාස වාදය”ඒ අතර එක් වාදයකි. ඒ අනුව මහනුවර මල්වතු විහාරයීය ස්වාමීන් වහන්සේලා යම් ප්‍රමාණයක් යම්, යම් අඩුපාඩු හේතුවෙන් බෙදීමකට ලක්විය. ඒ අවධිය වන විට දකුණු පළාතේ තිබූ ප්‍රධාන විහාරස්ථාන හා මේ පළාතේ කෝ‍ට්ටේ රාජමහා විහාරය ප්‍රධාන, පානදුර ගල්ගොඩ ශී‍්‍ර මහා විහාරය, අරුග්ගොඩ මහා විහාරය, බෙම්තොට වනවාස මහා විහාරය, රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන යන විහාරස්ථානයන් හි වැඩ වාසය කළේ අග්‍රගණ්‍ය උගත් පඬිවරයන් වහන්සේ ය. මේ සියලු විහාරස්ථානවල කේන්ද්‍රස්ථානය වුණේ කෝට්ටේ රාජ මහා විහාරය යි. රත්මලානේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ සහ වලානේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ වර්ෂ 1840 දී පමණ මධ්‍යම වයසේ පසු වූ, උගත්කමින් ඉහළින් ම තැබිය හැකි යතිවරයන් වහන්සේ වූහ.

වර්ෂ 1868 දී පැල්මඩුල්ලේ දී සංගායනාවක් පැවතිණි. එම සංගායනාවට මූලිකත්වය ගෙන කටයුතු කළේ වලානේ සිද්ධාර්ථ නා හිමියෝ ය. උන්වහන්සේ ආරම්භ කළ ලංකාවේ පළමු පිරිවෙන රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනයි. එහි ධර්මය උගත් ප්‍රධාන ගෝල ස්වාමීන් වහන්සේ දෙනමකි. ඒ හික්කඩුවේ සුමංගල හිමියන් සහ රත්මලානේ ධම්මාරාම හිමියන් ය. හික්කඩුවේ සුමංගල හිමියන් විසින් විද්‍යොදය පිරිවෙන ආරම්භ කරනු ලැබූ අතර, රත්මලානේ ධම්මාරාම හිමියෝ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළහ. මේ පිරිවෙන් දෙක ආරම්භ වීම හරහා මෑතකාලීන යුගයේ ධර්ම අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයක් ඇතිවිය. ඒ වගේ ම රටේ උගත්, බුද්ධිමත් අධ්‍යාපනඥයෝ බිහිව ඒ හරහා රට පුරාම පිරිවෙන් ඇතිවිය. අවසානයේ මෙම පිරිවෙන් දෙක හරහා විශ්ව විද්‍යාල දෙකක් ඇති විය. ඒ කැලණිය හා විද්‍යෝදය විශ්වවිද්‍යාල දෙකයි.

එදා ලංකාවට පැමිණි ගොගලි ආණ්ඩුකාරවරයා කි‍්‍රස්තියානි ප්‍රඥප්තියක් පිහිටු වූයේ ය. ඒ ප්‍රඥප්තිය නම්, ලංකාවේ ජීවත්වන ජනතාව කි‍්‍රස්තියානි විය යුතු ය. යන්නයි. ඒ අවස්ථාවේ දී බෙම්තොට අත්ථදස්සී නා හිමියෝ එම ප්‍රඥප්තියට පිළිතුරු ලිවූහ. උන්වහන්සේ වැඩ සිටියේ වනවාස රාජ මහා විහාරයේ ය. මෙම විහාරස්ථානය බොහෝ පැරැණි විහාරයකි. උන්වහන්සේගේ ගෝල හිමියන් වූයේ යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන් ය. බටහිර සිට පැමිණි ටී. ඩබ්ලිව්. ‍රිස් ඩේවිඩ්, ආර්. සී. චයිල්ඩර්ස් යන අය පාලි භාෂාවත් බෞද්ධාගමත් ඉගෙන ගත්තේ යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන්ගෙන් ය. එංගලන්තයේ සිට මෙහි පැමිණ පාලි භාෂාව මෙන් ම බෞද්ධාගමත් හැදෑරු මේ අය නැවත එංගලන්තයට ගොස් “එංගලන්තයේ පාලි පොත් සමාගම ඔක්ස්පර්ඩ්වල ආරම්භ කර ඇත. එයට මූලස්ථානය වූයේ මෙම විහාරස්ථානයයි. මේ පොත් සමාගම ආරම්භ කිරීමට ධනයෙන්, ඥානයෙන්, ලංකාවේ අපේ ස්වාමීන් වහන්සේලාගේ උදව් ලැබී ඇත.

එය වර්තමානයේ විශ්වාස කරන්නේත් නැති විය හැකි ය. එහෙත් ඒවා සාක්ෂි සාධක ඇතිව සටහන් වී ඇත. මේ පොත් සමාගම පිහිටුවීම හේතුවෙන් අද මුළු ලෝකයට ම ඉංගී‍්‍රසි භාෂාවෙන්, පාලි පොත් පරිහරණය කිරීමට මෙන් ම, බෞද්ධාගම පිළිබඳව දැනුම ලබා ගැනීමට හැකි වී ඇත. ඒ ආරම්භයට මුල අපේ මේ කෝට්ටේ සංඝ සභාවයි.

මේ කාර්යභාරයෙහි ලා මුල් වූ ස්වාමීන් වහන්සේලා කොළඹ ප්‍රදේශයේ වැඩ විසූ හෙයින් යුරෝපීයයන්ගේ, පෘතුගී‍්‍රසීන්ගේ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු විය. එහෙයින් ම උන්වහන්සේ ධර්මයෙන්, ධර්ම ඥානයෙන් හොඳීන් සන්නද්ධව සිටියහ. ධර්මය රැක ගැනීමට හොඳීන් ඉගෙන, තම ශිෂ්‍ය පිරිසක් ‍බිහි කිරීමේ වගකීම ද භාර ගත්හ. ඒ නිසා ම මෙහි යම් යම් ගැටලු ඇතිවන තැන් හඳුනාගෙන, මහනුවර මල්වතු විහාරයට වැඩම කොට සාකච්ඡා පැවැත්වූව ද මේ ගැටලුවල දී මල්වතු මහා විහාරීය ස්වාමීන් වහන්සේලාගෙන් විසඳුම් ලැබී නැත. උන්වහන්සේ තමන්ගේ සම්ප්‍රදාය තුළ ම පැවතී ම ඊට හේතු වන්නයට ඇත.

මේ කි‍්‍රයාදාමය මැඩ පැවැත්වීමට සිතූ මහනුවර ඒජන්තවරයා බෙත්තොට අත්ථදස්සි නා හිමියන්ට මහනුවර මල්වතු මහා විහාරයේ අනු නායක ධූරය පිළිගන්නට පැමිණෙන ලෙස ආරාධනා කළේ ය. උන්වහන්සේ ඒ ධූරය භාර ගැනීමට එහි වැඩම නො කළහ. ඒ වෙනුවට උන්වහන්සේ සිදු කළේ අලුතින් කොළඹ සංඝ සභාවක් ඇති කිරීම ය. ඒ පහතරට සංඝ සභාව, හෙවත් කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව ය. මේ සංඝ සභාව වයස අවුරුදු 165 ක් අතීතයකට උරුමකම් කියයි.

ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපෝසථාගාරය ගොඩනඟා තිබෙන්නේ එදා පරාක්‍රමබාහු රජතුමා, කෝට්ටේ රාජධානිය එක්සේසත් කර පිහිට වූ සීමාව තුළය. ඒ පැරැණි සීමා තුළ ම වරින් වර මේ උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී. වර්තමානයේ මේ ‍ප්‍රතිසංස්කරණය ද ඒ සීමාව තුළ ම කරන ලද්දකි.

උපෝසථාගාරය යනු භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම සිදු කරන නිත්‍යානුකූල භූමියකි. ඒ භූමියේ ගොඩනඟන ලද ගොඩනැඟිල්ල උපෝසථාගාරය නම් ‍වේ. ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා විනය කර්මයට යොමු කරන විට, තනි තනිව ම සිදු කරනු නො ලැබේ. ඒ සඳහා සංඝ සභාවක් විසින්, ඒ සංඝ සභාව සම්මත කරගත් මූලස්ථානයක ඒ අදාළ සීමාවක සිදු කළ යුතුයි. ඒ විනය කර්මය සිදු කරන නිත්‍යානුකූල භූමිය උපෝසථාගාර සීමාවයි. ඒ සීමාව තුළ ඉදිකරන ලද විනයානුකූල ගොඩනැඟිල්ල උපෝසථාගාරය යි.

අප සංඝ සභාව සතුව පවතින මේ උපෝසථාගාරය කාලයත් සමඟ වරින් වර ප්‍රතිසංස්කරණයන්ට යොමුව ඇත. අවසන් වරට 1964 දී ප්‍රතිසංස්කරණය කර ඇත. ඒ අනුව වර්තමානයේ ද උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ආණ්ඩු කීපයකින් ම ඉල්ලිම් කළ ද ඉටු නොවිණි. වර්තමාන ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප සංඝ සභාව කළ ඉල්ලීමට, කැමැත්ත පළ කළේ ය. මෙහි වටිනාකම, මෙන් ම මෙය කළ යුතු කාර්යයක් බව ද එතුමා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වී සිටි සමයේ සිට දැන සිටියේ ය.

යම් කෙනෙක් උදව්වක්, උපකාරයක් කළ අවස්ථාවක දී එයට ප්‍රති උපකාරයක් කිරීම බෞද්ධ චාරිත්‍රයකි . ඒ බෞද්ධ චාරිත්‍රය අනුගමනය කරමින් උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ මහා පුණ්‍යකටයුත්ත ට පෞද්ගලිකව ම උනන්දු වූ ජනාධිපතිතුමාට සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම හා ස්තූති කිරීම අපගේ යුතුකමයි. ඒ යුතුකම ඉෂ්ට කිරීමටයි, ‍මේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව වන අප සූදානම් වනුයේ

ජනාධිපතිතුමා පිළිබඳව අපට තිබෙන්නේ ලොකු පැහැදීමකි. එතුමා බුදු දහමටත් , මහා සංඝ රත්නයටත් සලකන්නේ සුවිශේෂී අයුරිනි. ඒ බව එතුමාගේ කි‍්‍රයාවන්ගෙන් ම අප දැක ඇත. සාක්ෂි ඇත. ඒ වගේ ම සංඝරත්නය යම් ශාසනික කටයුත්තක් පිළිබඳව දැන් වූ වහා ම එය නොපැකිළිව ඉටුකර දීම නිසා ජනාධිපතිතුමා සිදු කරන බොදු සේවාව අපි අගය කරමු. එතුමාගේ චරිතයේ ගුණාංග මෙන් ම ආදර්ශවත් ජිවිතය බුද්ධ ශාසනයේ ප්‍රගතියට පිටුබලයකි.

උඳුවප් අමාවක පෝය

ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]