ඔබ සොයන ප්‍රේමය
රොටුඹ ජෝතිධම්ම හිමි
ප්‍රේමය, ආදරය, සෙනෙහස, කාමය, රාගය, රතිය යන වචන දෙස යොමු වන විට අර්ථය පෙනෙන
මානයෙන් සමාන යැයි හැඟේ.
ලෝකයේ සුන්දරම වචන අතරින් ප්‍රේමය යන වචනය තරම් තවත් වචනයක් නැති තරම් ය. ප්‍රේමය
යන්නට විවිධ භාෂා තුළ විවිධ වචන භාවිත වුව ද එමඟින් ඇතිවන හැගීම් මාත්‍රය එක හා
සමාන ම ය. ඉංග්‍රීසි භාෂාවෙන් love යැයි කියන විට වෙනත් හැඟීමක් ඇති නොවේ. එම හැඟීම
ඇතිවන සියලු මිනිසුන්ට සමාන ය. මෙම ප්‍රේමය නිසා ලෝකයේ විවිධ නොගැළපීම්
ගැළපෙන්නටත්, විවිධ සාහිත්‍ය කලා නිර්මාණ බිහිවීමත් සිදු වූ අතර ඒ වැනි දේ අනාගතයේ
ද බිහිවනු නොඅනුමාන ය.
මෙවැනි වූ ප්‍රබල සාධකයන් බිහිවන්නට මූලාශ්‍රය වූ ප්‍රේමයට ඇත්තේ කුමන ශක්තියක් ද
යන්න විශ්මය ජනක ය. බුදු දහම තුළ ප්‍රේමයට වැට බැඳීමක් සිදු කොට නැත. එයින් ලැබෙන
විපාක පෙන්වා දීම පමණක් සිදු කිරීමෙන් පෙනෙනුයේ අයහපත් තත්වයකට ප්‍රේමය පත් කොට
නොගෙන ප්‍රේම කිරීම වරදක් නොවන බවයි. ප්‍රේමය පිළිබඳ බුදුදහමේ දැක්වෙන ප්‍රසිද්ධම
දේශනාව නම්
පෙමතො ජායති සොකො - පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස - නත්ථී සොකො කුතො භයං
යන්නයි. ප්‍රේමය නිසා ශෝකය, බිය යන දෙක නිතර වහ වහා ඇති වන්නක් බව මෙහිදී පෙන්වා
දෙයි. පෘථග්ජන පුද්ගලයාට එසේ ප්‍රේමයෙන් මිදිය නොහැකි ය. සාර්ථක ප්‍රේමයක් තුළ සම
ශ්‍රද්ධාව, සම සීලය, සම චාගය, සම ප්‍රඥාව තිබිය යුතු ය. එවිට ශෝක වන්නටත්, බිය
වන්නටත් සිදු නොවේ.
ප්‍රේමය වනාහි මමෝමූලික ය. මනසේ ඇති වන භාවමය දෙයකි. ඔහු හෝ ඇය අනෙකා සිතන ආකාරයෙන්
කටයුතු කිරීමයි. අනෙකාට අවංක වීමයි. ප්‍රේමයට ඔහුගේ හෝ ඇයගේ වයස, පෞරුෂත්වය විවාහක
ද අවිවාහක ද යන්න අදාළ නොවේ. සාර්ථක ප්‍රේමයක් මුනගැසුණ දවසට ඔහු හෝ ඇය ලෝකයේ සියලු
වස්තු එක මිටට ගෙනත් දීමට තරම් ශක්තියක් මනස තුළ ඇති වේ. කුස රජු සත් අවුරුද්දක්
බැල මෙහෙවර කරනුයේ එවැනි වූ ශක්තියක් නිසාවෙනි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නකුල
මාතා සහ නකුල පිතු දෙදෙනා ද සෝවාන් බවට පත්ව සිටිය ද ඔවුන්ගේ ප්‍රේමයට එය බාධාවක්
නොවූයේ මේ ශක්ති ප්‍රවාහය නිසාවෙනි.
වේද සාහිත්‍යයේ ප්‍රකට වෘත්තාන්තයක් අනුව පුරූරවස් නම් නරපතියා ඌර්වශී නම් අර්ධ
දිව්‍යමය (අසුර) කාන්තාවකගේ ප්‍රේමය පතා සිය දිවි පිදීමට පවා පෙළඹුණේ ය. නන්ද කුමරු
හා ජනපද කල්‍යාණියගේ ප්‍රේම වෘත්තාන්තය ලෝක ඉතිහාසයේ හද කම්පා කරවන අනුවේදනීය
කතාවකි. එපමණක් නොව දෙව් ලියන් බඳු කතුන්ගෙන් සහ අපූරු කුරුටු ගීවලින් ද සමලංකෘත
කුවේරයාගේ ආලකමන්දාවට සම වන ලොව විස්මිත නිමැවුමක් වන සීගිරිය ප්‍රේමයේ වාසස්ථානයක්
නොවූහයි කවරකුට නම් කිව හැකි ද?
ලක්දිව ප්‍රකට සාලිය කුමරුහට කුල ගෝත්‍ර සීමා මායිම් රහිතව මානුෂික දයාවෙන් පොදු
සමාජය දෙස බැලිය හැකි වූයේ අශෝකමාලාවන් කෙරෙහි පැවති අසීමිත ප්‍රේමයේ මහිමය නිසා ය.
තවද අවිචාරවත් ලෙස හටගත් ප්‍රේමයක් හේතුවෙන් භද්දා කුණ්ඩලකේසී නම් තරුණිය මැරයකුගේ
ගොදුරක් වූ අයුරු අපි දනිමු.
ප්‍රේමය ඒක පාර්ශවීය ගනුදෙනුවක් නොවේ. ද්වීපාර්ශවීය ගනුදෙනුවකි. තමන්ට ආර්ථික
ශක්තියක් නොමැති වුව ද දෙදෙනාගේ ම ප්‍රේමය විශ්වාසනීය වූ විට කුමන හෝ තත්වයක සිට
වුව ද ජීවත් වීමට කල්පනා කරයි.
ප්‍රේමය හා කාමය තුළින් නිරන්තරයෙන් කරනුයේ ඉල්ලීමකි. ප්‍රේමය තුළින් ආදරයත්, කාමය
තුළින් කායික රසයත් ඉල්ලීම සිදු කරයි. ඒ අනුව ප්‍රේමය මනෝබද්ධ වන අතර, කාමය
ඉන්ද්‍රිය බද්ධ ය. මෙම දෙකෙහි ම අතෘප්තිකර සොම්නස් සහගත සුන්දර වින්දනයන් හා බැඳී
පවතී.
ලෝකයේ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් තවත් පුරුෂයකුට හෝ ස්ත්‍රියකට ප්‍රේම කරන්නේ නම්
කුමක් සඳහා එසේ සිදු කළ යුතු ද යන්න විමසා බැලිය යුතු ය. ඇතැමුන් රූ සපුවට ප්‍රේම
කරති. ඇතැමුන් අනෙකාගේ යම් ගුණයකට ප්‍රේම කරති. රූ සපුවට ප්‍රේම කරන්නන්ගේ ජීවිතය
බොහෝදුරට ශෝකාන්තයෙන් කෙළවර වේ. ඊට හේතුව නම් ප්‍රේමය පරණ වනවා සේ ම රූපය ද ඒ හා
සමාන ව ජරා ජීර්ණ බවට පත් වී, ආරම්භ ප්‍රේමයේ තිබූ රූපය විරූපී වේ. එවිට ඇය හෝ ඔහු
වෙනත් රූපයක් සොයා යයි. එවිට ඔවුන් අතර විවිධ ගැටලු ඇති වේ. බොහෝ විවාහක ස්ත්‍රී
පුරුෂයන් දික්කසාද වන්නේ ද මේ හේතුවෙනි.
ආර්ථික අසරණකම, අසංවිධානාත්මක බව ආදිය මැද විවාහක යුවලක් ප්‍රේමයෙන් වෙළී සිටී නම්
ඔවුනට ඒවා බාධක නොවේ. ඊට හේතුව නම් සියලු අභියෝග සාදරයෙන් පිළිගෙන ජය ගැනීමට
ආධ්‍යාත්මික බැඳීමකින් එකමුතුව ඔවුන් සූදානම් බැවිනි. ඒ නිසා යමකුගේ රූපයට නොව
ගුණයට ආදරය කිරීම ප්‍රේමයේ පදනමයි.
ප්‍රේමය අතිශයින් ම හදවත හා බැඳුණු ක්‍රියාවලියකි. එයින් ඇතිවන භාවමය තත්වයයන්
විසිතුනක් පිළිබඳව භරත මුනිවරයා පෙන්වා දේ. එහිදි ධනාත්මක මෙන්ම ඍණාත්මක භාවයන් ද
ඇතිවන බව පෙන්වා දී ඇත. මෙම භාවයන් සමඟ ගනුදෙනු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
මෙම ධනාත්මක භාවයන් මෙන්ම ඍණාත්මක භාවයන් යන දෙකම ප්‍රේමයේ දී සිනහවෙන් පිළිගත යුතු
ය. එසේ නොමැති වුවහොත් අනෙකාගේ මරණය කරා එම භාවයන් ක්‍රියාත්මක වේ.
ප්‍රේමය හදවතේ ජනිත වන්නකි. එය බුද්ධියෙන් පවත්වාගෙන යා යුත්තකි. බුදුදහමට අනුව
ප්‍රේමය සංසාරික බලගතු බැඳීමකි. එබැවින් බිඳුණු ප්‍රේමයට වෛර නොකළ යුතු ය. එසේ
හටගත් ප්‍රේමයක් බිඳෙනුයේ දෙදෙනාගේ කොතැකන හෝ නොගැළපීමක් නිසාවෙනි. එයට පළිගැනීම හෝ
වෛර කිරීම පිළියමක් නොවේ. එය නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතු ය. එසේ නොකර
පළිගැනීමට, වෛර කිරීමට පෙළඹෙන්නේ නම්, එය අකුසලයක් බවට පත් වේ. එහි ප්‍රතිවිපාකය
විඳින්නට සිදු වේ. |