උඳුවප් පුර අටවක පෝදා 2021-12-11
දිරන සිරුර හා නොදිරන නම
ජීවිතය ගැන ආපසු හැරී බලන තරමට, හොඳින් සිතා බලන තරමට එහි සැබෑ ස්වරූපය තේරුම්
ගැනීම පහසු ය. සැබෑව තේරුම් ගත් තරමට අප අතින් සිදුවන වැරැදි, අඩුපාඩු හා ආඥාන
ක්‍රියාකාරකම් අවම ය. එහෙත් අප බොහෝ දෙනකුට වරදින්නේ මායාවක පැටලී, මුළාවෙන් ජීවිතය
දැකීම නිසා ය. එහි විපාකය මෙලොව ජීවිතය මෙන් ම මරණින් මතු ජීවිතය ද අගතියට පැමිණීම
ය.
දෙලොවට ම අර්ථවත් ජීවිතයක් සඳහා මා හැඟි සදූපදේශයන් ඇතුළත් බෞද්ධයාගේ අත්පොත
ධම්මපදය යි. නිතර පරිශීලනය කරමින්, අර්ථ වටහාගෙන ,ජීවිතයට ගළපා ගත යුතු එම
සදූපදේශයන් අතර අපගේ සිරුරේ ස්වභාවය එක් තැනක විස්තර කොට ඇත්තේ
පස්ස චිත්ත කතං බිම්බං
අරුකායං සමුස්සිතං
ආතුරං බහු සං කප්පං
යස්ස නත්ථි ධුවංඨිති යනුවෙනි.
අස්ථි සමූහයකින් ගොඩනඟන ලද මේ සිරුර අස්ථිර ය. කිසිදු ස්ථිර බවක් දැකිය නො හැකි ය.
ලෙඩ සහිත ය. එහෙත් බොහෝ අය ඒ බව නොසිතති. එහෙයින් ම ජීවිතයේ වැඩි කාලයක් සිරුර
සන්තර්පණය කරන්න, සිරුර සරසවන්නට ම වෙන්කරයි.
ඉපදුණ දා සිට මේ සිරුර ක්‍රමයෙන් වෙනස් වේ. තුරුණු වියේ ශක්තිමත් ව පැවති සිරුර
වයසට යෑමත් සමඟ ටිකෙන් ටික රැළි වැටී අවලස්සන වේ. උපන්දා සිට නව දොරින් වෑහෙන
අපද්‍රව්‍ය සෝදා පිරිසුදු නොකළේ නම් සිරුර පිළිකුල් කටයුතු ය. දුර්ගන්ධය හමන්නේ ය.
එම සිරුරම කවර මොහොතක හැර යන්නට වේදැයි අපි නො දනිමු. ජීවිතය ම අනියත වූ කල නියත
යැයි සිත මුළා කරමින් අප විසින් කරනු ලබනදේ මොන තරම් නම් අනර්ථකාරි වන අවස්ථා
තිබෙනවා ද?
රූපය දිරයි – නාමය නොදිරයි යන්න අපට නිතර අසා පුරුදු කියමනකි. එහෙෙයින් අප හොඳින්
සකසා ගත යුතු දිරා යන රූපය නොව නොදිරන නාමය යි.
බුදුරජාණන් වහන්සේ බෞද්ධයාට හොඳ නමක් ඇතිව ජීවත් වන්නට අපූර්ව මාවතක් පෙන්වා දී
තිබේ. හොඳ නමක් ඇතිව ජීවත්වන පුද්ගලයා මිය ගිය ද ඔහුගේ නාමය ජීවත්වන අයගේ හදවත් තුළ
ජීවමාන වන්නේ යහපත්, ගුණගරුක මිනිසෙක් ලෙසට ය. අනර්ථකාරි ජීවිත ගෙවමින් කල ගෙවූවෝ
මිය ගිය ද ජීවත්වන්නන්ගේ ගැරහුමට, අප්‍රසාදයට ලක්වෙති. එවැනි නාමයන් සිහිපත් කරන්නට
පවා යහපත් සමාජය අකැමැති ය.
මිනිසා යනු උසස් මනසක් ඇති සත්වයෙකි. යමක් කියන්නට, කරන්නට පෙර හොඳින් සිතා බලන්නට
හැකි නම් අප වෙතින් වන බොහෝ අනර්ථයන් වළක්වා ගත හැකි ය. දිරා යන මේ සිරුරේ පැවැත්ම
වෙනුවෙන් අන් සත්වයකුගේ ප්‍රානය උදුරා ගන්නවා නම්, අනුන්ගේ දේ සොරා ගන්නවා නම්,
කාමය වරදවා හැසිරෙනවා නම්, බොරුවෙන් අනුන් රවටනවා නම්, මදයට ප්‍රමාදයට හේතුවන
මත්වතුර, මත්ද්‍රව්‍ය පරිහරණය කරනවා නම් එවැනි පුද්ගලයා මිය ගිය ද සමාජයේ පිළිකුලට
ලක්වන්නෙකි.
අනුන්ට ක්‍රෝධ කරමින්, වෛර කරමින් ජීවත් වුවහොත් සිදු වන්නේ ද ඒ පහත් ගති ලක්ෂණ මතු
සසරට ද ගෙන යාමය. යහපත් නාමයක් ගැන කවර කතාවක් ද?
දිරායන සිරුර වෙනුවෙන් අනර්ථයෙහි නොහැසිරී අර්ථවත් ජීවිතයක් ගෙවා දෙලොව දියුණුව
සලසා ගන්නට වෙහෙසීම ය, බෞද්ධයාගේ කාර්යය විය යුතු වන්නේ. |