වාද්දුව සඟ පරපුරේ මූලස්ථානය පානදුර ගොරකාන
කන්දේ විහාරය
දහනව වන සියවසේ මෙරට සම්බුදු සසුන සුරක්ෂිත කිරීම උදෙසා සුවිශාල කාර්යභාරයක් සිදු
කළ පානදුර ගොරකාන කන්දේ විහාරය මොරටුව පානදුර යා කෙරෙන පරණ පාරේ ගොරකාන මංසන්ධියෙන්
කන්දේ විහාර මාවතේ පිහිටා ඇත.
|
|
වාද්දුවේ
ධම්මානන්ද නාහිමි |
විහාරාධිපති
උඩුගම විමලකිත්ති නාහිමි |
මෙම ප්‍රදේශයේ වාසය කළ රිවිදේව සෙනෙවියාගේ වාසභූමියෙහි විහාරය පිහිටා ඇතැයි
ජනප්‍රවාදයේ කියැවෙයි. ගොරකාන ගංගාතිලක විහාරාධිපති මහ බෙන්තර හිමියන් ඇසුරෙහි
පැවිදි වූ වාද්දුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ වෙත මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ
යුරෝපීය ආණ්ඩුකාරවරයා විසින් කඳු සහිත අක්කර අටක් වූ රජයේ ඉඩම පුදකොට ඇත.
විහාරස්ථානයේ පිහිටීම අතිශය චමත්කාරජනක ය. කන්දේ එක් එක් උස මට්ටම් අනුව පිහිටි
මාලක හතරක විහාරාංග ඉදිකරවා ඇත. කෙත්වතු මැදින් ගිය කල විහාරස්ථානයේ පෞරාණික
වාහල්කඩ මෙන්ම නූතනයේ ඉදිකළ දර්ශනීය වාහල්කඩ හමුවෙයි. එම මාලකයෙහි 1845 වසරේ ඉදි කළ
දෙමහල් පෝය සීමාව සහ ධර්මශාලාව පිහිටා ඇත. මදක් ඉහළට ගමන් කළ දෙවන මාලයේ සංඝාවාසය
සහ දැනට කෞතුකාගාරය වශයෙන් සංරක්ෂණය කොට ඇති වාද්දුවේ නාහිමියන් වැඩ විසූ පෞරාණික
ආවාස ගෘහය හමු වෙයි. නැවත මදක් ඉහළට ගිය කල තෙවන මාලකයේ පෞරාණික විහාර මන්දිරයත්
නූතන යුගයේ තැන වූ මහින්දාගමනය නිරූපණය කරන මූර්ති නිර්මාණයත් හමුවේ.
විහාර මන්දිරය 18 වන සියවසේ අවසාන භාගයේ එනම් 1796දී ඉදි කරවන ලදැයි යනු දැනට ඇති
පිළිගැනීමයි. විහාර මන්දිරයේ ශෛලමය උළුවස්සෙහි අක්ෂර කොටා ඇත. විහාර බිමට නුදුරින්
පිහිටි ඉඩමක් මොරටුවේ පදිංචි මහමරක්කලගේ ඇපලෝනියා ප්‍රේරා උපාසිකාව විසින් මිලට ගෙන
විහාරයට පිදූ සෙල්ලිපියක් හමු වෙයි. එසේම විහාර මාවත ආරම්භ වන මහා මාර්ගය අසල 1860
වසරේ පිහිටුවන ලද වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් වැඩසිටින විහාරයට යන මාර්ගය හඟවන
සෙල්ලිපියක් දක්නට ඇත.
වාද්දුවේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ එවක ලක්දිව වැඩසිටි සාතිශය සම්භාවනීය
යතිවරයාණන් වහන්සේ නමක වූහ.
දෝපේ ගුණරතන අනුනාහිමි, හුළුගල්ලේ බෝධිසීහ අනුනාහිමි සහ පොල්වත්තේ සිද්ධාර්ථ
මාහිමියන්ගේ සහයෙන් උඩ-පහත දෙරටින් ම සොයා ගත් පුස්කොළ පොත් ඇසුරෙන් මුළු
ත්‍රිපිටකය ම පිටපත් කිරීම සුවිශේෂී කර්තව්‍යයකි. මෙම ප්‍රදේශවල අන්‍යාගමීකරණය සහ
දුසිරිත් පැතිරීම පාලනය කිරීමට ද නාහිමිපාණන් වහන්සේ පුරෝගාමී වූහ.
වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් වැඩසිටි පෞරාණික සංඝාවාසය |
ස්වකීය ශිෂ්‍යවර මාම්පේ සුමන හිමියන්ලවා සාමණේර හිමිවරුන් හට අධ්‍යාපනය ලබා දෙන
පිරුවනක් ධර්ම විද්‍යාලය නමින් විහාරස්ථානයේ ආරම්භ කරවූ බව සඳහන් වෙයි. ස්වකීය දසවන
වියේ දී ගුරු දෙවි රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් සමඟ ගොරකානේ කන්දේ විහාරයට
පැමිණි රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් දැකීමෙන් ප්‍රසාදයට පත් වාද්දුවේ
නාහිමියන් සියතින් ම හෙරණපාදයන් හට සිවුරක් පොරවා ආශිර්වාද කළ බවත්, තුදුස් වන වියේ
දී ධර්මාරාම සාමණේර හිමියන් වැඩම කරවා ගොරකාන විහාරයේ දී මංගල ධර්ම දේශනය පැවැත් වූ
බවත් සඳහන් වෙයි.
වර්ෂ 1856 දී බෙන්තර අත්ථදස්සි මාහිමි, මලිගස්පේ මංගල මහ නාහිමි ඇතුළු හිමිවරුන්
මල්වතු විහාරයෙන් වෙන් වී පහතරට උපසම්පදා කටයුතු සිදු කිරීමේ දී මල්වතු මහා විහාරයට
පක්ෂපාතී වූ පිරිසේ නායකත්වය උසුලන ලද්දේ වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් විසිනි. මෙම
අවස්ථාවේදී කොළඹ පළාතේ හිමිවරුන් වෙනුවෙන් මල්වතු විහාරය සමග සන්නිවේදන කටයුතු සිදු
කොට ඇත්තේ වාද්දුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසිනි. මේ හේතුවෙන් 1857 වර්ෂයේ දී
මල්වතු මහා විහාරයීය සංඝ සභාව වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් වෙත කොළඹ පළාතේ ප්‍රධාන
සංඝනායක පදවිය පිරිනමන ලදි. මල්වතු විහාරයේ සංඝ සභාව විසින් පිරිනැමූ ප්‍රථම නායක
පදවිය ලෙස සලකන්නේ වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් වෙත පිරිනැමූ පදවියයි. අනූවසක් ආයු
වින්දනය කළ වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් 1874 වර්ෂයේ අපවත් වූ පසු පිළිවෙළින්
ගෝණදූවේ සෝණුත්තර හිමියන් සහ දෙදියවල බුද්ධරක්ඛිත හිමියන් ගොරකාන කන්දේ විහාරාධිපති
පදවිය සහ කොළඹ පළාතේ නායක පදවිය හොබවන ලදී. 1893 වසරේ සිට අද දක්වා කොළඹ පළාතේ නායක
පදවිය විද්‍යාලංකාර පරිවේණාධිපති නාහිමියන් වෙත පිරිනමනු ලබයි.
ගෝණදූවේ රේවත මාහිමි, මහගොඩ ජිනානන්ද මාහිමි, බටුගම්පළ අරියවංස නාහිමි, පෝරේගෙදර
සුමනවංස නාහිමිවරුන්ගෙන් පසු රයිගම්, හේවාගම්, පස්දුන් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක,
විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ උඩුගම විමලකිත්ති නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති
පදවිය ශෝභාවත් කරති.
දිමුතු පුන්සර කොළඹගේ |