ඉල් පුර පසළොස්වක පෝදා 2021-11-18
පනින්නට පෙර සිතා බැලීම
උතුම් ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද යි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම
ධර්මදූත සැට නම අමතා ලෝකයාගේ හිත පිණිස, සුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස ධර්මදූත
චාරිකාවේ හැසිරෙන ලෙස අනුශාසනා කොට වදාළේ අදවන් දිනයක යි. එහෙයින් බෞද්ධයන්ට ඉල්
පොහෝ දිනය ඉතාමත් ම වැදගත් දිනයකි.
එදා බුදු මඟ යමින් සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ගම් නියම්ගම් සිසාරා සිරි සදහම්
පණිවිඩය දෙසා වදාළහ. අපමණ දෙනා ඒ ධර්මාලෝකයෙන් ඒකාලෝක වූ හ.
අද ද අපට සම්බුදු සව්වන් වෙතින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබේ. පොතපත කියවා
දහම් අවබෝධ කර ගන්නට පහසුකම් තිබේ. ඒ , මිනිසත් බවයේ ලද මහා භාග්‍යය යි. අභාග්‍යය
වී තිබෙන්නේ මැණික් ගලක පය හැපුණත් අන්ධයකුට එහි වටිනාකම නො පෙනෙන්නා සේ නාමිකව
බෞද්ධයන් වුව ද බොහෝ දෙනකුට ශ්‍රී සද්ධර්මයෙහි වටිනාකම, ආලෝකය නොපෙනීම ය. අවිදු
අඳුරෙන් වෙළී ඇති මිනිස් සමාජය දහම් ඇස පාදා ගන්නට උත්සාහවත් නොවී ම ය.
රාගාදී කෙලෙස් සතුරන් මැඩ, ජීවිතාවබෝධය ලැබ නිවී සැනසෙන්නෝ සදහම් ආලෝකය ලැබුවෝ ම ය.
ඒ සුන්දර තැනට පිවිසෙන්නට අපට තවමත් හැකියාව ඇත. කළයුතු එහි අප්‍රමාදී වීම ය. එවිට
තමන්ට බරක් නොවී, ලෝකයට බරක් නොවී මේ ජීවිතය පවත්වා ගන්නට සෑම කෙනකුටම පුළුවන.
එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ කැඩපතක ඇති ප්‍රයෝජනය කුමක්දැයි රාහුල හිමියන්ගෙන්
විමසූහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එය ප්‍රත්‍යවේක්ෂණය සඳහා’යි” යනුවෙන් රාහුල හිමියෝ
පිළිතුරු දුන්හ. ප්‍රත්‍යවේක්ෂණය නම් පිරික්සා බැලීම ය. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ
රාහුල හිමියන්ට දුන් උපදේශය ම අපගේ ජීවිතය නිවැරැදි මාවතකට ප්‍රවිෂ්ඨ කරවා ගන්නට
ප්‍රමාණවත් ය.
ඒ අනුව කැඩපතකින් පිරික්සා බලන්නා සේ අප කරන සෑම ක්‍රියාවක් ම, කතා කරන සෑම වචනයක්
ම, සිතන සිතිවිල්ලක් ම නැවත නැවත පිරික්සා බැලිය යුතු වේ.
ඒ තමන්ගේ ක්‍රියාව, වචනය තමන්ට පීඩාවක් වේ ද, අනුන්ට පීඩාවක් වේ ද යනුවෙනි. තමන්ගේ
සිතිවිල්ල දුක් ඇති කරන අකුසලයක් වේ ද යනුවෙනි. එසේ හොඳින් පිරික්සා බැලීමේ දී
පීඩාවක්, අකුසලයක් බව වැටහෙනවා නම් එය ඒකාන්තයෙන් ම නොකළ යුත්තකි.
අද බොහෝ පවුල් අවුල් සහගත ය. මව්පිය දූ දරුවන් අතර අඹුසැමියන් අතර නො නවතින අරගලය.
එම පවුල්වල සාමාජිකයන් සමාජගත වීමත් සමඟ සමාජය ද අවුල් වන්නේ ය.
දියට දමන ඇම ගිලින්නට යෑම නිසා මාළුවාගේ විනාශය ළඟා වන්නේ ය. ඒ තමන්ගේ කට පරිස්සම්
කර ගන්නට බැරිවීම නිසා ය. මිනිස් සමාජය ද විනාශ වන්නේ එලෙසිනි. ඒ සිත, කය, වචනය රැක
ගන්නට නොහැකි වීම නිසා ය. පිරික්ෂා බලා කටයුතු නොකිරීම නිසා ය.
එහෙත් බෞද්ධයකු එවැනි අවාසනාවන්ත තත්ත්වයකට වැටිය යුතු නැත. සිරි සදහම් මඟ අපට යා
යුතු මඟ පෙන්වා දී ඇති බැවිනි. අවශ්‍ය ඒ මඟ ජීවිතයට ප්‍රායෝගික කර ගැනී ම ය.
|