තෙමසක් පුරා දහම් පද දෙකකින් අනුමෙවෙනි බණ දෙසූ
මලියදේව මහ රහතන් වහන්සේ
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
" උපාසිකාවනි, ඔබ ගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබට දහම් පද දෙකකින් පමණක් මාස තුනක් ම
සැලකූහ. වෙනත් කිසිදු බණ පදයක් දේශනා නො කළහ. ඔබ ගේ ඒ මලියදේව තෙරුන් වහන්සේ අද
රාත්‍රිය පුරා ධර්ම දේශනා
පවත්වති."
පැවිදි දිවියෙහි ග්‍රන්ථ ධුරය සහ විදර්ශනා ධුරය නමින් ධුර දෙකක් වෙයි. මෙයින්
ග්‍රන්ථ ධුරය මහලු වයසට පත් නොවූ පැවිදි පිරිස් විසිනුත්, විදර්ශනා ධුරය මහලු වයසට
පත් වූ අය විසිනුත් බහුල වශයෙන් පූරණය කරනු ලබයි. මලියදේව මහ රහතන් වහන්සේ පැවිදි
බව ලැබුවේ ග්‍රන්ථ ධූරය දැරීමට සුදුසු වයසක දී ය.
එ බැවින් ග්‍රන්ථ ධුරය පිරිය යුතු විය. මණ්ඩලාරාමය නම් විද්‍යාස්ථානයක් එකල හෙළදිව
ප්‍රසිද්ධ වී තිබිණි. උන්වහන්සේ එම විද්‍යස්ථානයට ඇතුළත් වී ධර්මය අධ්‍යයනය කර
තිබේ. ධර්ම අධ්‍යයනයට පිවිසි තෙරුන් වහන්සේට පසු දින සිට ම පිණ්ඩපාතයෙන් දිවි
ගෙවීමට සිදු විය. පසු දා උදෑසන උන්වහන්සේ කල්ලක නම් ගමට වැඩම කළහ. එක් උපාසිකාවක්
උන්වහන්සේට දානය පිළිගැන්වී ය. ඉන් පසුව
“ස්වාමිනි, ඔබ වහන්සේ කවර ගමක වාසය කරන සේක් ද?"යි? විමසා සිටියා ය.
“උපාසිකාවනි, මම මණ්ඩලාරාම විහාරයෙහි ග්‍රන්ථධුර පුරමි”
තෙරුන් වහන්සේ පැවසූහ. එවිට උපාසිකාව
“ස්වාමිනි, එසේ නම් ඔබ වහන්සේ ගේ ඉගෙනීම අවසන් වන තෙක් මා ගේ නිවෙසින් පිණ්ඩපාතය
ගෙන වළඳන සේක්වා”යි ආරාධනා කළා ය.තෙරුන් වහන්සේ ත් ඇය ගේ ආරාධනාව පිළිගත්හ. තුන්
මසක් ම එම නිවෙසින් පිණ්ඩපාතය පිළිගත්හ. දිනය අවසානයේ උපාසිකාවට පුණ්‍යානුමෝදනා
කළහ. එහි සුවිශේෂත්වයක් විය. උන්වහන්සේ තුන්මසක් ම අනුමෙවෙනි බණ ලෙස උපාසිකාවට
දේශනා කොට වදාළේ , ‘සුවපත් වේවා, දුකින් මිදේවා” යනදහම් පද දෙපදය පමණි. අංගුත්තර
නිකායට්ඨකථාවේ මේ බව සඳහන් වෙයි. තුන් මසක් ඉක්ම ගියේ ය. දිනක් උපාසිකාවට ගම්
වැසියන් ගෙන් සුබ ආරංචියක් ලැබුණි.
“උපාසිකාවනි, ඔබ ගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබට දහම් පද දෙකකින් පමණක් මාස තුනක් ම
සැලකූහ. වෙනත් කිසිදු බණ පදයක් දේශනා නො කළහ. ඔබ ගේ ඒ මලියදේව තෙරුන් වහන්සේ අද
රාත්‍රිය පුරා ධර්ම දේශනා පවත්වති"
යැයි පවසා ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන්න යැයි දැන්වී ය. ඒ ඇසූ උපාසිකාව මෙසේ
සිතුවා ය.
උන්වහන්සේ තුන් මසක් පුරාවට දහම් පද දෙකකින් පමණක් දම් දෙසූහ . උන්වහන්සේ ගේ ධර්ම
දේශනා හැකියාව අද දැන ගනිමි. එසේ සිතා දම් සභාවට ගොස් හිඳගත්තා ය. තෙරුන් වහන්සේ
ධර්මාසනයට වැඩම කළහ.
“තුන්මසක් මුලුල්ලේ ‘සුවපත් වේවා, දුකින් මිදේවා” යන දෙපදය පමණක් දේශනා කළෙමි. අද
රාත්‍රි මුළුල්ලේ තුන් පිටකය ම සම්මර්ශනය කොට එ දෙ පදයෙහි අර්ථ ව්‍යාඛ්‍යාන
කරන්නෙමි” පවසා ධර්ම දේශනාව ආරම්භ කළහ. තෙරුන් වහන්සේ රාත්‍රිය ගෙවා පහන් වනතුරු ම
අදාළ දහම් පද දෙකෙහි අර්ථය විමර්ශනය කරමින් ධර්ම දේශනාව සිදු කළහ. දේශනාව කෙළවර
උපාසිකාව සෝවාන් ඵලයට පත් වූවා ය.
අධික මතක ශක්තියක් සහිත ව ධර්මය විමසුම් නුවණින් දේශනා කිරීමේ හැකියාවක් මලියදේව
තෙරුන් වහන්සේ සතු වූ බව මෙයින් පෙනේ. ධර්ම දේශනා කිරීම සෑම භික්‍ෂුවක් වෙතින් ම
සිදු වන්නකි. එහෙත් එක ම දේශනාව කවර ස්ථානයක පැවැත්තුව ද එක ම අයුරින් පිරිස් රහත්
ඵලයෙහි පිහිටීම ඉතා විශේෂ ලක්‍ෂණයකි. මෙය මූලික කර ගෙන මලියදේව මහ රහතන් වහන්සේ
ප්‍රසිද්ධියක් ලබා තිබේ. මෙයට මුල් වී තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඡඡක්ක සූත්‍ර
දේශනාව යි. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන විට භික්‍ෂුන් වහන්සේ හැටනමක් රහත්
වූ බවත්, අනතුරු ව සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප ආදි ලෙසින් අසූ මහ ශ්‍රාවකයන්
වහන්සේ ද මෙම සූත්‍රය දේශනා කරන කල්හි හැටනම බැගින් රහත් වූ බවත්, බුදුන් වහන්සේ
පිරිනිවි කල්හි ලක්දිව මලියදේව නම් තෙර නමක් ස්ථාන හැටක සිට හැටනම බැගින් රහත්ඵලයට
පත් කළ බවත් ධර්මප්‍රදීපිකාව සහ අංගුත්තර අටුවාව සඳහන් කරයි. මලියදේව මහ රහතන්
වහන්සේ හෙළදිව අවසන් මහ රහතන් වහන්සේ ලෙසින් සැලකීම සාවද්‍ය කරුණකි.
උන්වහන්සේ ධර්ම දේශනාවලට විශේෂ හැකියාවක් දැක් වූ නිසා ප්‍රසිද්ධියට පත් වූ තෙර
නමකි. මෙය තහවුරු කෙරෙන අවස්ථාවක් ලෙස මණ්ඩලාරාමයෙ හි දී උපාසිකාවක් අරභයා දේශනා කළ
ධර්ම දේශනාවෙන් ද, සිතුල්පව්වට වැඩම කළ අවස්ථාවක හැට වයස් පිරි හැට නමකට ධර්ම දේශනා
පවත්වා රහත් ඵලයට පත් කළ පුවතින් ද තහවුරු වෙයි. අංගුත්තර නිකාය අටුවාව සහ
ධර්මප්‍රදීපිකාව මලියදේව මහ රහතන් වහන්සේ ධර්ම දේශනා කළ ස්ථාන සමූහයක් දක්වයි.
ලෝවාමහාප්‍රාසාදය, මහා මණ්ඩපය, මහ වෙහෙර, චේතිය පර්වතය, සාකියවංශ විහාරය, කූටාලි
විහාරය, චාතක පර්‍වතය, දීඝවාපිය, ලෝකන්‍දරගාමෙණ්ඩවාලය, සිතුල්පව්ව, තිස්සමහා විහාරය
කැලණි මහා විහාරය, නාග මහ වෙහෙර, කලකච්ඡ ග්‍රාමය, මහවිහාරයේ යට ප්‍රාසාදය, මහ
වෙහෙරෙහි මතු ප්‍රාසාදය යනු එයින් කිහිපයකි. මෙයින් පෙනෙන්නේ මලියදේව මහ රහතන්
වහන්සේ ලක්දිව සිවු දෙසෙහි ම ධර්ම දේශනා පැවැත් වූ බවයි. තව ද සංචාරක දිවියක් ගත කළ
හෙයින් අතීත වැසියන් මේ තෙරුන් වහන්සේ හොඳීන් දැන හඳුනාගත් බවත්, ඒ නිසා අතීතයෙහි
සිට මේ කීර්තිය මුඛ පරම්පරාගත ව පැමිණි බවත් විශ්වාස කළ හැකි ය. |