බිනර අව අටවක 2021.09.29
සතුට හා දුක
ගෙවෙන සෑම මොහොතක ම අපි ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙමු. දුක පිළිකෙව් කරමු. ඒ
සාමාන්‍ය මිනිසා ගේ හැටි ය. එහෙත් සොබාදහමේ හැටි ඊට වෙනස් ය. සතුට තාවකාලික ය. දුක
ද තාවකාලික ය. වෙනස් වන්නේ ය. දුකක් නොවන්නට නම් සතුට වෙනස් නොවී තිබිය යුතු ය.
එහෙත් එසේ වන්නේ නැත. දුක නැති කරන්නට නම් ඉපදීම ම නැති කළ යුතු ය. දුක නැති අමා
නිවන සොයා යන ඒ ගමනේ දී අප සතුටින් ජීවත් විය යුතු ය. එය ඉබේ ලැබෙන්නේ නොවේ.
උත්සාහයෙන් ලබා ගත යුතු වේ.
බෞද්ධයා ගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයේ සතුටින් ජීවත් වන මඟ අපට අපූරුවට විස්තර
කොට දී තිබේ.
ඉධ මෝදති පෙච්ච මෝදති - කතපුඤ්ඤො උභයත්ථ මෝදති
සෝ මෝදති සො පමොදති - දිස්වා කම්ම විසුද්ධිමත්තනො
එයින් කියැවෙන්නේ පින් කළ පුද්ගලයා මෙලොව දී සතුටු වන බව ය. පරලොව ද සතුටු වන බව ය.
තමන් ගේ පිරිසුදු කර්මය දැක සතුටු වන බව ය. වෙසෙසින් සතුටු වන බව ය. සතුට
බලාපොරොත්තු වනවා නම් අප යා යුතු ඒ මඟ ය. සැබැවින් ම අප මිනිසත් බවක් ලැබ, දුර්වල
නොවූ අඟපසඟ ඇතිව ජීවත් වීම ම සතුටකි. ඒ සතුට ලබන්නට අප සසර පුරා බොහෝ පින් පුරන්නට
ඇත. තව දුරටත් සතුට බලාපොරොත්තු වනවා නම් අප කළ යුතු පිනෙන් පොහොසත් වීම ය. පව් අත
හැරීම ය.
පස් පව් කිරීම, දස අකුසලයන් කිරීම පාපී ක්‍රියාකාරකම් ය. එම ක්‍රියාකාරකම් හි
ස්වභාවය ම අපිරිසුදු බව ය. විපාක දුක් සහිත ය. ශෝකී ය. ජීවිත කාලය පුරාම පව් කළ
පුද්ගලයාට සිතට නිදහසක් නැත. ඔහු නිරන්තරයෙන් ඒ ගැන පසුතැවීමට පත් වේ. බියට පත් වේ.
සමාජයෙන් ද ඔහුට ගැලවීමක් නැත. පව්කාරයා යන අන්වර්ථ නාමයෙන් සමාජය විසින් ඔහු
පිළිකෙව් කරනු ලබයි. මෙවැනි තත්වයක දී කවර නම් සතුටක් ද? කවර නම් සැනසීමක් ද? බුදු
මඟ යන බෞද්ධයා එවැන්නකු නොවේ. හෙතෙම නිරන්තරයෙන් ම සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වන
පුද්ගලයෙකි. අනෙක් අතින් ඔහු සසර පින් කළ කෙනෙකි.
ඔහු පව පිළිකෙව් කරයි. සතුන් මැරීම, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරුව, සුරා පානය
තුළ රැස් වන පාපයේ විපාකය දුක ම මිස සතුටක් ගෙන නොදෙන බව හේ දනී. ජීවිතය අප්‍රිය
සහගත කරන පස් පවින් වළකින ඔහු වෙත , පසුපසින් එන සෙවණැල්ල සේ සතුට ළඟා වේ.
දානය, සීලය, භාවනාව, පින් දීම, පින් අනුමෝදන් කිරීම ආදී දස පින් කිරියවත් තුන්
දොරින් සිදු කරන උතුම් පින්කම් ය.
ඒ තුළ ලැබෙන්නේ සැහැල්ලුව හා සතුට ය. මෙලොවට පමණක් නොවේ. මතු බවයට ද ඒ සැනසීම තමන්ට
හිමි වේ. බොහෝ දෙනෙක් පුරුදු ව සිටින්නේ තමන් ගේ දුකට, නොසතුටට, සැනසීමක් නැතිකමට
අනුන්ට දොස් පවරන්නට ය. එහෙත් තමන් ගේ සැනසීම තීරණය කරන්නේ තමන් මිස අනුන් නොවේ.
පව් රැස් කර ගන්නේ තමන් මිස අනුන් නොවේ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම ආදී
සිතිවිලි සේ ම අකුසල සිතිවිලි මඟින් මෙහෙයවන ක්‍රියාකාරකම් ද තමන් පව් ගොඩකට ඇද
දමයි. දහමට අනුව සිතනවා නම්, ඒ සිතිවිලි පාලනය කර ගැනිම අපහසු නොවේ. එහෙයින් තමන්
තුළ ම ඇති කර ගන්නා ස්ථිර අධිෂ්ඨානයක් තුළ තමන් ගේ සැනසීම උදා කර ගන්නට උත්සාහ කළ
යුතු වේ. ඒ මාර්ගය යහපත් කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නක් නොවේ. ඒ තුළ ලැබෙන්නා වූ
උදාර පලය සැනසීම, සතුට ම ය. |