ලක්දිව සංඝරාජ පදවිය -
6:
ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ නායක පදවි පත් කිරීම
වර්ෂ 1815 මාර්තු දෙවැනි දින ශ්‍රී ලංකාව මුළුමනින් ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්
විජිතයක් බවට පත් වූ පසු උඩරට ගිවිසුම් ප්‍රකාර ව බුද්ධාගමේ සහ දේවාගමේ පුදසිරිත්
ඉදිරියට පවත්වා ගෙන ඒම සඳහා ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුග්‍රහය පිරිනමන බව සඳහන් කෙරිණි.
පෙර රජවරුන් සේ ම මල්වතු අස්ගිරි මහා නායක පදවි සහ ඒ වන විට පැවති නායක පදවි
පිරිනැමීම ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් සිදු කරන ලදි.
යම් කිසි තනතුරක් සඳහා පුරප්පාඩුවක් ඇති වූ විට පදවිය අපේක්ෂා කරන භික්ෂූන් වහන්සේ
අදාළ පරිපාලන කොට්ඨාසයේ මහ දිසාපති කාර්යාලය වෙත අයදුම්පතක් ඉදිරිපත් කළයුතු විය. ඒ
අනුව විහාරයේ සංඝයා වහන්සේ ගේ ද කැමැත්ත පරිදි ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් අදාළ පදවිය
සඳහා සුදුසු හිමිනමක පත් කරන ලදී. ආණ්ඩුකාරවරයා විසින් අදාළ හිමිනම මහනුවර රජ ගෙදරට
කැඳවා විජිනිපත පිරිනැමීම සිදු විය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ විංශත් වර්ගික කාරක සංඝ සභාව ඉංග්‍රීසි පාලන අවධියේ
දී වියදම් පඩිය ලෙසින් හඳුන්වන ලදී. මල්වතු අස්ගිරි විහාරවල නායක ස්වාමින්ද්‍රයන්
වහන්සේ නඩත්තු කිරීමට රජයේ මුදල් වියදම් කිරීමට අකමැති වූ ඉංග්‍රීසි ආණ්ඩුව ඒ සඳහා
ගම්පල කෙත, වාහලවෙල, උගුරැස්ස පිටිය හෙවත් නුවරවෙල හා තලම්පිටිය යන ඉඩම් උභය
විහාරයීය කාරක සභික සංඝයා වහන්සේ ගේ නඩත්තු පිණිස වෙන් කරන ලදී. මහා නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක වෙනුවෙන් මුළු ආදායමෙන් කොටස් හතක් ද, අනු නාහිමිවරු සහ
ජ්‍යෙෂ්ඨ සභිකයන් වහන්සේ වෙනුවෙන් (උභය විහාරයේ අනුනායක දෙනම ඇතුළුව සිව් නමක්
ජ්‍යෙෂ්ඨ කාරක සභික ධුර හොබවති ) වෙනුවෙන් මුළු ආදායමෙන් කොටස් පහක් ද ඉතිරි
හිමිවරුන්ට කොටස් තුන බැගින් ද හිමිවෙයි. මෙම බෙදීමට අනුව මහානායක පදවිය හතේ පඩිය
ලෙස ද, අනුනායක හා ජ්‍යෙෂ්ඨ කාරක සභික පදවි පහේ පඩිය ලෙස ද, කාරක සභික පදවිය තුනේ
පඩිය ලෙස ද හැඳීන්වුණි.
වර්ෂ 1845 දී ලංකාණ්ඩුකාරවරයා බුද්ධාගම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම් ඉවත් වීමට
තීරණය කොට ඇති බවත්, එකී වගකීම් විහාර දෙකේ සංඝයා වහන්සේට සහ දියවඩන නිළමේ වරයාට
පැවරීමට තීරණය කර ඇති බවත් දන්වා ඇත. පෙර සිරිත් ප්‍රකාරව රාජ්‍යය සහ ආගම අතර
සබඳතාව දුරස් වන බැවින් සංඝයා වහන්සේ සහ රදළවරු ඊට විරෝධය පළ කොට ඇත.
1847 වසරෙහි විහාර දෙකෙහි සහ ලංකාවේ සංඝ සමාජයෙහි පරිපාලන සංශෝධනය වෙනුවෙන් විහාර
දෙක වෙනුවෙන් එක් එක් පළාත් සඳහා සංඝ සමාගම් අට බැගින් පිහිටුවා ගෙන ඇත. මෙම
සමාගම්වල ප්‍රධාන හිමි නම අනුනායක ලෙස ව්‍යවහාර කොට ඇත. එම අනුනායක අට නම විංශත්
වර්ගික කාරක සභාවේ අනුනායක පදවිවලට අයත් නොවේ.
එම සමාගම් අට නම්,
මඟුල් මඩුවේ පැවති ප්‍රථම මල්වතු මහ නාහිමි
සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය - 1955 ශ්‍රීමත් ඔලිවර්
ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා විසින් වැලිවිට සරණංකර මහ
නාහිමියන් වෙත මල්වතු පාර්ශ්වයේ මහා නායක පදවිය පිළිබඳ
සන්නස්පත්‍රය පිරිනැමීම |
මහනුවර සමාගම (උඩුනුවර, යටිනුවර, තුම්පනේ, සාරසියපත්තුව, දුම්බර හේවාහැට, උඩ පළාත)
සතර කෝරළේ සුළු සමාගම (සතර කෝරළය, පාත බුලත්ගම, තුන් කෝරළය)
සත් කෝරළේ ඉහළ දොළොස් පත්තුව සුළු සමාගම (වෑඋඩ විල්ලි හත්පත්තුව, හිරියාළ පත්තුව)
සත් කෝරළේ පහළ දොළොස් පත්තුව සුළු සමාගම (දේවමැදි හත් පත්තුව, කටුගම්පොල
හත්පත්තුව),
ඌව සුළු සමාගම (ඌව වෙල්ලස්ස, වියලුව,වලපනේ, කතරගම)
මාතලේ සුළු සමාගම (මාතලේ, උඩුගම, බින්තැන්න, ලග්ගල)සපරගමුවේ සුළු සමාගම (සපරගමු
කෝරළ තුන)
නුවර කලාවියේ සුළු සමාගම (නුවර කලාවිය සහ තමන්කඩුව) වශයෙන් සඳහන් කළ හැකි ය.
මෙලෙස සංඝ සමාගම් පිහිටුවූ ව ද කලක් ඇවෑමෙන් අකර්මණ්‍ය වී ඇත. 1853 අප්‍රේල් මස
දළදා වහන්සේ ගේ භාරකාරත්වය ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට
සහ දියවඩන නිළමේවරයා වෙත පවරා ඇත. ඒ සමග ශාසනික පදවි පිරිනැමීමේ බලය ද එම විහාරවල
සංඝ සභා වෙත පවරා දී ඇති අතර, මහානායක අනුනායක පදවි සඳහා විහාරවලින්
ස්වාමින්ද්‍රයන් වහන්සේ තේරීපත් වූ පසු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් අක්ත
පත්‍රයක් පිරිනැමීම සිදු කෙරුණි. 1955 වර්ෂයේ දී වැලිවිට සරණංකර මහ නාහිමියන්
මල්වතු පාර්ශ්වයේ මහා නායක පදවියට සංඝ සම්මතයෙන් පත් වූ පසු මඟුල් මඩුවේ දී රාජ්‍ය
උත්සවයක් පවත්වා රාජ්‍ය නායකයා ගේ අතින් සන්නස්පත්‍ර පිරිනැමීමේ සිරිත ආරම්භ වූ
අතර, එය අද දක්වා උභය මහා විහාරයීය මහා නායක අනුනායක පදවි සඳහා ක්‍රියාත්මක වෙයි.
ප්‍රාදේශීය නායක පදවි ද ඒ ඒ ප්‍රාදේශීය සංඝයා වහන්සේ ගේ අවශ්‍යතා මත කාරක සභාවේ
කැමැත්ත පරිදි පත් කිරීම අද දක්වා සිදු කෙරෙයි.
මෙම ලිපියේ ඉතිරි කොටස බුදුසරණ බිනර අමාවක පෝදා
(ඔක්: 06) පත්‍රයේ පළවේ.
|