ජීවිතය ලස්සන වන්නේ
ඇත්ත තේරුම් ගන්නා තරමට යි
මලක් සුවඳැති නම්, ප්‍රසන්න නම්, ඒ මල පිපෙන්නේ කොතනදැයි ගැටලුවක් ඇති කර ගත යුතු
නැත. මඬ වගුරුවල හටගන්නා වූ ඕලු, නෙළුම්, මානෙල් මෙන් ම කටු අතුවල පිපෙන්නා වූ රෝස
මලටත් හිමි වන්නේ ඉහළ ම තැනකි. මේ කොයි තැන පිපුණ මලක් වුව ද නොළා ගෙනැවිත් බුදු
පුද පවත්වයි.
කෙනෙක් තමන්ට ජීවිතය වැරදී ඇතැයි කියති. නැවත නිවැරැදි වන්නට නොහැකි යැයි ද කියති.
වරැදි හදා ගන්නවා මිස මිනිස් ජීවිතයෙහි වටිනාකම දන්නා කිසිවෙක් එසේ කියන්නේ නැත. ඒ
මිනිසෙක් ව ඉපදීම ම අතිශය කලාතුරකින් සිදු වන භාග්‍ය සම්පන්න අවස්ථාවක් වන බැවිනි.
එපමණක් නොවේ, ජීවිතය පවත්වා ගැනීම ද දුර්ලභ ය. අපහසුවෙන් පවත්වා ගෙන ගිය ද බොහෝ
දෙනකුට බුද්ධ ශාසනය මුණගැසී ම ද දුර්ලභ ය. එහෙයින් ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබීම ද
දුර්ලභ ය. එහෙත්, ඒ දුර්ලභ අවස්ථා සියල්ල ලැබීමට අපි වාසනාවන්ත වී සිටිමු. එපමණක්
ද? නැත.
කුසල් මඟ යන්නට නොහැකි අවස්ථා අටෙන් ද අපි මිඳී ඇත්තෙමු. ඒ අවස්ථා අට විස්තර වන්නේ
මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා නිරයෙහි උපත ලබා තිබීම.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා තිරිසන් භවයෙහි උපත ලබා
තිබීම.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා ප්‍රේත විෂයෙහි උපත ලබා
තිබීම.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා දීර්ඝායු ඇති දේව නිකායක
උපත ලබා තිබීම.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා සිව්වනක් පිරිස් නැති
ප්‍රත්‍යන්ත ජනපදයක උපත ලබා තිබීම.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා මධ්‍යම ජනපදයන් හි දස
වස්තුක මිථ්‍යා දෘෂ්ටික ව උපත ලබා තිබීම.
බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව ඉපදී දහම් දෙසූව ද පුද්ගලයා මධ්‍යම ජනපදයන් හි මෝඩ ව
උපත ලබා තිබීම හා
අබුද්ධෝත්පාද කාලයක උපත ලැබීම ය.
අප විසින් ලබා ගත් මේ දුර්ලභ වූ අවස්ථාවෙන් උතුම් වූ ඵලයක් ලබා ගත යුතුම ය. අද
සමාජයේ තෙරුවන් සරණ ගිය බහුතර පිරිසක් සිටිති. එහෙත් බොහෝ දෙනෙක් ප්‍රධාන වශයෙන් ම
සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් පුද පූජාවන් පැවැත්වීම ය. එය වරදක් නොවේ.
වරද පවතින්නේ, ආමිස ප්‍රතිපත්තියෙන් ඈතට ගිය, පිළිවෙත් මාර්ගයට අවබෝධයකින් යුතුව
යොමු නොවීම ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “මල් සුවඳ ආදියෙන් මට පුද පූජා පවත්වන්නෝ මා
පුදන්නෝ නොවෙති. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ මා පුදන්නෝ වෙති". යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ ධර්මය ඔරුවකට උපමා කළහ. ඔරුවෙන් එතෙර වන්නා සේ එතෙරවීම පිණිස මිස
ධර්මය කරගහගෙන යෑම පිණිස නොවේ යැයි දේශනා කොට වදාළහ.
ධර්ම මාර්ගයට යොමුවීමේ දී මල් පහන් පූජා කොට ශ්‍රද්ධාව දියුණු කර ගැනීම අවශ්‍යය ය.
එම පුජාව ම පිළිවෙත් මාර්ගයට යොමු කර ගත හැකි ය. මල් පූජා කරන ගාථා රත්නයෙහි සරල
අදහස නම් “මේ මල් පරව යන්නා සේ මගේ සිරුර ද විනාශ වී යන්නේ ය යන්නයි. මලක් සුවඳැති
නම්, ප්‍රසන්න නම්, ඒ මල පිපෙන්නේ කොතනදැයි ගැටලුවක් ඇති කර ගත යුතු නැත. මඬ
වගුරුවල හටගන්නා වූ ඕලු, නෙළුම්, මානෙල් මෙන් ම කටු අතුවල පිපෙන්නා වූ රෝස මලටත්
හිමි වන්නේ ඉහළ ම තැනකි. මේ කොයි තැන පිපුණ මලක් වුව ද නොළා ගෙනැවිත් බුදු පුද
පවත්වයි. එහෙත් මේ මල් පරව යයි. බුදු පුදට පෙර පිපුණු තැන නොසලකා, මල් නෙළා ගෙන
පැමිණ ඉහළම තැනක තබා ගෞරව කරයි. අපේ මේ සිරුර ද ලෙඩ දුක් සමග ම දිරාගෙන යන්නේ ය.
මල් පර වෙන්නට පෙර නෙළා ගෙන පැමිණ බුදු පුදට ගත්තා සේ, මේ ජීවිතය ද දිරා ගෙන ගොස්
මරණයට පෙර යහපත් ප්‍රයෝජනයක් ගත යුතු වේ. ඒ ප්‍රයෝජනය ගැනීම නම් ඇස, කන ආදී වූ
ඉන්ද්‍රියයන් සතුටු කිරීම හෝ පිනවීම ම පමණක් ම නොවේ. කායික හා වාචසික සංවරය නම් වූ
ශීලයෙහි පිහිටා හැකිතාක් දුරට ධර්මානුකූල ව ම ජීවිතය පැවැත්වීම ය.
ඉගෙනීම, වෘත්තිය, විවාහය, ගේ දොර, ඇඳුම පැළඳුම මෙන් ම සමාජයේ යුතුකම් ආදී මේකවර දේ
තුළ ද ධර්මානුකූල බවක් තිබිය යුතු ය. ධර්මානුකූල මඟක් තුළ වූ ව ද මේ සියල්ල ම
ප්‍රිය වශයෙන් ඉහළ ම ආකාරයකින් කළ හැකි ය. මෙයට හොඳම උදාරහණය වන්නේ විශාකා මහා
උපාසිකාව සහ අනේපිඬු සිටාණන් ය.පියකරුව ද, ධනවත් ව ද, සතුටින් ද මේ අය ජීවිත් වූ හ.
මාර්ගඵල ලාභීහු ද වූ හ.
සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, මංගල ආදී සුත්‍රයන් හි සඳහන් අයුරින් අප ගේ ලෞකික ජීවිත
පැවැත් ම සුපසන් කර ගත හැකි ය. ඒ වගේ ම වසල, පරාභව සූත්‍ර දේශනාවන් හි සඳහන්
අයුරින් පරිහානියට නොයා හැකි ය. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව සිහිය පැවැත්වීම
දියුණු කළ හැකි ය. ආනාපාන සතිය මෙන් ම කායගතාසති සූත්‍ර ඇසුරු කළ හැකි ය. කොපමණ
කාර්යය බහුල වූ ව ද “මේ මොහොතේ ජීවත්වීම“ පුරුදු කළ හැකි ය. පස්පව් දස අකුසල්වලින්
බැහැර විය හැකි ය. දරුවන්, මව්පිය, ස්වාමි - භාර්යාවන් “මම - මගේ යැයි කියනු ඇත.
යම් අවස්ථාවක මව්පිය දරුවන් එකිනෙකාට සමීප ව නුඹලා මගේ යැයි පවසයි. ඒ වගේ ම මගේ ඇස්
දෙක වගේ යැයි කියයි. ස්වාමි-භාර්යාවන් “නුඹ වැනි අයෙක් මට මුණ ගැසුණේ, මගේ පෙර
පිනකට“ යැයි පවසනු ඇත. ඔවුන් එකිනෙකා කෙරේ ප්‍රිය දෑසින් බලමින් , ප්‍රිය වචන කතා
කරමින් ‘ කිරි හා පැණි‘මෙන් ශරීර දෙකක් වූවත් එකම ජීවිතයක් මෙන් පැවැත්වීමට කැමති
යි. ඔබට නකුල පිතූ සූත්‍රය කියවා බැලිය හැකියි. එසේ සම්මතයෙහි පිහිටා මෙලොව
සැනසිලිමත් ජිවිතයක් ගත කළ හැකියි.
එනමුත් මේ සියල්ල ම සකස් විය යුත්තේ පරමාර්ථ ධර්ම අවබෝධය හා සමඟින් බව සිතන්න.
සම්මුතියට අනුව මව්පිය, දරුවන්, ස්වාමි-භාර්යාවන් “නුඹ මගේ, සැමදාම මේ වගේ සිටිනවා“
යැයි පැවසූව ද විදසුන් නුවණ එය නොවේ. පරමාර්ථ හෙවත් විපස්සනාවට අනුව “මමවත් මට හිමි
නැති ලොවක් තුළ ඔබ කොහොම ද මගේ වෙන්නේ. මටවත් මා ගැන කිසි ලෙස යමක් පැවසිය නොහැකි
මේ අනිත්‍ය වූ ලෝකයේ, නුඹ සමඟ හැමදා ම එක්ව සිටිනවා යැයි පැවසිය හැක්කේ කෙසේ ද?
මෙලොව පණ ඇති, පණ නැති සියල්ල ම සංස්කාර නම් වෙයි. මේ සියලු වස්තූන් අනිච්ච, දුක්ඛ,
අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වෙති. මේ නොයෙක් අපවිත්‍ර දෙයින් පිරුණු
ශරීරයේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා ම ගළපා බලන්න. අපට කිසිදු සැබෑ අයිතියක් වේ
ද? නුවණින් ගළපා බලන විට දිරා නොයන, අත් නොහැරෙන, අපට ඕනෑ ආකාරයට පවත්නා යමක් පවතී
දැයි විදර්ශනා නුවණින් විමසා බලන්න. සරල ලෙසින් සිතා බලන්න, හිසේ ඇති කෙස් ගසක, ඇස්
පිහාටුවක, රෝම කූපයක තරම්වත් සැබෑ අයිතියක් මගේ යැයි පවසන මේ ශරීරයෙහි නැහැ නේද?.
ඔබ දිනකට කොපමණ වාරයක් කවා, පොවා, නාවා, සරසා, කැඩපත, සමීපයේ මේ ශරීරයේ හැඩ බලන්නේ
ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර මහා භූතයන් ගේ නිර්මාණය වූ මේ ශරීරය පඨවි ආදී
ධාතු කොටස් විසිරී යෑමෙන් ලෙඩ වෙයි. දිරා ගෙන යයි. ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් දුබල
වෙයි. මුළු ශරීරය ම දුබල වෙයි. හේතූන් නිසා හටගත් ඵලය හේතූන් නැතිව යන විට නැතිව
යයි. යමක් හටගන්නා සුළු ද ඒ හැම නැසෙන සුළු ය.
සම්මුතියෙහි අපගේ ජීවිත නිවැරැදි ව සහ සතුටින් ගත කළ හැකි අතර පරමාර්ථ ධර්ම
අවබෝධයෙන් ‘අත්හැරීම ද‘ පුරුදු කළ හැකි ය. ඒ වගේ ම සම්මුතියෙහි පවත්වන,
කම්කටොළුවලින් පිරි සාමාන්‍ය අශ්‍රැතවත්, පෘථග්ජන ජීවිතවල බොහෝ දුක් දොම්නස්වලට
හේතුව මිල මුදල් හිඟ පාඩුව ම නොවේ. එය ද එක් හේතුවක් විය හැකියි. නමුත් බොහෝ කෙනෙක්
දුක් විඳීන්නේ අභාවිත සිත් නිසා ය. එනම් පරමාර්ථ ධර්මය තරමකින් හෝ පුරුදු නො
කිරීමෙන් මේ සංස්කාර ලෝකයේ දැඩි ආශාවන් හා පටිඝය හෙවත් ගැටීම් ඇති කර ගැනීම නිසා ය.
සම්මුතිය සහ පරමාර්ථය හඳුනා ගන්නා විට මේ ජීවිත පැවැත්ම සන්සුන් වෙයි. මේ වෙනස් වන
ලෝකය තුළ කිසිවක තදින් ඇලෙන්නේ ද, ගැටෙන්නේ ද නැත. බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව
බුදුරජාණන් වහන්සේ දහම් ඇසෙන් දැකීමක් බවට පත්වෙයි.
දීපා පෙරේරා |