ලක්දිව සංඝරාජ පදවිය -
4:
මල්වතු අස්ගිරි
අනුනායක මාහිමිවරුන් ගේ වගකීම්
සංඝ සම්මතය ද ඇතිව රජතුමා විසින් පත් කළ උභය මහා විහාරයීය අනුනායක පදවි ද මහානායක
පදවියට පමණක් දෙවැනි වේ. මෙම පදවි සඳහා සුවිශේෂී වගකීම් සමුදායකි. මහා නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ නොමැති විට මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ මෙහෙවරට
අයත් උපසම්පදා කටයුතුවල නායකත්වය ගැනීම අනුනාහිමිපාණන් වහන්සේට පැවරෙයි.
මල්වතු අස්ගිරි උභය විහාරයේ කාරක සංඝ සභික හිමිවරුන්
2009 වසරේදී... |
උපසම්පදා පුණ්‍යකර්මවල උපසම්පදාපේක්ෂකයා ගේ දැනුම පරීක්ෂා කරනු පිණිස පාඩම් ඇසීම
සිදු කරන්නේ අනුනාහිමිපාණන් වහන්සේ විසිනි. ජාතික උත්සව, විහාරස්ථානවල ආගමික කටයුතු
ඇතුළු කටයුතු සිදු වන්නේ ද අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගේ මූලිකත්වයෙනි.
මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක අපවත් වූ පසු දළදා කරඬුවේ රන් යතුර සුරක්ෂිත
කිරීම, අපවත්වීම පිළිබඳ අනෙක් මහාවිහාරය සහ රජය වෙත දැනුම් දීම, ආදාහන කටයුතු
සිදුකිරීම, අභිනව මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක පත් කිරීම ඇතුළු කටයුතු
අනුනායක හිමියන් ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙයි.
මුල් වකවානුවේ අස්ගිරි මහා විහාරයේ ග්‍රන්ථ ධූරය වෙනුවෙන් අනුනායක ධුර දෙකක් සහ
විදර්ශනා ධුරය වෙනුවෙන් එක් අනුනායක ධුරයක් වශයෙන් අනුනායක ධුර තුනක් පැවතුණ ද පසු
කාලය වන විට එක් අනුනායක ධූරයක් පමණක් ඉතිරි වී පැවතුණි. වර්ෂ 1815 මාර්තු දෙවැනි
දින මහනුවර මඟුල් මඩුවේ දී මුළු ලංකාව ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීම
සංකේතවත් කරමින් උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ගිවිසුම අත්සන් කිරීමට
ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය ධජය එසවූ අවස්ථාවේ එම ධජය පහත හෙළන ලද්දේ අස්ගිරි මහා
විහාරයේ අනුනායක පදවිය හෙබ වූ වාරියපොල සුමංගල අනු නාහිමිපාණන් වහන්සේ විසිනි.
දළදා වහන්සේ ගේ හිමිකරු රටේ රජු යන විශ්වාසය නිසා වර්ෂ 1818 නිදහස් සටන ආරම්භ වන
අවස්ථාවේ දී නිදහස් සටන මෙහෙය වූ නායකයන්ට මහජන පක්ෂපාතීත්වය ලබා ගැනීම වෙනුවෙන්
දළදා වහන්සේ හිමි කොට ගැනීමට අවශ්‍ය විය. දළදා මැදුරේ තේවා කටයුතු සිදු කළ වාරියපොල
සුමංගල අනුනායක හිමියන් දළදා වහන්සේ රහසිගත ව පිටතට වැඩමවා මොණරවිල කැප්පෙටිපොල
නිළමේතුමන් ප්‍රමුඛ නිදහස් සටනේ නායකයන් වෙත දළදා වහන්සේ භාර කොට මාතලේ වනගත ව
සැඟවී සිටිමින් සිවුරේ නුවාවෙහි දළදා වහන්සේ සඟවා ගෙන අප්‍රමාණ දුෂ්කරතා මධ්‍යයේ
රැක ගනිමින් සිටිද්දී සුමංගල අනුනාහිමියන් ඉංග්‍රීසීන්ගේ අත්තඩංගුවට පත්ව යාපනය
බන්ධනාගාරයේ සිරගත කරවන ලදි. මෙම අවස්ථාවේ දි අස්ගිරි විහාරයේ එක් අනුනායක පදවියක්
පුරප්පාඩු වී යැයි සලකනු ලබන අතර, මෙයින් පසු කිසිදු හිමිනමක් එම අනුනායක පදවිය භාර
ගැනීමට අපේක්ෂා නොකළ හෙයින් අනුනායක පදවිය අභාවයට ගොස් ඇත.
සියවස් ගණනාවකට පසු අස්ගිරි මහා විහාරයේ දෙවන අනුනායක
පදවිය යලි පිහිටුවීමේ අවස්ථාවෙන්... |
එමෙන්ම 1849 වසරේ උඩුමුල්ලේ රතනජෝති අනුනාහිමියන් මහානායක පදවියට පත් වූ අවස්ථාවේ
පුරප්පාඩු වූ අනුනායක පදවිය වෙනුවෙන් ද කිසිදු හිමිනමක් පත් නොවූ බැවින් එම අනුනායක
පදවිය ද අහෝසි වූ බව සඳහන් වෙයි.
මේ අනුව වර්ෂ 1850 පමණ කාලයේ සිට අස්ගිරි මහා විහාරයට පැවතියේ එක් අනුනායක පදවියක්
පමණි. දිගු කලක් අස්ගිරි මහා විහාරයේ සිදු වූ සාකච්ඡාවන්හි ප්‍රතිඵල වශයෙන් වර්ෂ
2015 දී ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මහා නායක පදවියට පත්
වූ අවස්ථාවේ දී රාජුපස්ථානීය පරමධම්මසභා නම් වූ අස්ගිරි මහා විහාරයේ විංශත් වර්ගික
කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් එම මහා නාහිමියන් එතෙක් හොබවන ලද අනුනායක පදවිය
වෙනුවෙන් වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, දිගු කලක් අහෝසි වී පැවති
දෙවන අනුනායක පදවිය යළි පිහිටුවා ඒ වෙනුවෙන් වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන්
වහන්සේ ද පත් කොට වදාළ බැවින් වර්තමානයේ අස්ගිරි මහා විහාරයේ අනුනායක පදවි දෙකක්
පවතී.
නායක පදවියක් දැරීමට තරම් ශක්තියක් නොමැති වූ අවස්ථාවන් හි දී එම පදවි ඉසිලු
ස්වාමින්ද්‍රයන් වහන්සේලා පදවියෙන් ඉවත් වූ අවස්ථා හමුවෙයි. මල්වතු විහාරයේ ප්‍රථම
මහානායක ව වැඩ සිටි තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගෙන් පසු මහා නායක පදවියට
පත් මැදවල ආනන්ද මහා නායක හිමියන් වයෝවෘද්ධභාවයට පත්ව සිටි බැවින්, සංඝරාජ හිමියන්
ගේ අනුමැතිය ලබා පදවියෙන් ඉල්ලා අස් වු බව සඳහන් වෙයි.
ශාසනික වශයෙන් කවර උත්තරීතර පදවියක් දැරුව ද මෙම තෙරවරුන් ද රාජ නීතියට යටත්ව ම
විසූ බව හෙළිදරව් වන අවස්ථා ඇත. මල්වතු මහා විහාරයීය පෝයගෙට පැමිණෙන කීර්ති ශ්‍රී
රාජසිංහ රජතුමා එහි දී ඝාතනය කරවීමට සිදු කළ කුමන්ත්‍රණයක් සැළවීමෙන් සංඝරාජයන්
වහන්සේ ලග්ගලට පිටුවහල් කළ බව ද, තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත හිමියන් වෙත ද දඬුවම්
පැමිණ වූ බව සඳහන් වෙයි. ප්‍රසිද්ධියේ ම කිසිදු බියකින් තොරව රජු විවේචනය කළ නිසා
මල්වතු විහාරයේ අනුනායක පදවිය දැරූ පරණතලේ අනුනාහිමියන්ගේ හිස ගසා අපවත් කරවූ බව
සඳහන් වෙයි. ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමට පෙර ද වැලිවිට සරණංකර හිමියන් පැවිදි කරවූ
සූරියගොඩ සිල්වතුන්ගේ හිස් ගසා දැමූ බවත්, අවස්ථා කිහිපයක දී නරේන්ද්‍රසිංහ රජු ගේ
උදහසට වැලිවිට සරණංකර හිමියන් භාජනය වූ බවටත් තොරතුරු හමුවෙයි. සංඝරාජයන් වහන්සේට
අකමැති වූ භික්ෂූන් වහන්සේලා දහම විකෘති කොට ජනතාව නොමඟ යැවූ බවත්, රජු විසින්
විනිශ්චය කොට සීතාවක සහ මොරවක විසූ දෙතිසක් සංඝයා වහන්සේලා යාපනයට පිටුවහල් කළ බවත්
සඳහන් වෙයි. ලන්දේසි ආණ්ඩුවෙන් ද තාන්න මාන්න ලැබීම නිසා සිංහල රජතුමා කරතොට
ධර්මාරාම හිමියන් කෙරෙහි උදහස් වූ බවත්, කෙස් රැවුල් කැපීම පවා තහනම් කොට නිවාස
අඩස්සියට පැමිණ වූ බවත් කියැවේ.
මෙම ලිපියේ ඉතිරි කොටස බුදුසරණ බිනර පුර පසළොස්වක පෝදා
(සැප්: 20) පත්‍රයේ පළවේ. |