[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ගම්මැදගම ඤාණිස්සර නාහිමි

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ ,මාතර මහ දිසාවේ අධිකරණ සංඝ නායක , රොටුඹ පෙත්මඟ පුරාණ රාජ මහා විහාරය, දෙන්කන්දළිය බෝධිරාජාරාමය. තල්ගස්තැන්න මගධ විහාරය යන විහාරත්‍රයාධිපති, විශ්‍රාමික විදුහල්පති, ශ්‍රාස්ත්‍රපති ,සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසාරාභිධාන , ගම්මැදගම ඤාණිස්සර නාහිමිපාණෝ පසුගිය 31 න දින අලුයම් කාලයේ දී මාතර මහ රෝහලේ දී අපවත් වූ සේක.

අපවත්වන විට 68 වන වයස් පිරිපුන් උන්වහන්සේ කලක් රෝගාතුර ව ප්‍රතිකාර ලබමින් සිටියහ.

මාතර දෙයියන්දර ගම්මැදගම ග්‍රාමයේ වැදගත් කුල පරම්පරාවකට හිමිකම් කියමින්,හේනෙගෙදර විසූ මුණසිංගේ සර්දියස් මහතා ගේ සහ මුණසිංහ ආරච්චිගේ කවනිහාමි මාතාව ගේ සිව්වන දරුවා ලෙස,1953 වසරේ මාර්තු මස 15 වැනි දින ජනිත වූ මෙම පින්වත් කුලකුමරුවා, මුණසිංහගේ කුලරත්න නම් විය. සහෝදරියන් දෙදෙනකු ගේ ත්, සහෝදරයන් හය දෙනකු ගේ ත් සෙනෙහස ලබමින් ළමා කාලය ගෙවමින්, ගම්මැදගම කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික සිප් සතර හැදෑරීය. ආගම දහම ගැන ඇති වූ නොතිත් ආසාව නිසා , රොටුඹ පෙත්මග පුරාණ රාජ මහා විහාරයේ විහාරාධිපති, රොටුඹ පඤ්ඤාසාර හිමිපාණන් ගේ ආචාර්‍ය උපාධ්‍යායත්වයෙන්, 1968 වසරේ පෙබරවාරි මස 15 වැනි දින ප්‍රවෘජා භූමියට ඇතුළත් වූ හ.

දහම් අධ්‍යාපනය සදහා ඌරුබොක්ක ශ්‍රී මේධංකර පිරිවෙනෙහි ආරම්භක පළමු ශිෂ්‍යයා ලෙස ඇතුළත් ව, ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ පසුව සපුගොඩ විද්‍යාණිකේත පිරිවෙනෙන් පිරිවෙන් අධ්‍යාපනය නිමා කරන ලදී. 1974 වසරේ ජුනි මස 8 වැනි දින මහනුවර සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මංගල උපෝෂතාගාරයේ දී ,රොටුඹ පඤ්ඤාසාර හිමියන් ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ලෙස අධිශිල සංඛ්‍යාත උපසම්පදා ශිලයට පත් වූ හ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සහ අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලැබූ උන්වහන්සේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය පිළිබද පශ්චාත් ඩිප්ලෝමාවක් ද ලබා ගත්හ.

කොළඹ රාජගිරිය නාවල ආනන්ද විද්‍යාලයේ ආචාර්ය වරයකු ලෙස රජයේ ගුරු සේවයට එක්ව ඉන්පසු ව , මාතර නාරන්දෙණිය මහා විද්‍යාලයේ උප විදුහල්පති ලෙසත්, විදුහල්පති ලෙසත් සේවය කර ඉසිඹු ලැබූහ.

1991 වසරේ දී රොටුඹ පෙත්මග පුරාණ රාජ මහා විහාරාධිපති හිමියන් ගේ අපවත් වීමෙන් පසුව, විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ, රොටුඹ හා තදාසන්න ගම්වරයන්ට දහම් ප්‍රඥාව ලබා දෙමින් සාසනික මෙහෙවර ඉටු කරමින් සිටිය දී 2014 වර්ෂයේ මාර්තු මස ,මල්වතු පාර්ශවයේ ගරුතර මහා කාරක සංඝ සභාව විසින් මාතර මහ දිසාවේ අධිකරණ සංඝනායක ධූරය උන්වහන්සේට පිරිනමමින් අක්තපත්‍ර ප්‍රදානය කර තිබේ.

ශ්‍රී දන්තධාතූන් වහන්සේට පවත්වන උපහාර පූජාවක් ලෙස, රොටුඹ පෙත්මග පුරාණ රාජ මහා විහාරස්ථානය මඟින් ශ්‍රී දළදා සමිඳුන්ට පූජෝපහාර සඳහා වූ ඇසළ මහා දළදා පෙරහර වර්ෂ 16 පුරා පවත්වා ගෙන ඒමට උන්වහන්සේ පියවර ගැනීම පළාත් වාසීන් ගේ නොමද අගැයීමට බඳුන්විය.

කලකට පෙර රෝගාතුර වූ උන්වහන්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී වදාළහ.

සම්බුදු සසුන ඒකාලෝක කරමින් ආගමික, සංස්කෘතික සහ සංවර්ධනාත්මක වූ යුග මෙහෙවරක් කළ සංඝ පීතෘවරයකු වූ මාතර මහ දිසාවේ අධිකරණ සංඝ නායක, පඤ්ඤාසාරාභිධාන පූජ්‍ය ගම්මැදගම ඤාණිස්සර මහ නාහිමිපාණන් වහන්සේට අජරාමර අමාමහ නිවන් සුව පතමු.!

බිනර පුර අටවක

  සැප්තැම්බර් 13 සඳුදා අ.භා 15.11 පුර අටවක ලබා 14 අඟහරුවාදා අ.භා 13.09 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]