[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලක්දිව සංඝරාජ පදවිය - 3: මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ වගකීම්

ලක්දිව සංඝරාජ පදවිය - 3:

මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ වගකීම්


මල්වතු මහා විහාරයේ උපෝෂථාගාරය ඇතුළත

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් සංඝරාජ පදවිය පත් කළ අවස්ථාවේ දී ම මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහා නායක පදවි ආරම්භ කෙරිණි. මෙම පදවි ඉතා වැදගත් වන්නේ මහා විහාර දෙකෙහි චිරස්ථිතිය හා මේවා අතර සම්බන්ධතාවය ඇති වූ නිසා ය. ශාසනික වශයෙන් ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික භික්ෂු පරපුර ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර, වත් පිළිවෙත් යනාදිය ආරක්ෂා කර ගැනීමේ වගකීම මෙම උත්තරීතර පදවියට පැවරුණි. ශ්‍රී දළදා සමිඳුන් ආරක්ෂා කොට ගෙන පුද පූජාදිය පවත්වාගෙන යාමත්, අවශේෂ පෞරාණික සිද්ධස්ථාන සහ සියලු සිද්ධස්ථානයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳ වගකීමත් මහානායක පදවියට පැවරී තිබේ. එමෙන් ම ජාතික ඉතිහාසයෙහි ඓතිහාසික සම්බන්ධතාවය මූර්තිමත් කෙරෙමින් වර්තමානයෙහි වුව ද සිංහල ජාතියෙහි අති පූජනීය අනුශාසකයාණෝ මහා නාහිමියෝ වෙති.

මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය සතු බලතල රාශියකි. මහනුවර උපෝෂිත සහ පුෂ්පාරාම විහාරද්වයෙහි විහාරාධිපතීත්වය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හොබවති. රටේ වැඩිම විහාරස්ථාන සහ භික්ෂුන් වහන්සේ අයත් වනුයේ ද මල්වතු මහාවිහාර පාර්ශ්වයට ය. එසේ ම ස්‍යාමෝපසම්පදාවෙන් පසු උපසම්පදාව පිහිටුවූ ස්ථානය වීම, සියම් නිකායේ අනෙක් පාර්ශ්වයන් මල්වතු මහා විහාරයේ උපසම්පදාව ලද භික්ෂූන් වහන්සේලා විසින් පිහිටුවිම, අමරපුර රාමඤ්ඤ දෙනිකාය පිහිටුවීමට මුල් වූ හිමිවරුන් ද මල්වතු මහා විහාරය ඇසුරින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට පැවිදි උපසම්පදා ලද හිමිවරුන් ගේ සිසුන් වීම වැනි හේතු මත ලක්දිව අත්‍යන්ත සංඝ මූලස්ථානය මල්වතු මහා විහාරය ලෙස හඳුන්වා දිය හැකි ය.

අනුරාධපුර අටමස්ථානය, කැලණිය, ශ්‍රීපාදස්ථානය, දීඝවාපිය, තිස්සමහාරාමය, කතරගම, සිතුල්පව්ව, පැල්මඩුල්ල රජමහා විහාරය, රිදී විහාරය, කුණ්ඩසාලේ, තොටගමුව ඇතුළු විහාරස්ථාන රාශියක් මල්වතු පාර්ශ්වයට අයත් ය. විද්‍යොදය, විද්‍යාලංකාර දෙපිරුවන් ආරම්භ කොට පෙරදිග මහා තක්ෂිලාවන් බවට පමුණුවන ලද්දේ ද මල්වතු පාර්ශ්වයේ මාහිමිපාණන් වහන්සේලා විසිනි.

මල්වතු මහා විහාරයේ උපසම්පදා පිහිටු වූ පසු මද කලකින් ම සියම් ජාතික තෙරවරුන් අස්ගිරි මහා විහාරයේ ද උපසම්පදා කටයුතු ආරම්භ කොට ඇත. අස්ගිරි විජයසුන්දරාරාමයේ සහ ගෙඩිගේ විහාරයේ උපසම්පදා කටයුතු සිදු කොට විසිවන සියවස මැද භාගයේ දී වර්තමාන අස්ගිරි මහා විහාරයේ වර්තමාන උපසම්පදා කටයුතු සිදු වන මංගලෝපෝෂථාගාරය තනවා ඇත.

මහියංගනය, මුතියංගනය, දඹදෙණිය, මාතලේ අලු විහාරය, සුදුහුම්පොළ, ඇත්කඳ විහාරය, පොළොන්නරු සොළොස්මස්ථානය, දඹුලු රජමහා විහාරය ආදී ප්‍රධාන සිද්ධස්ථාන ඇතුළු විහාරස්ථාන අස්ගිරි පාර්ශ්වයට අයත් ය.

වාර්ෂික උපසම්පදා කටයුතුවල ප්‍රධානත්වය ගැනීම, විහාරයීය කාරක සංඝ සභාවන් හි කටයුතු මෙහෙයවීම, විහාරාධිපති තනතුරු, නායක පදවි පත් කිරීම, විහාරාරාම සහ භික්ෂූන් වහන්සේලා පිළිබඳ ආරවුල් විසඳීමේ අවසන් තීරකත්වය ගැනීම, දළදා කරඬුවේ ස්වර්ණමය යතුරු භාරකාරත්වය දරමින් දළදා මාලිගාවේ විහාරාධිපතීත්වය හෙබවීම මල්වතු අස්ගිරි මහානායක පදවිවලට පැවරුණු සුවිශේෂී වගකීම් සමුදාය අතර වෙයි.

මෙම ලිපියේ ඉතිරි කොටස බුදුසරණ බිනර පුර අටවක පෝදා (සැප්: 13) පත්‍රයේ පළවේ.

නිකිණි අමාවක

  සැප්තැම්බර් 06 සඳුදා පූ.භා 07.38 අමාවක ලබා 07 අඟහරුවාදා පූ.භා 06.21 ගෙවේ සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]