නිකිණි අමාවක 2021.09.06
රැකවරණය ඇති තැන...
ජීවිතයේ දුක් කරදර, විපත් පැමිණෙන්නේ නොසිතූ ලෙසට ය. මෑත කාලීන ඉතිහාසය දෙස ආපස්සට
හැරී බැලුවේ නම් අඩ සියවසක කාලය පුරා අප මොන තරම් අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දී
තිබෙනවා ද?
වර්තමානයේ මුහුණ දී තිබෙන අභාග්‍ය සම්පන්න වසංගත රෝග ව්‍යසනය ම මොන තරම් පීඩාකාරී
ද? එසේ වූ වා යැයි කළකිරීමට පත් ව ජීවිතයෙන් මඟ හැර යන්නට නොහැකි ය. සැපයට සේ ම
දුකට ද මුහුණ දෙන්නට සිදු වන බව බෞද්ධයන් වන අපට අමුතුවෙන් කියා දිය යුතු නැත.
අවශ්‍ය වන්නේ ඕනෑම අවස්ථාවකට නොසැලී මුහුණ දීමේ හැකියාව ඇති කර ගැනීම ය. ඒ සඳහා පෙර
සූදානම ය.
විශේෂයෙන් මෙම උවදුරත් සමඟ අප ආර්ථික ම ය වශයෙන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා විය
හැකි ය. සරල ව, සැහැල්ලුවෙන්, ලද දෙයින් සෑහීමකට පත් ව ජීවත් වන්නට හුරු පුරුදු වී
සිටියා නම් මෙවැනි දුෂ්කර අවස්ථා වුව ද සැනසීමෙන් ගෙවා දමන්නට ඉඩ තිබුණි. බොහෝ
දෙනකු අසහනයට පත් ව සිටින්නේ එවැනි තැනකට සිත පුරුදු නොකළ නිසා ය. අනෙක් අතට ආර්ථික
කළමණාකරණයක් නොමැතිකම ය. සරල ව කියනවා නම්, හම්බ කරන දේ නිසි ලෙස වියදම් නොකිරීම ය.
බොහෝ දෙනෙක් පවසන්නේ හම්බ කරන සොච්චමෙන් එදිනෙදා ආහාර වේලවත් පිරිමසා ගන්නට බැරි බව
ය. එහි වරද වියදම් කරන ක්‍රමයේ ය. ඉවසීමෙන්, සිතා බැලුවේ නම් අප බොහෝ වියදම් කොට
ඇත්තේ අවශ්‍ය යැයි සිතා අනවශ්‍ය දේ ට ය. එක්කෝ අනුන් කරන දේ කරන්නට ය. එසේත් නැති
නම් ලෝකයට පෙනෙන්නට ජීවත් වන්නට ය.
ජීවිතයෙන් ම අපට පාඩම් ඉගෙන ගත හැකි ය. මෙතෙක් ආ ගමන් මඟ දැන් හෝ වෙනස් කර ගත යුතු
ව ඇති බව පැහැදිලි ය. අප ගේ තේරීම අනවශ්‍ය දේ නොවුණොත්, අවශ්‍ය දේ ද නොවුණොත්,
අත්‍යවශ්‍ය දේ පමණක් වුව හොත් එතැන සුරක්ෂිත වන්නේ ආර්ථිකය පමණක් නොවේ. අනාගතයට
මුහුණ දීමේ සැහැල්ලුව යි.
දියුණුව ළඟා කර ගත හැකි සහනශීලී ආර්ථික සැලසුම් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපට
හඳුන්වා දී තිබේ. උපයන ප්‍රමාණය කොපමණ ද, එය කොටස් හතරකට බෙදා එදිනෙදා පරිබෝජනයට ගත
යුතු ඉන් එක් කොටසක් පමණි. කොටස් දෙකක් ජීවනෝපාය ක්‍රමවේදයේ දියුණුව සඳහා ය. අනෙක්
කොටස හදිසියක දී, ලෙඩක දී , කරදරයක දී ගැනීමට ය.
එදිනෙදා වියදම් අතර ඉතිරියක් ගැන කවර කතාදැ යි කෙනකුට සිතීම අසාධාරණ නොවේ. එහෙත්
අසීරුවෙන් හෝ එතැනට යා යුතු ම ය. ඉතා දුෂ්කර වුව ද ඒ අත්හදා බැලීම තුළ මාස
කිහිපයකින් තමන් ගේ ආර්ථිකය ගැන විශ්වාසයක් ගොඩනැඟීම අසීරු නොවේ.
මේ සඳහා අවශ්‍ය ස්ථිර අධිෂ්ඨානයක් හා ඕනෑකම යි.
එමෙන් ම ඇතැම් කෙනෙක් පුරුදු වී සිටින්නේ තමන් මුහුණ දෙන දුෂ්කරතාවන්ට වග කිව යුතු
අන් අය බව ය. චෝදනා, දෝෂාරෝපණ නො අඩු එහෙයිනි. එහෙත් තමන්ට පිහිට තමන් ම ය. තමන් ගේ
ආරක්ෂාව සලසා ගත යුතු තමන් ම ය. කිසිවකුට චෝදනා කළ පමණින් යමකුගේ අඩුපාඩු සම්පූර්ණ
වන්නේ නැත. සුවදායී ජීවිතයක් ගොඩනඟා ගැනීමේ මඟ අප ගේ ශාස්තෘන් වහන්සේ අපට දේශනා කොට
තිබේ. ඒ ගමන් මඟ ධර්මානුකූල ය. දෙලොවට ම වැඩ දායක ය. |