අටුවා රස කතා:
පේෂකාර තරුණියකට වසඟ වූ
සාමණේර නමක් මුහුණ දුන් ඉරණම
අත්තුඩාවේ
සිරි රාහුල මහ නා හිමි
පිටිසර වැසි රහත් තෙර නමක් මහා සෑයත්, මහා බෝධියත් වැඳීම සඳහා අතවැසි වු තෙර නමක්
සමඟ අනුරාධපුරයට ගියහ. සන්ධ්‍යා කාලයේ බොහෝ දෙනා වන්දනාව කරන හෙයින් ටික වේලාවක්
නතර වී සිට ඔවුන් ගිය පසු සාමණේර නමටත් නො දන්වා හුදකලාව තෙරණුවෝ ගියහ. සාමණේර නම
මෙය දැක “මහතෙර තම අවේලාවේ කොහි යන්නේ දැයි” දැන ගැනීම සඳහා එතුමන්ට නොදැනෙන්නට
උන්වහන්සේ පසු පස්සේ ගියේ ය.
තෙරණුවෝ දකුණු දොරටුවෙන් සෑ මලුවට ඇතුල්ව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව සෑය
වඳීන්නට පටන් ගත්හ. උන්වහන්සේ ඉතා බැතිබරව වඳීන බව දැක “මල් ලදහොත් පුදන්නට කැමැති
වේයි” සිතුවේ ය. තෙරුන් වහන්සේ සෑය වැඳ නැඟිට දොහොත් මුදුන් තබා ගෙන සිටින විට
සාමණේර නම උගුර පාදා තමා එහි සිටින බව ඇඟවී ය.
ඔහු දුටු තෙරණුවන් “ඔබ මෙහි කොයිවේලේ පැමිණයේදැයි” ඇසූ විට
“ඔබ වහන්සේ සෑය වඳීද්දීම” යැයි කියා
“ස්වාමීන් වහන්ස, මල් ලැබුණොත් පූජා කරන්නේදැයි” ඇසීය.
“ආයුෂ්මතුනි, මෙවැනි අසදෘශ සෑයකට ලැබුණොත් මල් නොපුදන්නේ කවරෙක්දැයි?” කී විට
සාමණේරයෝ සෘද්ධියෙන් හිමවතට ගොස් සුවඳීන් හා පැහැයෙන් යුත් මල් පෙරහනක් ගෙනවුත්
පළිගැන්වූහ. තෙරණුවෝ “මල් ඉතා ටික නොවේදැයි” කියා බටහිර පැත්තේ පියගැට පෙළින් උඩට
නැඟ මල් පුදන්නට පටන් ගත්හ.
පළමු පේසාව පිරී පහතට මල් වැටිණ. ඉක්බිති සෑම තැනම මල් විසූරුවමින් හැසුරුණ හ.
එතරම් විශාල මලුව මලින් පිරුණ නමුත් “සාමණේරය, මල් අවසන් නොවේයැයි” තලතුනා තෙරනම
පැවසූහ.
“පෙරහන යටිකුරු කොට හලනු මැනවයි” කීහ.
එවිට මල් අවසන් විය.
තෙරණුවෝ පෙරහන සාමණේරයනට දී ඇත් පවුර සමඟ සෑය තෙවරක් පැදකුණු කොට හැරී යන්නේ මේ
හෙරණ තෙමේ මහත් සෘද්ධි ඇත්තේ ය. එහෙත් මෙය රැක ගන්නට හැකි වන්නේ දැයි” දිවැසින්
බලන්නේ නොහැකි බව දුටුවාහ.
“සාමණේරය, ඔබ දැන් මහත් සෘද්ධි ඇත්තෙකි. අනාගතයේ මේ සෘද්ධිය නසා ගෙන එකැස් කණ වූ
පෙහෙර ස්ත්‍රියක අතින් මඩනා ලද කැඳ බොන්නෙහි“ යැයි කීවාහු ය.
“සාමණේර නම ඒ කියමන ගණනකට නොගත්තේ ය. තෙරණුවෝ කුටෙලී තිස්ස විහාරයට ගියෝය.
“සාමණේර නම තෙරණුවන් පිඬු පිණිස යනවිට උන්වහන්සේ පසුපස නොගොස්
“ස්වාමිනි, කවර ගමකට වඩිනා සේක්දැයි” විචාරා අසවල් ගමට යැයි කීවිට උන්වහන්සේ එහි
පිටත්කර යවා තෙමේ පසුව අහසින් ගොස් ගම්දොර සමීපයේ දී තෙරුන් වහන්සේ ගේ පා සිවුරු
දුන්හ.
“තෙරණුවෝ සාමණේරය, පෘථග්ජන සෘද්ධිය ඉතා දුර්වල යි. විරුද්ධ අරමුණක් දැකීමෙන් බිඳීය
හැකියි. එබැවින් අප්‍රමාදවව්”යයි අවවාද කළහ.
එහෙත් ඒ අවවාදය පිළිගත්තේ සාමණේර නම නොවේ. තෙරණුවෝ චෛත්‍ය වන්දනා කරමින් කබුපෙලන්ද
විහාරයට වැඩියහ. එහි වෙසෙද්දී ද සාමණේරයෝ අහසින් ගියහ.
දිනක් රූමත් පේෂකාර තරුණියක් ගම අසල විලකට බැස මියුරු සරින් ගීයක් ගයමින් නෙළුම්
මල් නෙළුවා ය. සාමණේර විල මත්තෙහි අහසින් යන්නේ ඇයගේ ගීත ස්වරයෙහි බැ¼දී සමවතින්
පිරිහී පියාපත් සි¼දී ගිය කපුටකු මෙන් අහසින් වැටුණේ ය.
බි¼දී ගිය සමාපත්තියේ බලයෙන් ජලයෙහි නොවැටී විල් ඉවුරට පාත් විය. හෙතෙම වේගයෙන් දුව
ගොස් උපාධ්‍යාය තෙරණුවන්ට පා සිවුරු දී නැවතිණි. තෙරණුවන් තව දුරටත් අවවාද කළ නමුත්
නතර කර ලිය නොහැකි විය. හෙරණ විල් ඉවුරට ගොස් තරුණිය ගොඩට එනතුරු බලා සිටියේ ය.
සාමණේර නම අහසින් ගිය බවත් නැවත අවුත් සිටින බවත් දුටු තරුණිය “සාමණේරයිනි, ඉවත්
වෙවයි” කීවා ය.
ඔහු ඉවත් වූ කල ගොඩට නැඟ වස්ත්‍ර හැඳගෙන අවුත්
“ස්වාමිනි, කුමක් නිසා මෙහි සිටින්නේ දැයි” ඕ ඇසුවා ය. හෙරණ තම අදහස කී විට ඕ තොමෝ
නොයෙක් ලෙසින් කරුණු කීවා ය. එහෙත් ඔහුගේ අදහස වෙනස් කරගන්නට පිළිවන්කමක් නො වීය.
ඕතොමෝ තම නිවසට ගොස් දෙමාපියන්ට මේ බව කීවා ය. දෙමාපියෝ එතැනට පැමිණියහ. ඔිව්හු ද
ඔහුට අවවාද කළහ. කිසිම අදහසක් පිළිගැනීමට ඔහු කැමති නොවී ය.
අවසානයේ දී ඔවුහු මෙසේ ද පැවසූහ. “අපි පේෂකාරයෝ වෙමු. අප කර්මාන්තය ඔබට කළ
හැකිදැයි” විමසූහ.
“ගිහිවූයේ නම් පේෂ කර්මාන්තය හෝ කුළු පොතු කර්මාන්තය හෝ කරන්නේ ය. මට ඇඳ ගැනීමට
වස්ත්‍රයක් දීමට තරම් තොපි පරිත්‍යාගශීලි නොවන්නහුදැයි” ඇසූ විට පේෂකාරිය තමන් ගේ
ඉණවටා ඔතා තිබුණ වස්ත්‍රය ලිහා දුන්නී ය. එය ඇඳ ගෙන ගොස් දියණිය පාවා ගත්තේ ය.
හෙතෙම රෙදි විවීම ඉගෙනගෙන අන්‍යයන් සමඟ පේෂකර්මාන්තයේ යෙදී සිටියේ ය.
දිනක් අනෙක් කම්කරුවන් ගේ බිරියෝ කල් තියාම ඔවුනට කෑම ගෙනාහ. ඔහුගේ බිරිඳ මෙතෙක්
බත් නොගෙනා බැවින් අනිත් අය වැඩ නතර කොට කෑම කද්දීත් ඔහු කර්මාන්තයේ යෙදී සිටියේ ය.
තම බිරිය පසු වී ආ බැවින් ඇයට තර්ජන කළේ ය. ඕ තොමෝ සැමියා අමතා මෙසේ කීවා ය.
“වෙන අයගේ ගෙවල අවශ්‍ය උපකරණ රැස් කොට තිබේ. පිටතින් ගෙනැවිත් දෙන්නෝ ද සිටිති. මා
තනිවම සියල්ල කළ යුතු ය. ගෙයි මොනවා ඇද්ද නැද්දැයි කිසිවෙක් නොදනිති. ඉදින් කැමති
නම් අනුභව කරන්න. නොකැමැතිනම් නිකම් ඉන්නැයි” ඇය ද කීවා ය.
හීරළුවා “දවල් වී බත ගෙනාවා මදිවාට මට වදනිනුත් අවමන් කරන්නේ යැයි” කියා දමා ගැසිය
යුතු අන් කිසිවක් නැතිව රෙදි වියනා අලුව ගෙන දමා ගැසී ය. එහි තියුණු කොණ ඇසෙහි ඇනී
ඇස තුවාල විය. ලේ වැගිරෙන්නට විය.
එකෙණෙහි ම උපාධ්‍යායන් වහන්සේ “එකැස් කණ පේෂකාර ස්ත්‍රියක් පිසූ කැඳ බොන්නේ යැයි”
පැවැසූ බස සිහිවී උන්වහන්සේ දූරදර්ශී යැයි සිතමින් හඬන්නට පටන් ගත්තේ ය.
එය බලා සිටි අය “පින්වත, දැන් හැඬීමෙන් පලක් නැත. හඬා ඇස ප්‍රකෘතිමත් කළ නොහැකි ය.
හැඬීම නවතා කළයුතු ප්‍රතිකාරයක් කරවයි” ඔවුහු තරවටු කළහ.
“පින්වතුනි මා හඬන්නේ ඇස තුවාල වූ නිසා නොවේ. මාගේ උපාධ්‍යයන් වහන්සේ ගේ අවවාදය
සිහිවීමෙන් හඬමියි” හේ පැවසී ය.
(මැදුම් සඟි අටුවාව) |