නිකිණි පුර අටවක 2021.08.15
ඉවසීම හා සැනසීම
දිනක් සක් දෙවිඳුගේ දේව සභාවෙහි මහා කලබලයක් ඇති විය. ඒ යක්ෂයකු කළ ක්‍රියාවක් නිසා
ය. ඉතා දුර්වර්ණ වූ, මිටි වූ, අප්‍රසන්න පෙනුමැති ඒ යක්ෂයා සක් දෙවිඳුගේ අසුනෙහි
හිඳගෙන සිටියේ ය. කලබල කළෝ, දොස් නැගුවෝ, කෑකෝ ගැසූවෝ ඒ දුටු අනෙකුත් දෙවිවරු ය.
එසේ දොස් නඟත් ම සිදුවූයේ නොසිතූවකි. ඒ යක්ෂයා බැහැර යනවා වෙනුවට ඔහුගේ දුර්වර්ණ බව
දුරුවී බොහෝ ප්‍රසන්නවීමය . බබළන්නට වීමය.
ඒ මොහොතේ සක් දෙවිඳු එහි පැමිණියේ ය. යක්ෂයාගේ ක්‍රියාව දුටුව ද කෝප නොගත්තේ ය.
ඉවසීමෙන් යක්ෂයා අමතා ‘මම සක්දෙවිඳු වෙම්’යි කීවේ ය. තෙවරක් ම එසේ කී කල්හි යක්ෂයා
මුලින් පෙනී සිටි ලෙස ම දුර්වර්ණ වූයේ ය. කුඩා ශරීර ඇති වී නොපෙනී ගියේ ය.
මේ පුංචි කතාව තුළ සැඟවුණු පණිවිඩය විශාලය. මෙහි යක්ෂයා නම් සංකේතයකි. ඒ ක්‍රෝධයේ
සංකේතයයි. එයින් අපට කියන්නේ ක්‍රෝධයෙන් පිරුණු පුද්ගලයා යක්ෂයෙක් වැනි බවය.
දුර්වර්ණ බව ය. අවලස්සන, අප්‍රසන්න බව ය. එහෙත් ඉවසීම ඇති තැන ඒ යක්ෂයාට ඉඩක් නැත.
ක්ෂය වී යන්නේ ය.
ඉවසීම ජීවිතයට පුරුදු පුහුණු කළ යුතු මා හැඟි ගුණාංගයකි. විශේෂයෙන් වත්මන් සමාජ
පරිසරය තුළ අපට බොහෝ දේ ඉවසීමට සිදු ව තිබේ. ඒ කොරෝනා වසංගත රෝගය හමුවේ සාමාන්‍ය
ජීවිතය උඩුයටිකුරු වීම නිසා ය. ඒ තුළ මිනිසුන්ගේ ඉවසීම ටිකෙන් ටික බැහැර වෙමින් යන
නිසා ය. අන්‍යයන්ගේ සුළු වරදක්, පුංචි අඩුපාඩුවක් පවා ඉවසාගත නොහැකි ව ක්‍රෝධ සහගතව
ක්‍රියා කරන්නට බොහෝ දෙනෙක් පෙළඹී තිබේ. ඇතැම් තැනෙක ගෘහස්ථ හිංසන ය. ඇතැම් රැකියා
ස්ථානයන් හි ද අවුල් වියවුල් ය. සමහර පිරිසක් අඩුපාඩු මතු කරමින් ඉල්ලීම් දිනා
ගැනීමට ද නො ඉවසීමෙන් කටයුතු කරනු පෙනේ. ඒ ක්‍රෝධ සහගත බව තුළ ම නිවැරැදි කර ගත
නොහැකි ලෙස වැරැදීම් වන්නට ඇති අවකාශය ඉහළ ය.
ඉවසිය යුතු තැන, ඉවසිය යුතු අවස්ථාවේ ඉවසිය යුතු ම ය.
ආයුධයක් මල බැඳෙන්නේ එහි විනාශය ළඟා වූ විටය. ආයුධයෙහි බැඳී, ආයුධයම විනාශ කරන මල
සේ අපගේ සිතෙහි බැඳී, සිතම විනාශ කරන මල විශේෂයක් වේ. ඒ ඉහතින් දැක්වූ ක්‍රෝධයයි.
වෛරී බවයි. එහි විනාශය මේ ආත්ම බවයෙන් කෙළවර නොවී සංසාරික ව ම පසුපස එයි.
ඉවසීම ටිකෙන් ටික වර්ධනය කිරීම වෛරය දුරු කිරීමේ ප්‍රධානතම මඟ ය. එහිදී ඔවුනොවුන්ට
මෙත් සිත පැතිර වීමට පුරුදු විය යුතුම ය. එක්වරම නොහැකි නම් ටිකෙන් ටික. ක්‍රමයෙන්
එය ප්‍රගුණ කළ යුතු ය. එවිට තමන් ද නොදැනීම, සක් දෙවිදුගේ ඉවසීම මෛත්‍රිය හමුවේ
අප්‍රසන්න යක්ෂයා කුඩා වී නොපෙනී ගියා සේ ක්‍රෝධය නැමැති යක්ෂයා ද ක්ෂය වී යන්නේය.
ලෝක ධර්මතාවන්ට මුහුණ දෙන්නට සිදුවීම ස්වභාව ධර්මයේ නීතියයි. අපගේ උත්සාහය විය යුතු
ඉවසීමෙන් ඊට මුහුණදීමයි. සැනසුම එතැන මිස නොඉවසීමෙන් වෛරයේ ගිනිදැල් දැල්වීම නොවේ. |