නිර්මල බුදු දහමින් පෝෂිත සිංහල බෞද්ධ සංස්කෘතිය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
ලංකාවේ ඓතිහාසික මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ මැද භාගයේ දී අනුබුදු
මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම විසින් බුදුරදුන්ගේ නිර්මල ධර්මය ලක්දිවට
ගෙන එන ලදැයි කියැවේ. මිහිඳු හිමියන් විසින් නිල වශයෙන් බුදුසමය ලංකාවට හඳුන්වාදෙනු
ලැබුවත් ඉන්දියාවට ඉතා ආසන්නයෙන් පිහිටි ලංකාවට ඊට පෙර බුදුරදුන්ගේ පණිවිඩය
ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය.
ලක්දිව පැරැණි ලෙන් ආශ්‍රිත ව බුදුදහම අනුගමනය කළ යෝගීන් පිරිසක් වාසය කරන්නට ඇතැයි
යන මතයක් ද උගතුන් අතර පවතී. ඒ සියල්ල කෙසේ වෙතත් ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රවලට අනුව
මිහිඳු හිමියන් විසින් නිර්මල බුද්ධ වචනය ලක්දිවට හඳුන්වාදීමෙන් අනතුරුව එය මෙරට
විවිධ අංශයන්ගෙන් මුල් බැස ස්ථාවරත්වයට පත්විය. එම ඓතිහාසික අවස්ථාව සිංහල බෞද්ධ
සංස්කෘතියේ ආරම්භය ලෙස නම්කිරීම උචිත ය. මහින්දාගමනයෙන් අනතුරුව මහරහත් සංඝමිත්තා
තෙරණිය විසින් ශ්‍රී මහාබෝධි ශාඛාව ගෙන එනු ලැබීමත් සමඟ ලක්දිව සිංහල බෞද්ධ
සංස්කෘතියෙහි විශේෂ වෙනසක් ඇති විය.
ඉන් අනතුරුව කිත්සිරිමෙවන් රජු සමයෙහි දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අතර එහි ආභාෂය
හේතුවෙන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා සරධර්ම තවදුරටත් පෝෂණය විය. දළදා වහන්සේ
මෙන්ම පාත්‍රා ධාතුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම සකස්වීමෙහිලා බලපෑවේ ය.
සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ලාංකික ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය මෙන්ම තදායත්ත
භාෂා සාහිත්‍ය ද පෝෂණය වීමෙහිලා යට දක්වන ලද ඓතිහාසික සංසිද්ධි හා සංකේත මගින් ලද
අභාෂය ප්‍රමාණ කළ නොහැකි ය.
මහින්දාගමනයට පෙර පැවැති සංස්කෘතිය සාකල්‍යයෙන්ම සිංහල වූවක් වන අතර එය විවිධ ආගමික
ඉගැන්වීම් හා විශ්වාස ආශ්‍රයෙන් සැකසුන එකකැයි යන්න පැහැදිලි කරුණකි. මෙම
සංස්කෘතියෙහි අඩුවැඩි වශයෙන් යහපත් මෙන්ම අයහපත් අංග පැවතී අතර ඇතැම් අංග
සම්බන්ධයෙන් එහි විශේෂ දියුණුවක් පැවති බව පැහැදිලි ය. බුදුහම නිලවශයෙන් මෙරටට
හඳුන්වාදීමත් සමඟම සිංහල සංස්කෘතිය හා සම්බන්ධ අංග බොහෝමයක් කෙරෙහි එහි අභාෂය නොමඳව
ලැබී තිබේ. බුදුසමය රාජ්‍ය ආගම බවට පත්වීමත් සමඟම මෙම ආභාෂය තවදුරටත් තීව්‍ර වී ඇත.
ලංකාවාසී ජනයාගෙන් සාතිශය බහුතරයක් සිංහලයන් වූ අතර ඒ සියල්ලෝම පාහේ පසුව ක්‍රමයෙන්
බෞද්ධයන් බවට පත් වූ අතර ප්‍රධාන හා බහුතර සංස්කෘතිය සිංහල බෞද්ධ එකක් බවට පත්විය.
බුදු දහමේ ආභාෂය ලැබී සිංහල සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියක් බවට පත් වුව ද එහි
ඇතැම් අංග එයට ආවේණික වූ ඒවා ලෙස සැලකිය හැකි ය. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතිය
කවරේදැයි හඳුනාගැනීමේ දී මෙම වෙනස වටහා ගැනීම අවශ්‍ය වේ. මෙම වෙනස හඳුනා ගැනීමට
අපොහෝසත් වීම නිසා බුදුදහමේ අන්තර්ගත මූලික ඉගැන්වීම් හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර
පවතින ඇතැම් විෂමතා පෙන්වීමට ඇතමෙක් උත්සුක වනු දක්නට ලැබේ.
බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් අනතුරුව එය රාජ්‍ය අනුග්‍රහය යටතේ කෙටි කලකින් ම සමස්ත
දිවයිනෙහි ම පැතිර ගියේ ය. ඉන් අනතුරුව එය ක්‍රමයෙන් සිංහල ජනයාගේ ජන ජීවිතය හා
සම්බන්ධ විය. සිංහල බෞද්ධයාගේ ජන ජීවිතය හා සම්බන්ධ ඇදහිලි විශ්වාස සියල්ල
බෞද්ධකරණය වූ අතර ඒ සියල්ල තිසරණය හා ත්‍රිවිධ චෛත්‍යය වටා ගොඩනැඟුණි. ආර්ථිකය
බුදුදහමින් අනුමත දැහැමි ධනෝපාර්ජන ක්‍රම යටතේ සැකසුණ අතර වැවයි දාගැබයි ගමයි
පන්සලයි ආර්ථික සමෘද්ධියයි ධාර්මික විමුක්තියයි එක්තැන් කළේ ය. බුදුදහමේ අන්තර්ගත
දානය ශීලය භාවනාව මූලික කරගත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මෙන්ම දස පින්කිරියවත සිංහල
බෞද්ධයාගේ ආගමික ප්‍රතිපදාව මෙන්ම ලෝකාර්ථචර්යාව ද අර්ථවත් කළේ ය. වනරෝප ආදි සූත්‍ර
මෙන්ම ජාතක පොතෙන් ලද මඟපෙන්වීම අනුව සිංහල බෞද්ධයාගේ පාරිසරික ප්‍රතිපත්තිය
සකස්විය.
එයම මඟ දෙපස රුක් රෝපණය කරමින් පැන් තාලි (පින් තාලි) තබමින් අම්බලම් ඉදිකරමින්
තවදුරටත් ක්‍රියාවට නැංවූහ. ගිලානෝපස්ථානය පිළිබඳ බුද්ධානුශාසනයට සංවේදී වූ
රාජකීයයන් මෙන්ම සාමාන්‍ය ජනයා ද අසරණ රෝගීන්ට පමණක් නොව සතුන්ටද ප්‍රතිකාර කළ බව
මිහින්තලයේ මෙන්ම අභයගිරියේ රෝහල්වල ශේෂවූ නටබුන් වලින් මෙන්ම බුද්ධදාස රජුගේ
චරිතයෙන් ද ප්‍රකට වේ. පංචශීල ප්‍රතිපදාව තම සදාචාරාත්මක ජීවිතයේ පදනම කරගත් සිංහල
බෞද්ධයා හැකි සැම අවස්ථාවකම එයට අනුකූලව ජීවත්වීමට උත්සුක වූ බව පැහැදිලි ය. ප්‍රාණ
ඝාතය හා සත්ව හිංසනය පිලිකුල් කළ සිංහල බෞද්ධ පාලකයෝ මාඝාතය පැනවීමෙන් අභයදාන
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ අයුරු ඓතිහාසික මූලාශ්‍රවල සටහන් වේ.
කෘෂි කර්මාන්තය සඳහා යොදාගත් තම ගවයා කෙරෙහි කාරුණික වූ සිංහල බෞද්ධයෝ ගව මස් අනුභව
කිරීම පිළිකුලෙන් යුතුව බැහැර කළහ. ගව මස් අනුභව කළ පුද්ගලයන් සමාජයෙන් බැහැර කොට
සැලකීමේ පුරුද්දක් පැවති බව ඇතැම් ප්‍රවාදවලින් පැහැදිලි වේ. සුරාව මෙන්ම දුරාචාරය
ද පිළිකුලෙන් යුතුව බැහැර කළහ. සිංහල ජාතිය හා ආගම අතර පැවතී අත්‍යන්ත බැ¼දීම නිසා
අලුත උපන් දරුවන් දළදා වහන්සේට හෝ ශ්‍රී මහාබෝධියට පූජා කොට ආශීර්වාද කිරීම සිංහල
බෞද්ධයන් අතර පැවැති වැදගත් චාරිත්‍රයකි. දානය කෙරෙහි මහත් ලැදියාවක් දැක්වූ සිංහල
බෞද්ධයා භෞතික දේ බෙදා ගැනීම කෙරෙහි පමණක් නොව ශ්‍රමය ඔවුනොවුන් හා බෙදාගත් බව
ශ්‍රමදාන චාරිත්‍රයෙන් පැහැදිලි වේ. සිඟාලෝවාද, මංගල, ව්‍යග්ඝපජ්ජ අදි සූත්‍ර
දේශනාවලින් තම සමාජ ජීවිතය මැනවින් සකසා ගත් සිංහල බෞද්ධයෝ පේතවත්ථු - විමානවත්ථු
ආදි දේශනා අනුව කර්මය හා එයට අනුරූප විපාක පිළිබඳ කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වී
සැම විටම පාපයෙන් හා අකුශල ක්‍රියාවලින් වැළකුණහ.
යථෝක්ත සාර ධර්ම පමණක් නොව සිංහල සාහිත්‍ය ද ක්‍රමයෙන් පෝෂණය වූයේ බුදුදහමේ
ආභාසයෙනි. දහනව වන සියවසේ නූතන සිංහල සාහිත්‍ය හා සම්බන්ධ නිර්මාණ බිහිවන තෙක් මෙරට
රචිත ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති සියල්ල බෞද්ධ සාහිත්‍යයට අයත් වන්නේ ඒවායේ වස්තු
බීජ මෙන්ම අන්තර්ගතය ද බුදුදහමේ එන ඉගැන්වීම්වලින් පෝෂණය වී ඇති හෙයිනි.
සද්ධම්මෝපායනයේ එන දස පුණ්‍යක්‍රියා පසුකලෙක තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් විසින්
සම්පාදිත කාව්‍යසේකරයටද වීදාගම මහා මෛත්‍රීය හිමියන්ගේ ලෝවැඩ සඟරාවට ද වස්තු බීජ
සැපයී ය.
පාලි ජාතකට්ඨ කථාව පදනම්කරගත් පන්සිය පනස් ජාතක පොතේ අන්තර්ගත කථා තේමාකරගත් විශේෂ
සිංහල බෞද්ධ සාහිත්‍යයක් සැකසී තිබේ. මඛාදේව ජාතකය ඇසුරෙන් මුවදෙව්දාවතත් සස ජාතකය
ඇසුරෙන් සසදාවත් වෙස්සන්තර ජාතකය ඇසුරෙන් වෙසතුරු දා කවත් කුස ජාතකය ඇසුරෙන්
කව්සිළුමිණත් සඳකිඳුරු ජාතකය ඇසුරෙන් සඳකිඳුරු දා කවත් ගුත්තිල ජාතකය ඇසුරෙන්
ගුත්තිල කාව්‍යයත් නිර්මාණය වී ඇත. විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණ, ගුරුළුගෝමීන්ගේ
අමාවතුර, වේදේහ හිමියන්ගේ පූජාවලිය ආදි සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍යය ග්‍රන්ථ
රචනා වන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුපමේය වූ ආධ්‍යාත්මික ගුණ පෞරුෂය විවරණය කරමින්ය.
පාලි බණකථා සිංහලට නඟමින් කළ සද්ධර්මාලංකාරය, ධම්මපදට්ඨකථාව ඇසුරෙන් ධර්මසේන
හිමියන් විසින් සම්පාදිත සද්ධර්මරත්නාවලිය හා ජාතකට්ඨකථාව සිංහලට නැඟීමෙන් කළ
පන්සිය පනස් ජාතක පොත පොදුජනයාගේ ආගමික චින්තනය බෞද්ධ සාරධර්ම ඇසුරෙන් පෝෂණය කිරීමට
සමත් වී ඇත. සිංහල බෞද්ධ සාහිත්‍ය පෝෂණය වීමෙහිලා ත්‍රිවිධ චෛත්‍ය මූලිකකරගත් සංකේත
වස්තුබීජ වී ඇති අයුරු සිංහල ථූපවංශය, සිංහල බෝධිවංශය, දළදා පූජාවලිය හා දළදා සිරිත
ආදි ග්‍රන්ථවලින් පැහැදිලි වේ.
ගෞතම බුදුරදුන් වදාළ දහම අනුගමනය කළද තම අවසන් නිෂ්ඨාව වන නිවන මෙතේ බුදුරදුන්
හමුවේ ශාක්‍ෂාත් කිරීමෙහිලා උනන්දුවන සිංහල බෞද්ධයෝ අනාගතවංශ දේශනාව අනුව යමින්
මෙතේ බුදුරදුන් දැකීම පිණිස හේතුවන පින්කම්වල නිරත වීමට උත්සුක වී ඇති අයුරු
අනාගතවංශයෙන් පැහැදිලි වේ. සාහිත්‍ය ග්‍රන්ථ පමණක් නොව සිංහල ජනකවිය ගීතය, සංගීතය,
චිත්‍රකලාව, නාට්‍ය හා නාඩගම්, බලිතොවිල් ශාන්තිකර්ම මෙන්ම කලාව ද මැනවින් පෝෂණය වී
ඇත්තේ බුදුදහමේ අභාසයෙනි. බෞද්ධ කලා ශිල්පවලට අයත් නිර්මාණ සියල්ල මේ සඳහා නිදසුන්
වේ. බෞද්ධ සාහිත්‍ය මගින් ඉදිරිපත් කෙරෙන මිනිස් ජීවිතය හා මිනිස් මනස පිළිබඳ
ගැඹුරු විවරණය නූතන මනෝවිද්‍යාව අභිබවා ඇති අයුරු ජාතක කථා සාහිත්‍යයෙන් අනාවරණය
වේ. මේ සියල්ල සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ නිර්මල ධර්මයේ මෙන් ම
අනුබුදු මිහිඳු හිමියන්ගේ යෝධ සෙවණැල්ල සිංහල බෞද්ධ සංස්කෘතිය වසා පැතිරි ඇති බවයි. |