[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක් සහිත සසරෙන් කෙසේ නිදහස් වෙමුද?

දුක් සහිත සසරෙන් කෙසේ නිදහස් වෙමුද?

එක දිගට අපගේ ජීවිතයට ප්‍රශ්න එනවිට අපට සිතෙන්න පුළුවන්, ‘අනේ මටමයි මේ හැම කරදරයක් ම’ කියලා. එහෙත් එකිනෙකා සමඟ වෙන් වෙන් ව කතාකර බැලූ විට සමාජ‍ය ඉදිරියේ සිනා සී සිටියාට ඒ හැම දෙනාට ම නොයෙක් ආකාරයේ ප්‍රශ්න තිබෙනවා. එකිනෙකාට පෞද්ගලික වූ තමාගේ කතාවක් අභ්‍යන්තරයේ තිබෙනවා.

සංසාරයේ ස්වභාවය නම් දුක් සහිත බව ය. කරදර සහිත බව ය. මනුස්ස ජීවිතය සුගති ලෝකයකි. ඒ සුගති ලෝකයේ ඉපදුණ අප වෙන් වෙන් වශයෙන් අප දෙස බැලුවොත් මේ ගෙවා දැමු ටික කාලයට අප හඬා වැටුණ වාර කොපමණ ද? සුසුම් හෙලූ වාර සිහි කර අවසන් කළ හැකි ද? ප්‍රශ්න නිසා පීඩා විඳී දින ගණනය කළොත්? සුගති ලෝකයේ ම මෙසේ දුක් කන්දරාවක් තිබෙන්නේ නම් ගෙවා ආ සසර ගමන් කොතරම් දුක් කන්දරාවක් විඳින්නට ඇතිද?

ප්‍රේත, තිරිසන්, නිරය ආදී ලෝකවල ඉපදුණොත් එක දිගට ම දුක් කරදර. ඒ ලෝකවල සැප නැත. දුක් සහිත සසරක ඇවිද යන අතර මඟයි අප මේ මිනිස් ලෝකයේ උපත ලැබුවේ.

මිනිස් ලෝකයේ ඉපදුණත් ඒ හැම කෙනාටම වාසනාව නැහැ බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය අසන්න. පින මෝරා ඇති කෙනකුට ඒ ධර්මය ඇසුණොත් තමාගේ ජීවිතයට ප්‍රශ්නයක් එන විට ජීවිතය ගැන සිතන්න පුළුවන් පිළිවෙළක් මුණ ගැසෙනවා.

ඒ වගේම තව කෙනෙක් ධර්මය මුණ ගැසුණ පමණින් සිතුවොත් අපට කායික පීඩා, මානසික පීඩා නැතිව, ආර්ථික ප්‍රශ්න නැතිව, දූ දරුවන්ට කිසිදු අපහසුතාවක් නැතිව සුව සේ අපේ ජීවිත ගලා යා යුතුයි කියා එය අසාධාරණ සිතිවිල්ලක්.

යම් කෙනෙක් මේ ධර්මය පුහුණු කරන අතරේ යම් ප්‍රශ්නයක් ආ විට එයට මුහුණ දෙන ආකාරය සහ සසරෙන් මිදෙන ක්‍රමයකුයි මේ ධර්මය තුළින් අපට මුණ ගැසෙන්නේ.

එක දිගට අපගේ ජීවිතයට ප්‍රශ්න එනවිට අපට සිතෙන්න පුළුවන් අනේ මටමයි මේ හැම කරදරයක් ම කියලා. එහෙත් එකිනෙකා සමඟ වෙන් වෙන්ව කතාකර බැලූ විට සමාජ‍ය ඉදිරියේ සිනා සී සිටියාට ඒ හැම දෙනාටම නොයෙක් ආකාරයේ ප්‍රශ්න තිබෙනවා. එකිනෙකාට පෞද්ගලික වූ තමාගේ කතාවක් මේ අභ්‍යන්තරයේ තිබෙනවා. එසේ නම් අප හැමෝටම පොදු වූ දෙයක් තිබෙනවා. අප කා තුළත් අර්බුද තිබෙනවා.

මේ මනුස්ස ලෝකයේ අප සැපෙන් සිටිනවා. ඒ අටලෝ දහමේ හොඳ පැත්තයි. තවත් විටකදී අප දුකට පත්වෙනවා. ඒ අටලෝ දහමේ නරක පැත්තයි. විටෙක ලාභ ලැබෙනවා. තවත් විටක අලාභ ගෙන දෙනවා. නින්දා ලැබෙනවා. නැවත ප්‍රශංසා එනවා. තව කාලයක දී තමා වටේ පිරිස එක්රොක් වී සිටිනවා. තව කාලයකදී තමා තනි වී අයස ලැබෙනවා. තව අවස්ථාවක දී කායික මානසික දුක් පීඩා එනවා. තව අවස්ථාවක දී සැප සේ සිටිනවා.

මේ සියලු දේ අප හැමගේ ම ජීවිතතුළ අඩු වැඩි වශයෙන් වරින් වර පැමිණ තිබෙනවා. අටලෝ දහමේ දුක් පැත්ත එනවිට අප සිතනවා අනේ ඇයි මට ම මේ තරම් කරදර? මේ කරදරවල ඉවරයක් නැහැනේ කියා. නමුත් අටලෝ දහමේ සැප එද්දී අනේ මටමයි සියලු ලාභ ලැබෙන්නේ. මටමයි ප්‍රශංසා. මා වටේමයි පිරිස සිටින්නේ කියා අප කවුරුත් සිතන්නේ නැහැ. ලාභයෙන්, ප්‍රශංසාවෙන්, යසසින්, සැපයෙන් අප උද්දාමයට පත් වෙනවා. අලාභ එනවිට, නින්දා එනවිට, අයස ලැබෙන විට, දුක් පීඩා එනවිට ඇයි මටම මෙතෙරම් කරදර කියා කල්පනා කරන සිතිවිල්ල අසාධාරණ වන්නේ ඒක ලෝක ස්වභාවය නිසා.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ සැවැත්නුවරට ආසන්න ගමක එක් තරුණ කාන්තාවක් වාසය කළා. ඇය සෝණායි. ඉතා රූමත්. විවාහක ඇයට පුතුන් දස දෙනෙක් සිටියා. ඒ දරුවන් ඉතා ලස්සනයි. නිරෝගියි. පුතුන් දස දෙනෙක් සිටි නිසා මේ අම්මා ජීවත් වුණේ තේජසින් යුතුව යි. මම වයසට ගියාම මේ එක දරුවෙක් හරි මට බලයි කියලා මේ අම්මාගේ සිතේ බලාපොරොත්තුවක් තිබුණා.

දිනක් ඒ සෝණාගේ සැමියා ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දැන් මේ අම්මා සැමියාත් නැතිව දරුවන් දස දෙනෙකු ලොකුමහත් කරන්න බොහෝ මහන්සි වෙනවා. ඉතා අමාරුවෙන් ඇය දරුවන්ට ශිල්පය ලබා දුන්නා. උස් මහත් කළා. නිසි කල විවාහ කර දී දේපළ සියල්ල සම සේ බෙදා දුන්නා.

දැන් ඇය මැදිවියත් පසු කරමින් ඉන්නේ. කාලයකදී පොඩි පුතු අම්මාට කිව්වා අම්මා “ඇයි අපේ ගෙදරම ඉන්නේ. තව දරුවෝ නව දෙනෙක් ඉන්නවානේ. ඒ ගෙවල්වලටත් යන්න” කියලා. එදා සෝණා අම්මා එළියට බැහැලා තව දරුවකුගේ නිවසට ගියා. ටික කාලයක් ගත වෙද්දී ඒ පුතත් කියනවා “අම්මා අපට දේපළ වැඩිපුර දුන්නේ නැහැනේ. අනෙක් දරුවන් ළඟටත් යන්න” කියලා.

ඇය ඒ නිවසෙනුත් එළියට බැස්සා. තමන්ට නැගිටින්නට උදව් කළ අම්මා ඒ දරුවන් අමතක කළා. ඇය නිවසින් නිවසට දරුවන් වෙත යද්දී ඒ සෑම නිවසකම දොරවල් වැසුණා. ඇය දරුවන්ට දොස් කිව්වේ නැහැ. වෛර කළේ නැහැ. සිදු වූ අසාධාරණය සෙව්වෙත් නැහැ.

“අසාධාරණකම් එක දිගටම ජීවිතයට එද්දී අසාධාරණ සංසාරයෙන් නිදහස් වීම තමයි හොඳම දේ. දුක් කරදර එක දිගට එද්දී දුක් කරදර දෙන කෙනාට ඇඟිල්ල දිගු කරනවාට වඩා හොඳයි කෙළවරක් නැති සසරින් නිදහස් වෙන එක” කියා ඇය සිතුවා.

අසාධාරණ මේ සංසාරයට මම ඇලෙන්න හොඳ නැහැ. ඒ කාලයේ දරුවෝ මගේ වටේ දැවටි දැවටී සිටියා. ඤාතීන් යහලුවෝ මට සිටියා. අද කවුරුවත් නැහැ. ඇය දැන් මහලුයි. ඇය යම් විසඳුමකට ආවා.

දිනක් ඇය භික්ෂුණි ආරාමයකට ගියා. භික්ෂුණියන්ට ආවතේව කරන්න බාර ගත්තා. ඇයට එතැනත් බොහෝ වැඩ පැවරුණා. දර පැලුවා. වතුර ඇද්දා. භික්ෂුණින් වහන්සේලාට පැන් පහසුවෙන්න වතුර උණු කළා. අතුපතු ගා පිරිසුදු කළා. මුළු දවස පුරාම ඇයට වැඩ කරන්නට සිදු වුණා. නමුත් ඇය ඉවසුවා.

කාලයක් යද්දී ඇය පැවිදි වුණා. දැන් සෝණා තෙරණිය යි. ඇය පැවිදි වුවත් වැඩවල අඩුවක් වුණේ නැහැ. මුළු දවසේම වැඩ කරන්නට සිදුවුණා. මේ තෙරණිය වැඩ අවසන් වූ පසු රාත්‍රියේ අසල තිබෙන කණුවක් අල්ලාගෙන ඒ වටේ සක්මන් භාවනාවේ යෙදුණා.

ඇයට මලුවක සක්මන් කරන්න වාරු නැති නිසා කණුවක් අල්ලාගෙන සක්මන් කරන්න පුරුදු වුණා. මේ කුණුප කොටස් වලින් සෑදුන මේ ශරීරය තමාට කෙතරම් කායික පීඩාවක් ගෙන දෙනවා ද කියා ඇය සිහි කළා. මහ පොළොවට පස් වෙලා යන මේ ශරීරය ගැන සිතමින් ඇය කායානුපස්සනා භාවනාව සිහිකරමින් මුළු රැය පුරා සක්මන් කරනවා.

දිනක් එතුමිය මෙසේ කායානුපස්සනා භාවනාව වඩමින් සිටියා. දැන් එතුමියගේ පින හොඳීන් මෝරා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ එදා මහාකරුණා සමාපත්ති ඥානයට සම වැදී අනුකම්පාවෙන් ලෝකය දෙස බැලුවා. භාග්‍යවතුන් වහන්සේ පින මෝරා තිබෙන මේ තෙරණිය දුටුවා. මේ බියකරු සසරින් එතෙර වීමට ගන්නා වීර්යය දුටුවා.

භාග්‍යවතුන් වහන්සේ එතුමිය වෙත ආලෝක ධාරාවක් එවා වදාළා “යම් කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ නැතිව අවුරුදු සියයක් ජීවත් වුවත් වැඩක් නැහැ. ධර්මයේ හැසිරෙමින් එක් දිනක් ජීවත්වීම තමා උතුම්” කියා.

මේ දහම් පදය අසා සතුටට පත් එතුමිය එදිනම නිකෙලෙස් වුණා. ඇය ගෞතම බුද්ධ ශාසනයේ වීර්යය අධික භික්ෂුණිය ලෙස අග තනතුරු ලැබුවා.

අද වනවිටත් අපි තවම මේ සසරේ ඇවිද යන්නේ අපට එකපිට එක දුක් කරදර එද්දී සිතන්න බැරිවුණා “අනේ ‍මේ සසරේ ස්වභාවයට නේ මම මුහුණ දීලා තිබෙන්නේ” කියා. “අපට දුකක් එනවිට අපි කල්පනා කරන්නේ අසවලා නිසයි මට මේ දුක. මගේ ජීවිතයට කරදරවල ඉවරයක් නැහැනේ “කියා. නමුත් ඒ සෝණා තෙරණියට එකපිට එක කරදර එද්දී ඇය මනා ලෙස ඉවසුවා. දරුවන්ට හෝ සැමියාට වෛර කළේ නැහැ. ඇයට අවශ්‍ය වූයේ දුක්ඛිත මේ සසරින් එතෙරවීම පමණයි. තමාට සිදු වූ අසාධාරණකම් සිත සිතා සිටියා නම් ඇය අදත් මේ සසරේ යන කෙනෙක්. නමුත් එතුමිය සසරේ දුක දැක එයට විසඳුමක් සොයා ගත්තා.

එනිසා අපත් අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳී ගෙවා ආ මේ සසරට අවබෝධයෙන් නො ඇලීමයි වටින්නේ. සසරින් එතෙර වීමමයි වටින්නේ. එනිසා අපේ ජීවිතවලට එක දිගටම කරදර ගලා එද්දී ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට උත්සාහවත් වෙමු. එවිට මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සැනසීමෙන් ගත කරන්නට හැකියාව ලැබෙනු ඇති.

ඇසළ පුර අටවක

 ජුලි 17 සෙනසුරාදා පූර්වභාග
04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]