ඇසළ පුර අටවක 2021.07.17
නිදහස හා සතුට
දුක් කරදරවලින් නිදහසක් නැති තැන ජීවිතයෙන් නිදහස් වන්නට ඇතැමෙක් සිතති. ධන ධාන්‍ය,
යාන වාහන, මහා මන්දිර වන් ගේදොර, ඉඩකඩම් ආදී මොන තරම් සැප සම්පත් තිබුණ ද සිතට
සතුටක් නොවේ නම් තෘප්තියක් නොවේ නම් ඒ ජීවිතයේ පලය කුමක්දැයි තවත් කෙනෙක් සිතති. ඒ
කළකිරීම තුළම ඇතැමෙක් වැරැදි චර්යාවන්ට ඇබ්බැහි වෙති. තවත් කෙනෙක් එහි වරද අනුන්ට
පවරමින් සමාජයෙන් පළිගන්නට සිතති. මේ කවර හැසීරීමක දී වුවද නැවත වරක් අහමි වන්නේ
අනූන්ගේ නොව තමන්ගේ ම නිදහස ය. සතුට ය.
ගැටලුවක දී, දුකක දී වේදනාවක දී සිතට නැඟෙන ආවේග හමුවේ කෙලෙස්බර සිතින් කවර
පිළිතුරක් සෙවූව ද පිළිතුර නැවතත් ඇති කරන්නේ ප්‍රශ්නයක්ම ය. බොහෝ දෙනෙක් අමාරුවේ
වැටෙන්නේ එය නොදන්නාකම නිසා ය.
පුද්ගලික වශයෙන් මෙන් ම සමාජමය වශයෙන් ද මෙතරම් අර්බුද එහෙයිනි. බෞද්ධයින් ලෙස අප
මේ පිළිබඳ ඇතැම් විට ලජ්ජා සහගත විය යුතු යැයි සිතේ. ඒ ශ්‍රී සද්ධර්මය තුළ අපුර්ව
චින්තන නිදහසක් අපට හඳුන්වා දී ඇති බැවිනි. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අප තවමත්
ප්‍රමාද වන බැවිනි.
අප දුකට පත්වන්නේ තම සිත ගැන නොදන්නා නිසාය. ධම්ම පදයේ කෝධ වග්ගයේ දී බුදුරජාණන්
වහන්සේ දේශනා කොට වදාළේ යම් පුද්ගලයෙක් ක්‍රෝධය දුරු කරයි ද, මානය පහ කරයි ද, සියලු
බැඳුම් ඉක්මවයි ද, නාම රූප දෙකෙහි නොඇලෙන, රාගාධී කෙලෙස් නැති ඒ පුද්ගලයා කෙරෙහි
කායික චෛතසික දුක් පවතින්නේ නැති බවයි.
මෙහි අවධාරණය කරන ක්‍රෝධය නම් වූ භයානක සිතිවිල්ල පිළිබඳ පමණක් අවධානය යොමු කළේ නම්
ඒ නිසාම සිතෙහි නිදහස පහව යන අයුරු, සතුට ගිලිහී යන අයුරු තමන්ටම අවබෝධ කරගත හැකි
ය.
ක්‍රෝධ සහගත සිතින් ගන්නා කිසිදු තීරණයකින්, ක්‍රෝධ සහගත අවස්ථාවක කරනා කිසිදු
ක්‍රියාවකින් යහපතක් බලාපොරොත්තු විය නොහැක. ඒ එම අවස්ථාවේ අප අන්ධභාවයට පත්ව ඇති
නිසා ය. මෙහි අන්ධබව නම් මසැස නොපෙනීම නොවේ. ප්‍රඥා නැමැති ඇස නොතිබීම ය.
ඇතැම් අඹු සැමියන් අතර, මව්පිය දූ දරුවන් අතර, තරුණ පිරිස් හා වැඩිහිටියන් අතර ආදී
වශයෙන් කුඩාම සමාජ ඒකකයෙන් ආරම්භව මහා සමාජය දක්වා පැතිර යන අනවරත මතභේද, ගැටුම්,
අරගල ක්‍රෝධයේ ප්‍රතිපලය. එවැනි වාතාවරණයක මනසෙහි ව්‍යාකූල බව මිස කවර නම් නිදහසක්
සතුටක් බලාපොරොත්තු වන්නද?
එහෙයින් නිරන්තරයෙන් අපගේ සිතිවිලි මෘදු බවට පත්කරගත යුතු ය. රළු සිතිවිලි ඇතිවිට
කෝපය වඩා වර්ධනය වේ. එවිට ආධ්‍යාත්මිකව පරිහානියට යනවා පමණක් නොව බාහිරව ද විවිධ
උපද්‍රවලට ගොදුරු වේ.
දෑස් මානයේ අනතුරු පෙනෙන්නට තිබියදීත් ඉන්
වළකින්නට සිහිකල්පනාවක් නොවන්නේ, ගල්මුල්වල හැපෙන්නේ මෙවැනි පුද්ගලයන් ය. ක්‍රෝධය
ඇති කල අප ජීවත් වන්නේ මායාව තුළය. ජීවිතය මං මුලා කරන්නේ ඒ මා යාවම ය. එවිට
නැතිවන්නේ සිතේ නිදහසේ සතුට ය.
නුවණැස දල්වා ඒ ආලෝකයෙන් ජීවිතය දැකිය යුතු එහෙයිනි. |