ගිහි ගෙදර ජීවිතය
අමිහිරි ද?
දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගෘහපතීන් පිරිසක් පැමිණියහ. එහි දී
ඔවුන් අරභයා බුදුරජාණන් වහන්සේ සතර ආකාර වූ සහවාසය කරන්නා වූ ගෘහපතීහු දෙදෙනා
වශයෙන් ගෙන මේ ආකාරයෙන් ධර්මය දේශනා කළ සේක.
ලාමක වූ මෙලොව යම් සැමියෙක් ප්‍රාණඝාත කරයි ද? සොරකම් කරන්නේ ද? කාමයෙහි වරදවා
හැසිරෙන්නේ ද? බොරු කියන්නේ ද? මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කරන්නේ ද වෙයි.
එලෙසම මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා කරන්නෙක් ද වෙයි. දුශ්ශීලව පවිටු අදහස් ඇතිව,
දැඩි ලෝභීව ගිහි ගෙදර වාසය කරයි.
එලෙස ම ඔහුගේ භාර්යාව ද ප්‍රාණඝාත කරන්නී ය. සොරකම හා කාමයෙහි වරදවා
හැසිරෙන්නීය. බොරු කියන්නී ය. මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කරන්නී ය. ඒ වගේ ම
දුස්සීල ව හා පාපී අදහස් ඇතිව මසුරුමලින් යුතුව ගිහිගෙදර වාසය කරන්නීය. මහණ බමුණන්ට
ද ආක්‍රෝශ හා නින්දා කරන්නී ය. මේ ආකාරයෙන් ලාමක සැමියෙක් ලාමක වූ බිරිඳක හා එක්ව
වාසය කිරීම පළමු සංවාසය ලෙස හඳුන්වා දී ඇත.
දෙවන සංවාසය පිළිබඳව මේ ආකාරයෙන් දේශනා කර ඇත. එනම් ලාමක වූ සැමියෙක් දෙව්දුවක් හා
බඳු බිරිඳක් සමඟ වාසය කිරීමයි. යම් සැමියෙක් ප්‍රාණඝාතය කරන්නේ ද, සොරකම් කරන්නේ ද,
කාමයෙහිවරදවා හැසිරෙන්නේ ද, බොරු කියන්නේ ද? මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය
කරන්නේ ද වෙයි. එලෙස ම දුශ්ශීල වූයේ ද පාපී අදහස් ඇති මසුරුමලින් යුතු වූවෙක් ද
වෙයි. මහණ බමුණන්ට ආක්‍රෝශ, පරිභව නින්දා කරන්නෙක් ද වෙයි. එහෙත් ඔහුගේ භාර්යාව
ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන් වළකින්නී ය. මදයට
හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැලකුණේ වෙයි. සිල්වත් ව කල්‍යාණ දහමින් යුක්තව
මසුරුමල බැහැර කළ සිතින් යුතුව ගිහි ගෙදර වාසය කරන්නී ය. එමෙන් ම මහණ බමුණන්ට
ආක්‍රෝශ හා නින්දා නොකරන්නී ය. ලාමක වූ සැමියෙක් සමඟ දෙව්දුවක් බඳු වූ බිරිඳක් සමඟ
විසීමක් ලෙස හඳුන්වා දී ඇත.
අප භාග්‍යවතුන් වහන්සේ තුන්වන සංවාසය මේ ආකාරයෙන් පැහැදිලි කර දේශනා කර ඇත.දෙවියෙක්
බඳු වූ සැමියෙක් ලාමක වූ බිරිඳක් සමඟ එක්ව වාසය කරන්නේ ද? එනම් මෙලොව සැමියෙක්
ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරුකීමෙන් හා මදයට ප්‍රමාදයට
හේතුවන රහමෙර පානයෙන් වැළකුණේ ද වෙයි. ඒ වගේ ම සිල්වත් ව කලණ දහම් ඇතිව බැහැර කළ
මසුරු මළ ඇතිව ගිහිගෙයි වසයි. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා නොකරන්නේ වෙයි. එනමුත්
ඔහුගේ භාර්යාව ප්‍රාණඝාත, කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන හා මදයට හා ප්‍රමාදයට
හේතුවන රහමෙර පානය කරන්නී ද වෙයි. දුශ්ශීල ද ලාමක අදහස් ඇත්තියක් ද,ලෝභී සිතින් ද
යුක්ත වූවා වෙයි. එලෙස ම මහණ බමුණන්ට ආක්‍රෝශ නින්දා කරන්නී ද වෙයි. මේ ආකාර වූ
දෙවියෙක් බඳු සැමියෙක් ගුණ නැත්තා වූ ලාමක වූ බිරිඳක් සමඟ වාසය කිරීමකි.
සතරවෙනි සංවාසය භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් පැහැදිලි කර දේශනා කර ඇත. දෙවියෙක්
බඳු සැමියෙක් දෙව්දුවක් බඳු බිරිඳක් සමඟ වාසය කෙරේ ද? මෙලොව යම් සැමියෙක් මෙන් ම
බිරිඳක් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන් වැළකුණේ ද
වෙයි. ඒ වගේ ම මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර භාවිතයෙන් වැළකුණේ වෙයි. සිල්වත්
වූයේ ද කලණ දහම් ඇතිව බැහැර කළ මසුරු මල ඇත්තෙක් වන්නේ ය. මහණ බමුණන්ට ආක්‍රෝශ
නින්දා ද නොකරන්නේ ය. මෙය නම් දෙවි වූයේ දෙව් දුවක හා එක්ව විසීමයි.
භාග්‍යවතුන් වහන්සේ මෙම කල්‍යාණවන්ත වූ දිව්‍යමය පවුල “දෙදෙනා ම සදැහැතිව,
පරිත්‍යාගශීලීව, ශීල සංයමයෙන් යුතුව, දැහැමි ජීවිත පවත්වන්නේ ද, ඔවුනොවුන්ට
ප්‍රියකරුවෙත්“ යනුවෙන් දේශනා කර ඇත. ඒ වගේ ම “සම සිල් ඇති මේ දෙදෙනාගේ අභිවෘද්ධිය
සම්පූර්ණ වෙත් ද ඔවුනොවුන්ට පහසු විහරණ වෙයි. ඒ වගේ ම “මෙලොව සමාන සිල් ඇතිව, දෙදෙන
දහම් මඟ සපුරා සතුටු වූවා හු දෙව්ලොව සැප කැමති වෙමින් විපාක වූ කලණ දහම් මඟ අනුව
සතුටු වෙති.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පඨම සංවාස
සූත්‍රයෙහි ගෘහස්ථ ජිවිත ගත කරන සියලු දෙනා විසින් නුවණින් මෙනෙහි කළ යුතු ය.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට තරම් කායික සහ මානසික
පවුල් පරිසරයක් ගිහි ගෙදරක නොමැත්තේ නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ ආර්ය
අෂ්ඨාංගික මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් වන්නේ ද? සැමියා සහ බිරිඳ
අතරින් එක් අයෙක් පස්පව් හි යෙදෙමින් පාපී අදහස් ඇතිව වාසය කරන්නේ නම් අනෙක් සහකරුට
හෝ සහකාරියට නිසි සේ දහම් මග අනුගමනය කළ නොහැකි ය. සිතට සැනසිල්ල දෙන ස්වාමි භාර්යා
හෝ මව්පිය දූ දරු සම්බන්ධයක් කෙසේ නම් පවත්වන්නේ ද?
ඕනෑම ජීවිතයක සසර ගත කර්මදෝෂ පැවතිය හැකි ය. එනමුත් ශ්‍රද්ධා, ශීල, චාග,
ප්‍රඥා නම් වූ සතර ගුණ සම්පත් සැමියා බිරිඳ දෙදෙනාට ම හැකිතාක් දුරට සමාන කර
ගනිමින් දියුණු කර ගත හැකි නම්, වෙස්සන්තර මන්ත්‍රීදේවි නම් වන්නේ ය. සිදුහත් -
යසෝදරා නම් වන්නේ ය. නකුලපිතූ නකුල මාතා නම් වන්නේ ය. මේ නම් පෙළට ගිහි ගෙදර එක්ව
වාසය කරන අපට ද එකතු විය හැකි වන්නේ ය. මේ ආකාරයෙන් වූ මෙම මනා වූ සංවාසයම පරමාර්ථ
ධර්ම අවබෝධයට මාර්ගය සකසා ගැනීමක් වන්නේ ය.
සෑම එකතුවීමක් ම වෙන්වීමකින්
කෙළවර වන්නේ ය. මේ බව තේරුම් ගැනීම ගෘහස්ථ ජිවිතය දිව්‍යමය පවුලක් සේ ගත කරන සියල්ල
අනිත්‍ය වූ මේ භවයෙහි කිසිවක් ස්ථිර, සදාකාලික හා තමාට අවශ්‍ය ආකාරයෙන් නොපවත්නා බව
වැටහෙන්නේ ද. මෙයම නිවන් මග අනුගමනය කිරීමයි. |