ආසිවිසෝපම සූත්‍රය:
විසකුරු සතුන් උපමා කොට දෙසූ දහම
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
භාග්‍යවතුන් වහන්සේ විසින් සැවත්නුවර දෙව්රම් වෙහෙරේ දී දෙසූ දහම ස්කන්ධ පඤ්චකයෙහි
නිසරු බව වටහාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්
නිවනින් සැනසීමට මඟෙකි.
විසකුරු සතුන් උපමා කොට සය ආකාර වූ ඇස, කන ආදී ආයතනයන් වරදවා හැසිරවීමෙන් සිදුවන
මහා විපතත්, ඒවා නිවරැදිව අවබෝධ කොටගෙන කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ නම්
සැඩ පහර තරණය කොට නිවන් මඟෙහි සියලු දුකෙන් නිදහස්වන ආකාරය පැහැදිලිවෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, බලවත් තෙද ඇති, දරුණු විෂ ඇති සර්පයෝ
සතර දෙනෙක් වෙති. සැපට කැමති, දුකට අකමැති, ජීවත් වෙන්නට කැමති, මරණයට අකමැති
පුරුෂයෙක් එහි පැමිණෙයි. ඔහුට මෙසේ කියන්නේ ය. එනම්, මේ බලවත් සර්පයෝ සතර දෙන නුඹ
විසින් කලින් කල නැඟිට විය යුතු ය. නැහැවිය යුතු ය. කැවිය යුතු ය. නිදිකරවිය යුතු
ය. මේ සතුන්ගෙන් එක් අයෙක් හෝ කිපෙන්නේ නම්, නුඹට මරණය හෝ මරණීය දුකකට පැමිණිය
හැක්කේ ය. නුඹ විසින් යමක් කළ යුතු නම් කරන්න.
එය ඇසූ පුරුෂයා එම සතුන්ට බිය වී වෙනත් තැනකට පලායන්නේ ය. එහි දී මෙවැනි යමක්
අසන්නට ලැබෙන්නේ ය. සතුරු වූ වධකයෝ පස් දෙනෙක් යම් තැනක දී දකින්නේ නම්, ඔවුහු
එහිදී ම නුඹව මරන්නෙමු’ යි නුඹ පිටුපස ලුහුබඳීන්නෝ ය. මේ නිසා යමක් කළ හැකි නම්
කරන්න. මෙහි දී ඒ පුරුෂයා දරුණු විෂ ඇති විසකුරු සර්පයන් සතර දෙනාට බිය වූයේ සතුරු
වූ වධකයන් පස් දෙනාට බිය වූයේ තවත් තැනකට පලා යන්නේ ය. එහි දී මොහුට මෙසේ අසන්නට
ලැබෙන්නේ ය. ඇතුළත හැසිරෙන මේ සවැනි වධකයෙක් යම් තැනක දී නුඹ දකින්නේ නම් එහි දී ම
සිඳීන්නෙමි’යි කඩුවක් ඔසවා ගෙන නුඹ පසු පස ලුහු බඳීන්නේ ය. නුඹට කළ හැකි යමක් වේ
නම් එය කරන්න. එවිට මේ පුරුෂයා එතැනින් ද බිය වී පලායන්නේ ය.
මෙසේ පලායන මේ පුද්ගලයා හිස් ගමක් දකින්නේ ය. යම් ගෙයකට පිවිසෙන්නේ නම් කිසිවක්
නැති ගෙයකට ම පිවිසෙන්නේ ය. හිස්, ශුන්‍ය ගෙයකට ම පිවිසෙන්නේ ය. යම් බඳුනක්
අල්ලන්නේ නම්, කිසිවක් නැති හිස් වූවක් ම අල්ලන්නේ ය. මොහුට මෙසේ කියන්නේ ය. එනම්
ඇසෙන්නේ ය. ගම් පහරන හොරු දැන් මේ ගම නසන්නාහු ය. නුඹ විසින් යමක් කළ හැකි නම් එය
කරන්න.
මෙහි දී මේ පුරුෂා විසින් බලවත් තෙද ඇති විසකුරු සතර සතුන්ට බිය වූයේ, සතුරු වූ පස්
වධකයන්ට බිය වූයේ, ගම් පහරන සොරුන්ට බිය වූයේ තවත් තැනකට පලා යන්නේ ය.
එහි දී මහත් ජලාශයක් දක්නේ ය. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. එතෙර උවදුරු රහිත ය.
බිය රහිතය. එහි එතෙර මෙතෙර යාමට නැවක් හෝ පාලමක් හෝ නැත.
මහණෙනි මෙහි දී මේ පුද්ගලයාට මෙසේ සිතෙන්නේ ය. මෙය මහා ජලාශයකි. මෙතෙර සැක සහිත ය.
බිය සහිත ය. එතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එතෙර මෙතෙර කරන නැවක් හෝ පාලමක් නැත.
මම තෘණ දර අතුකොළ රැස් කොට පහුරක් බැඳ ඒ පහුර මතින් අතින් ද පයින් ද වෑයම් කරමින්
සුව සේ එතෙරට යාගත හැකි නම් හොඳ ය.
එසේ සිතා පහුරක් බැඳ එමඟින් සුව සේ පරතෙරට යන්නේ ය. තරණය කළ මේ පුරුෂයා නිවන
සංකේතවත් කරන ගොඩබිම සිටී.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ උපමා මෙසේ පරමාර්ථ ධර්ම වශයෙන් විවරණය කෙරේ.
‘මහණෙනි, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර සර්පයෝ යනු පඨවි (තදබව) ආපෝ (වැගිරෙන බව)
තේජෝ (උෂ්ණය) වායෝ (වායුව) නම් වූ සතර මහා භූතයන්ට නමෙකි.”
“මහණෙනි, සතුරු පස් වධකයෝ යනු උපාදානස්කන්ධ පහයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර,
විඤ්ඤාණ නම් වූ පඤ්ච ස්කන්ධයන්ට නමෙකි. මහණෙනි, ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන
වධකයා යනු නන්දි රාගයට නමෙකි.
මහණෙනි, හිස් ගම යනු ආධ්‍යාත්මික ෂඩ් ආයතනයන්ට නමෙකි. මහණෙනි, ව්‍යක්ත වූ නුවණැති
පණ්ඩිත පුද්ගලයා විසින් ඇසින් පරීක්ෂා කොට බලන විට කිසිවක් නැති බව වටහා ගනී. හිස්
වූවක් ම බව වටහා ගනී. ශුන්‍ය වූවක් ම බව වටහා ගනී. මේ ලෙසිනි. කනිනුත්, නාසයෙනුත්,
දිවෙනුත්, කයෙනුත්, සිතෙනුත් පරීක්ෂා කරන්නේ කිසිවක් නැති බව වටහා ගනී. හිස් වූවක්
ම බව වටහා ගනී. ශුන්‍ය වූවක් ම බව වටහා ගනී.
ගම් පහරන සොරුන් නම් බාහිර ෂඩ් ආයතනයන්ට නමෙකි. ඇස කැමති අකමැති රූපයෙහි ගැටෙයි. කන
කැමති අකමැති ශබ්දයෙහි ගැටෙයි. නාසය කැමති අකමැති ගන්ධයෙහි ගැටෙයි. දිව කැමති
අකමැති රසයෙහි ගැටෙයි. කය කැමති අකමැති ස්පර්ශයෙහි ගැටෙයි. සිත කැමති අකමැති
අරමුණුවල ගැටෙයි. මහණෙනි, මහා ජලාශය යනු කාම, භව, දිට්ඨි, අවිජ්ජා නම් වූ සතර ඕඝයට
නමෙකි.
සැක සහිත වූයේ, බිය සහිත වූයේ මෙතෙර යනු සක්කාය හෙවත් ස්කන්ධ පඤ්චකයට නමෙකි.
මහණෙනි, උවදුරු රහිත, බිය රහිත පරතෙර යනු නිවනට නමෙකි. මහණෙනි, පහුර යනු අරිඅටඟි
මඟයි. මහණෙනි, අතින් ද පයින් ද වෑයම් කරන්නේ ය යනු විරියාරම්භයට නමෙකි. මහණෙනි,
තරණය කළ පරතෙරට පැමිණි “බමුණු තෙමේ ගොඩබිම සිටී” යනු රහතුන් වහන්සේ ට නමෙකි.
මෙම උපමා පෙළ සංක්ෂිප්තයෙන් විවරණය කර ගනිමු. විස සහිත, බිය සහිත සර්පයන් සතර දෙනා
නම් පඨවි ආදී ධාතූන් රකින්නට මනුෂ්‍යයා මහත් සේ වෙහෙසෙයි. මේ ධාතූන්ගේ එකතුව කය
හෙවත් රූපය ලෙස මෙහි ගනිමු. මේ කය වෙනුවෙන් කවා, පොවා, නහවා, සතප්පවා කුමක් කළ ද
එක් ධාතුවක් හෝ ගිලන් වූයේ, විසිරී යන්නේ මහත් වූ ම දුකකි. මරණයට ද යම් විටෙක
හේතුවකි. මෙකල පවත්නා ”කොරෝනා” පටන් පිළිකා ආදී සියලු ම බලවත් ලෙස ගිලන් වන
රෝගයන්ට හේතුවන්නේ මේ ධාතූන්ගේ කිපීම යි. එනම් අඩුවැඩි වශයෙන් නැඟී සිටීමයි.
එසේ නැඟී සිටින විට, විසිරෙන විට ප්‍රතිකාර කරන්නේ ය. යනුවෙන් නැවතත් රැක බලා ගන්නට
කොපමණ වෙහෙසක් දැරිය යුත්තේ ද? මම, මගේ ය නම් වූ දැඩි දෘෂ්ඨියෙන් සිතින් උපාදානය
කරගනිමින්, මේ සතර මහා ධාතූන්ගෙන් සමන්නාගත අස්ථිර, කය වෙනුවෙන් යම් අය පස්පව් දස
අකුසල් කරති. ඔවුහු මෙලොවත් පිරිහී පරලොවත් දුගතියට ම වැටෙති.
මෙම ස්කන්ධ පඤ්චකය, මගේ ය, මම වෙමි, මගේ ආත්මයයි සිතින් දැඩිව ගැනීම නිසා සක්කාය
දිට්ඨිය පෝෂණය වන්නේ ය. අස්මි මානය නැගී සිටින්නේ ය.
ලෝභ, දෝස, මෝහ, මද, මාන, දිට්ඨි වශයෙන් සුගති මඟ වළකාලන, ආධ්‍යාත්මික සන්සුන් බව
නසන්නා වූ බවට ස්කන්ධයෝ සමත් වන්නාහ. සවන වධකයා වූ නන්දිරාගය ඒ ඒ අරමුණ ඇලීම් බවට
පත් කරන්නේ ය. ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, ස්පර්ශය, සැප, දුක්, මධ්‍ය ස්ථ විඳීම්,
සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, විතක්ක විචාර ඔස්සේ නන්දිරාගය මතුවෙයි. නැඟී සිටියි.
හිස්ගම යනු ආධ්‍යාත්මික ෂඩ් ආයතනයි. භාවිත සිත් ඇත්තා දහම් ඇසින් පිරික්සන්නේ
නිත්‍ය, සුඛ, ආත්ම ලෙස කිසිවක් නැති බවත් හේතුඵල කි‍්‍රයාවලියක් පමණක් වටහා ගනී.
‘මම’ යැයි ආධ්‍යාත්මයට ඇතුළත් කරගත් සම්මුතිය, පරමාර්ථ වශයෙන් හිස් බව ශුන්‍ය බව
වටහා ගනී. මේ ලෙසින් කනින්, නැහැයෙන්, දිවෙන්, ශරීරයෙන් සිතින් පිරික්සන්නේ
උපාදානයට යමක් හෝ යමෙක් නැති බව වටහා ගනී.
ගම් පහරන සොරු නම් වූ බාහිර ෂඩ් ආයතනයන් ද නුවණින් දකී. ඇස ආදී ආයතන කැමති අකමැති
අරමුණුවල ගැටෙමින් ලෝභ, දෝස, මෝහ වඩා, කුසල් සිත් පැහැර ගනී. සිතේ සන්සුන් බව හෙවත්
පස්සද්ධිය නැති වන්නට මේ බාහිර ආයතන හේතුවෙයි.
කාම ආදී සිව් ඕඝ සුළි සහිත ජලාශයයි. මේ සුළියකට හසු වුවොත් ජීවිත විනාශයකි. සසරට
බියකරු විනාශයකි. මෙතෙර නම් වූ සක්කාය දිට්ඨිය පවත්වා ගැනීමයි. මේ නිසා ම ජාති,
ජරා, ව්‍යාධි, මරණ සහිත අපමණ බියෙන් යුතු ය. පරතෙර නිවනයි. එහි ජාති, ජරා, ව්‍යාධි,
මරණ ආදී දුක් නැත. පහුර නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව
වන්නේ ය. අන් පිළිවෙත් මඟක් නැත. වෑයම් කිරීම නම් සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්
යුතුව වීර්යයි. මෙසේ තරණය කොට සැනසුන තැනැත්තේ නම් රහතුන් වහන්සේ ම ය. මෙතෙරින්
එතෙරට අපට ද උතුම් වූ බුද්ධානුශාසනයකි. |