පොසොන් පුර පසළොස්වක 2021.06.24
අභිමානයට අවමන් නොකිරීම
ලංකා ධරණීතලය ම ආධ්‍යාත්මික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් නවමු මාවතකට යොමු කරමින්
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේ දඹදිව් තලයේ සිට
මිහින්තලාවට වැඩමකොට වදාළේ අදවන් පින්බර පොසොන් පෝ දා ක ය. එදා ධර්මාලෝකයෙන්
ආලෝකවත් ව මේ දේශයට උරුම වූ ඒ වටිනාකම් සිහිපත් කරමින් අද ද අපි ආඩම්බර වෙමු.
ප්‍රෞඪ ඉතිහාසයක් තිබීම ජාතියකට අභිමානයකි. සිංහල ජාතියට ඒ අභිමානය ලැබුණේ සම්බුදු
දහම හඳුන්වාදීමත් සමඟ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ආදී මුළු මහත් ජීවන ක්‍රමයම
වෙනස්කර ගැනීම නිසා ය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය, සරණ ගිය පන්සිල් සුරකින
පිරිසක් බවට පත් වූ නිසා ය. ධර්මාලෝකයෙන් ආලෝකවත් කරගත් ආධ්‍යාත්මික සිතිවිලිවලින්
නිර්මිත වූ සමාජය තුළ සභ්‍යත්වයෙන් යුතු සංස්කෘතියක් බිහි වූ නිසා ය. ඒ තුළ ලොවක්
මවිත කරන මහා වෙහෙර විහාර, සයුරු පරදන මහා වැව් ඇතුළු අනේකවිධ විස්කම් කළ නිසා ය.
ඓතිහාසික ව උරුම වූ ඒ අභිමානය රැක ගන්නට නොහැකි වේ නම් ජාතියටම අවමානයක් වන බව
අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
එමෙන්ම සාඩම්බර අතීතයක් තිබූ පමණින් වර්තමානය හෝ අනාගතය සුවදායී වේ යැයි කිව නොහැකි
ය. අතීතයෙන් පාඩම් ඉගෙන වර්තමානය තව දුරටත් යහපත් ව ගොඩනැංවීම තුළය, සමාජයක
දියුණුවට, යහ පැවැත්මට මං පෙත් විවර වනුයේ.
අතීතයේ අපේ මුතුන් මිත්තෝ පවට බිය වූහ. ලජ්ජා වූහ. සිත, කය, වචනය සංවර කරගත් ඔවුහු
අවිහිංසාවාදී වූහ. ආත්මාර්ථයට නොව පරාර්ථයට මුල්තැන දුන්හ. සරල ජීවිතයක් ගත කළහ.
විනය ගරුක වූහ.
සූසැට බරණින් සැරසුණු කුල කාන්තාවක දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මහා
රැයක වුව ද තනි මඟ ගිය ද නිරුපද්‍රිත ව ගමන අවසන් කරන්නට තරම් එකල රැකවරණයක් සැලසුණ
බව නොදන්නා කෙනෙක් නොවනු ඇත. ඒ අපේ අතීතයේ වූ විනයගරුක බව නිසා ය. ඒ ගැන අභිමානයෙන්
කියනු විනා අද ඒ විනය, ශික්ෂණය ඇත්තේ සමාජයේ කොපමණ පිරිසකට ද යන්න පවා ගැටලුවකි.
බෞද්ධ නාමයෙන් පෙනී සිටිය ද කෙනකුට පින පව ගැන අවබෝධයක් ඇති බව නොපෙනේ. මව්පිය, දූ
දරු ආදී කොට ඇති සමාජ කණ්ඩායම් අතර ඔවුනොවුන් කෙරෙහි යුතුකම් වගකීම් නිසියාකාර ව
ඉටු කරනවා ද යන්න බොහෝ විට ගැටලුවකි. පංච ශීලය ගිහියාගේ නිත්‍ය ශීලය වුව ද, සිල්
රකින්නෝ අවම බව ය, සමාජය තුළ දෘෂ්‍යමාන වන්නේ.
එදා අපේ මුතුන් මිත්තෝ ජීවිකාව සරි කොට ගත්තේ දහදිය මහන්සියෙනි. ඔවුහු අලස නොවූහ.
ජීවන වෘත්තිය ධාර්මික වූ අතර වංචනික නොවූහ. එදා සහ අද වෙනස
ගැළපීම තුළ අප කොපමණ අගතියට ගොස් සිටිනවා ද යන්න අවබෝධ කර ගත හැකි ය. කෘෂි කර්මය
ධාර්මික වුවද බොහෝ දෙනෙක් වැඩි අස්වනු ලැබීම සඳහා පමණ ඉක්මවා රසායන ද්‍රව්‍ය යෙදීම
තුළ ඒවා පරිබෝජනය කරන පිරිස් බෝ නොවන රෝග රැසකට මුහුණ දෙමින් මියයමින් සිටින බව
නොදන්නා කෙනෙක් නැත. මේ එක් උදාහරණක් පමණි.
මිහිඳු හිමි හඳුන්වා දුන් අවිහිංසාවාදී බව අගය කරන සමාජයකට අප නැවත පා නැඟිය යුතුව
තිබේ. සිත්තුළ මෙත්තා, කරුණා, මුදිතා දී ගුණ වර්ධනය කළ යුතුව තිබේ. දැහැමි ජීවිතයක්
තුළින් දැහැමි සමාජයකට දායකත්වය දෙන්නට කැපවිය යුතුව තිබේ. අපට උරුම ප්‍රෞඪ
ඉතිහාසයට අවමන් නොකළා වන්නේ එවිට ය. |