පේතවත්ථු හා විමානවත්ථු:
දන්නා දෙය තුළින්
නොදන්නා දෙය ගැන දුන්
ගැඹුරු අවබෝධය
අස්ගිරි මහාවිහාරයෙහි මහෝපාධ්‍යාය,
කාරක සංඝ සභික,
වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක
මහාචාර්ය
තුඹුල්ලේ
ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ශ්‍රී ලංකාවාසි අප හැමදෙනාගේ ම ගත සිත
සුවයට මහත් අස්වැසිල්ලක් ලෙස අද ත් අපට දැනෙනවා. එදා මේ රටේ විසූ බොහෝ ජන කොටස්වලට
ද එය එසේ ම වන්නට ඇති.
එහෙම කියන්නේ උන්වහන්සේ දේශනා කළ නවතම දහම ඕනෑ ම ජන සමාජයක නිවීම සැනසීම පිණිස හේතු
වූ දයාව, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම වැනි මානුෂික ගුණාංග මිනිස් හදවත් තුළ
තහවුරු වන ආකාරයේ දහමක් වූ බව එම දේශනා ගැන සිතෙන විට අද ත් අපට දැනෙන නිස යි.
ඔබ අප කවුරුත් හොඳීන් දන්නා පරිදි එදා පොසොන්පුර පසළොස්වක පොහෝ දා මිහිඳු මහරහතන්
වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස එදා නැකත් කෙළියෙහි යෙදී සිටි දෙවනපෑතිස් රජතුමා
ඇතුළු ශ්‍රී ලාංකික පිරිසට මුල්වරට දේශනා කළේ චුලහත්ථිපදොපම සූත්‍රය මාතෘකා කර
ගැනුණු දේශනාවක්.
කොහොම වුණත් පසු දින අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි රජවාසලට වැඩම කරවීම පිණිස
ආරාධනාව ලැබුණු මිහිඳු මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මෙම ධර්මදූත පිරිස පසුදින රාජ
මාළිගාවේ දී දන් වළඳා අවසන මාහානාග යුවරජුගේ බිසව ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ
පේතවත්ථු, හා විමානවත්ථු සූත්‍ර දේශනා මාතෘකා වශයෙන් තබාගෙන යි.
මෙසේ එදා මිහිඳු මහරහතන් වහන්සේ රාජ මාළිගාවට වැඩම වූ පසු ප්‍රථම වරට එවැනි
දේශනාවක් කරන්නට හේතු වූයේ මක්නිසා ද?
මෙයට බොහෝ දැන උගත් අපේ වියත් මහ තෙරවරුන් හා වියතුන් පෙන්වා දෙන්නේ මෙහි ලොකු
අරුතක් තිබුණු බව. එනම් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවන ලද කාලය වනවිටත්
ලංකාවේ විවිධ මිත්‍යා ඇදහිලි පැවැති ආගමික වටපිටාවක් තමයි තිබුණේ. ඒ අතර ප්‍රසිද්ධ
විශ්වාසයක් වුණේ මළවුන් ඇදහීම යි. ඒ හැරුණහම වෙනත් මිත්‍යා ඇදහිලි රාශියක් ම
තිබුණා.
ඉතින් එවැනි වටපිටාවක් තුළ මිනිසාගේ මරණින් පසු ලබන නව භවය කුමන එකක් විය හැකි ද?.
ඒ ලබන නව භවය තවත් කෙනකුට පිහිට විය හැකි භවයක් විය හැකි ද? තමන් අදහන අයට පිහිට
වීමට තරම් සරුසාර පින්සරු භවයක් ලබා තිබෙන්නේ ද? කෙනකුගේ මරණින් පසු ලබන භවය
සතුටුදායක වන්නට නම් මේ ගත කරන ජීවිතය කෙතරම් අරපරිස්සමෙන් අප විසින් හසුරුවා ගත
යුතු ද?
මෙන්න මෙවැනි කාරණාවලට පිළිතුරක් ලැබෙන ආකාරයේ දෙසුමක් ලෙස මේ කියන පේතවත්ථු හා
විමානවත්ථු දේශනාව හඳුන්වා දෙන්නට හැකියාව තිබෙනවා. ඉතින් මළවුන්ගෙන් පිහිටක්
අපේක්ෂාවෙන් සිටින පිරිසකට පිහිටක් විය හැකි ආකාරයෙන් අවම වශයෙන් මේ භවය තුළ දී වත්
මිය යන්නට පෙර අපෙන් පිහිට බලා පොරොත්තු වන අයට පිහිට වීමට අප ගෙවූ ජීවිත සඵල කර ගත
යුතු ය කියන මේ සරල අර්ථය ප්‍රකට කිරීම පිණිස මෙසේ දෙවන දවස්හි ම මේ දේශනා සිදු
කරන්නට ඇති.
මිහිඳු මහරහතන් වහන්සේ මේ නවතම දහමේ ගැඹුරට එක්වර ම නො ගොසින් අද අපි කථාකරන විදිහට
නම් දන්නා දේ තුළින් නො දන්නා දේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දී සැනසීම උදා කර
දෙන්නට යි, එනම් මෙලාව පින් පව් පිළිබඳ වැටහීමෙන් දිවි ගෙවීමේ වැදගත්කම පහදා දෙන්නට
යි මෙම දේශනා ඉදිරිපත් කරන්නට ඇත්තේ.
ඉතින් මේ පේතවත්ථු හා විමානවත්ථු දේශනා පිළිබඳ පුළුල් විස්තරයක් කිරීමට දැන්
කිසිසේත් කළ නොහැකි වුණත් යම්තරම් දුරකට එදා මිහිඳු මාහිමියන් වහන්සේ විසින් රාජ
මාළිගාවේ දන් වළදා අවසන දේශනා කළ මෙයට අදාළ කරුණු කීපයක් පිළිබඳ ව පහදා දෙන්නට
කැමති යි.
සෙට්ඨිපුත්ත පේතවත්ථු ආදී වශයෙන් ආරම්භ කෙරෙන මෙම පේතවත්ථු දේශනාවන්හි ප්‍රකාශ
වන්නේ ඒ ආකාරයෙන් එක් එක් කථාවස්තුන්හි දී කියැවෙන ප්‍රේතාත්මභාව ලද අය මෙලොව රිසි
සේ ජීවත් වෙලා මිය ගිය පසුව ප්‍රේතයන් බවට පත්වෙලා අප්‍රමාණ දුක් විඳීන ආකාරය යි.
බුදුරජාණන් වහන්සේ පළමු වැනි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව එදා බරණැස ඉසිපතනාරාමයේ
දී පස්වග භික්ෂුන් ප්‍රධාන දිව්‍ය බ්‍රහ්ම පිරිසට දේශනා කළ පසුව උන්වහන්සේගේ බුද්ධ
ජිවන කාලය තුළ යම් යම් අවස්ථාවන්හි දී මෙම පේතවත්ථු දේශනාවන් වරින් වර සිදු කරලා
තිබෙනවා.
ඒ අනුව උන්වහන්සේ එක් එක් අවස්ථාවල යම් යම් පුද්ගලයන් දුකට පත් ව එසේ දුක් විඳීන
ආකාරය පිළිබඳ ව උන්වහන්සේ වෙත කරුණු ඉදිරිපත් වූ විට උන්වහන්සේ ඊට හේතු ගෙනහැර
පාමින් මෙවැනි ප්‍රේත භවයන් ලබන්නට හේතු වූ, පෙර ඔහු විසින් කරන ලද පාප කර්ම මෙම
පුවත්වලින් පැහැදිලි කරනවා.
මේ පේතවත්ථු, අට්ඨුප්පත්ති හා පුච්ඡාවිස්සජ්ජන වශයෙන් කොටස් දෙකක් වෙනවා. යම් කිසි
කරුණක් පැනනැඟුණ කල්හි ඒ හේතුව විමසමින් කරන දේශනාව අට්ඨුප්පත්ති දේශනා නම් වෙනවා.
පුච්ඡාවසික දේශනා කියලා කියන්නේ එදා වැඩ විසූ නාරද වැනි හාමුදුරුවරුන් විසින් යම්
කරුණකට අදාළ ව ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේගෙන් විමසන විට
ඒ කරුණට අදාළ ව බුදුරජාණන් වහන්සේ කරන දේශනා යි.
ඉතින් මේ පේතවත්ථු දේශනා ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද
අට්ඨුප්පත්තික දේශනා ලෙස යි සැලකෙන්නේ.
දැන් අපි මෙහි ඇතුළත් දේශනා ගැන යමක් සොයා බලන්නට සුදුසු වෙනවා. මෙහි පණස් එකක් වූ
පේතවත්ථු කථා අතරෙන් පළමුවෙන් ම එන සෙට්ඨිපුත්ත පේතවත්ථුව ගෙන බලමු. මෙහි එන කථාව
වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනාරාමයෙහි වැඩවාසය කරන කාලයේ මහ ධනවත්,
බලවත් සිටුවරයෙක් සිටියා. මහධන සිටුවරයා කියලා නමකුත් තිබුණා.
මොහුට පුතෙක් හිටියා. ඔවුන්ගේ ධනය විශාල නිසා ඔහුගෙන් පසුව එය පරිභෝග කිරීමට සුදුසු
වැඩ පිළිවෙළ ගැන සිතා තම පුතුට කිසිදු අධ්‍යාපනයක් නො දී සියලු ධනය පුතුට පවරා
කම්සැපයට ගිජු වූ රූමත් තරුණියක් සරණ පාවා දුන්නා. මේ නූගත් දෙපළ කිසිදු දානාදි
පින්කමක් හෝ නො කර ඇති තරම් කම් සැප විඳ අවසන ධන විනාශයට පත් ව මහමඟට ඇද වැටුණා.
අන්තිමට මේ සිටු පුත්‍රයා ප්‍රසිද්ධ හොර දෙටුවෙක් බවට ත් පත් වුණා. නීතියේ රැහැණටත්
හසු වී මරණයට පත් කරන්නට වධකස්ථානයට නගරය මැදින් රැගෙන යන විට සුලසා නම් නගර
සෝභිනියක් ඔහු දැක සිත ඇදී ගොස් කරුණාව උපදවා අග්ගලා සහිත ආහාරයක් ඔහු වෙත යැවුවා.
ඒ අවස්ථාවේ බඩසයින් අධික ව පෙළෙමින් සිටි මේ තරුණ සොර දෙටුවා තමන් අතට පත් අග්ගලා
කෑමට සූදානම් වෙත් ම ඔහු ඉදිරියේ මුගලන් මහරහතන් වහන්සේ පෙනී සිටියා. ඒ වෙලාවේ තව
මොහොතකින් මරණයට නියම වී සිටින තමන්ගේ ආහාරය පිණිස මේ අග්ගලා ගැනීමට වඩා පින් සිදු
වීම පිණිස මුගලන් මහ රහතන් වහන්සේට පිදීම පරලොව ගමනට උපකාර වේ යැයි සිතා උන්වහන්සේට
එය පිදුවා.
ඒ පිනෙන් උසස් දිව්‍ය භවයක් ලබා ගැනීමේ හැකියාව තිබුණත් ඔහුගේ මරණාසන්න අවස්ථාවේ
චුති සිතෙහි සුලසාව ගැන කාමරාගී සිතිවිල්ලක් පහළ වූ නිසා මහ නුග රුකෙක රුක්
දෙවියෙක් වී උපන්නා.
මෙම ලිපියේ ඉතිරි කොටස
මීළඟ බුදුසරණ කලාපයේ පළවේ. |