[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාලයාගේ දුක හා පණ්ඩිතයාගේ සතුට

බාල පණ්ඩිත සූත්‍රය:

බාලයාගේ දුක හා පණ්ඩිතයාගේ සතුට

පොසොන් පොහොය යනු මේ රටේ ජනතාව ආලෝකවත් වූ දිනයයි. අපේ රටට ඇති ලොකුම සම්පත බුදුදහමයි. මේ උතුම් ධර්මය අපට ලැබුණේ අපගේ භාග්‍යයකටයි. මේ උතුම් ධර්මයේ වටිනාකම තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ඒ ධර්මය අනුගමනය කළහ. එය තම ජීවන මාර්ගය කරගත්හ. ඒ නිසාම අපේ පැරැන්නෝ පුදුම එළවන සුළු හපන්කම් කළහ. ඒ අතර අභීත වීරවරයන්, දක්ෂ විශ්මිත නිර්මාණශීලීන්, ත්‍රිපිටක පඬිවරුන් මෙන්ම ගද්‍ය පද්‍ය නිර්මාණකරණයෙහි අති සමත් ලේඛකයින් ද දැක ගන්නට පුළුවන.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ ශ්‍රේෂ්ඨතම ඓතිහාසික සිද්ධීන්ට පදනම වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමයි.

දේවානම් පියතිස්ස රජු මුණ ගැසුණු. පළමුවැනි අවස්ථාවේ දීම මිහිඳු හිමි කළේ තමන් දේශනා කරන ධර්මය තේරුම් ගැනීමේ ශක්තිය රජුට ඇත්ද යන්න විමසීම සඳහා ප්‍රශ්න කිහිපයක් රජුගෙන් ඇසීමයි. එම ප්‍රශ්නවලට රජතුමාගෙන් ලැබුණු පිළිතුරු අනුව එතුමා බුදුදහම වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක් හා තැන්පත් මනසක් ඇත්තකු බව මිහිඳු හිමියන්ට වැටහිණි.

ඉන්පසුව රජතුමා ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කළහ. පළමුවැනි දිනය මිස්සක පර්වතයේ වැඩ සිටි මිහිඳු හිමියෝ රජතුමාගේ ආරාධනය අනුව අනුරාධපුරයට වැඩම කළහ. පෙර මඟට ගොස් මිහිඳු හිමි ඇතුලු පිරිස ගෞරවයෙන් පිළිගෙන රාජ මාලිගාවට වැඩමවාගෙන ගියහ. මෙහිදී තමන් වහන්සේ ඇතුලු පිරිස පිළිගත් මිත්‍රලීලාව දැක පැහැදුණු මිහිඳු හිමියෝ බුදු සසුන මෙරටෙහි ස්ථිර ලෙසම පිහිටන බව නිසැකව ම දැන ගත්හ. රජගෙදර දී දන් වළඳා අවසානයේ දී රැස්ව සිටි පිරිසට ගැළපෙන පරිදි විමානවත්ථුවෙන් හා ප්‍රේත වත්ථුවෙන් ධර්ම දේශනා කළහ.

රාජමාලිගයට පමණක් සීමා නොකොට අපටත් ධර්මය අසන්නට අවස්ථාව සලසා දෙන ලෙස රටවැසියන් කරන ලද ඉල්ලීමකට අනුව ඇත්හල සූදානම් කර එහි රැස් වූ විශාල පිරිසකට මිහිඳු හිමියෝ කුසල් අකුසල් කර්මයන්හි ඵල විපාක පෙන්නුම් කරන දේවදූත සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. ඉන්පසු නන්දන නම් රාජකීය උද්‍යානයෙහි දී බාල පණ්ඩිත සූත්‍රය දේශනා කළ අතර එය ඇසීමට දහස් ගණනක් ජනතාව රැස් වූහ.

එහිදී කාන්තාවන් දහසක් පමණ සෝවාන් ඵලයට පත් වූ බව වංශකතා අපට පෙන්වා දෙයි.

එදා මේ ලක්දිව පැවැති විවිධ ආගමික විශ්වාසයන් හා එදා සිටි ජනතාවගේ සිතුම් පැතුම් විනිවිද දුටු මිහිඳු හිමියෝ ඔවුන්ගේ සිතට, හදවතට දැනෙන පහසුවෙන් අවබෝධ වන ධර්මයක් දේශනා කළ බව බාල පණ්ඩිත සූත්‍රය තෝරාගැනීමෙන් පැහැදිලි වනු ඇත.

මෙම සූත්‍රයෙන් කියැවෙන්නේ බාලයා හා පණ්ඩිතයා යන දෙදෙනාගේ ලක්ෂණයන් ය. බාලයා යනු අර්ථය හා අනර්ථය නොදන්නෙකි. මොහු අසත්පුරුෂයෙකි. දුර්ජනයෙකි.

බාලයා හඳුනා ගැනීමට ඔහු හා බැඳුණු ගතිලක්ෂණ තුනක් මෙහි දක්වා ඇත. එනම් නපුරු සිතිවිලි සිතීම, නරක වචන ප්‍රකාශ කිරීම, හා වැරැදි ක්‍රියාකාරකම්වල යෙදීමයි. සිත, කය, වචනය යන තුන්දොරින් සිදුවන අකුසල් හෙවත් දස අකුසල් කිරීම බාලයාගේ මූලික ලක්ෂණය ලෙස පෙන්නුම් කර ඇත.

දස අකුසල් යනු මොනවාද? දැඩි ලෝභය, වෛරය හා මිථ්‍යා දෘෂ්ටි යන කරුණු තුන සිතින් කරන අකුසලයන් ය.

බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, ප්‍රයෝජනයක් නැති ප්‍රලාප හිස් වචන ප්‍රකාශ කිරීම, වචනයෙන් සිදුවන අකුසලයන් ය.

සතුන් මැරීම, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, සුරාපානය කයින් සිදුවන අකුසලයන් ය.

යම් කිසිවකු මේ තුන් වැදෑරුම් වැරැදි කරන්නේ නම් ඔහු මෙලොවදීම තුන් ආකාරයක දුක් වේදනාවන්ට ලක්වන බව මේ සූත්‍රය තුළින් පෙන්වා දී ඇත.

මේ අයුරන් බාලයා මෙලොව දීම තුන් ආකාරයක දුකක් දොම්නසක් විඳියි. බාල අසත්පුරුෂයා සභාවක හෝ පාරක හෝ හතරමං හන්දියක හෝ සිටින්නේ නම්, එහි රැස්වන අය ඒ බාලයාගේ අගුණ කතා කරති. මෙයින් අදහස් වන්නේ ඔහු සමාජය තුළ නින්දාවට අපහාසයට, අපකීර්තියට පත්වන බවයි.

මේ අයුරින් මහජනයා කතා කරන්නේ පාපී ක්‍රියා එනම් අන්‍යන්ට, සමාජයට, වද වේදනා ගෙන දෙන ක්‍රියා ඔහු අතින් සිදුවන නිසයි. මෙය බාලයා මෙලොවදීම ලබන පළමුවන දුක්ඛ දෝමනස්සයයි.

රජවරු අපරාධකරන පුද්ගලයින් අල්ලා ඔවුනට නොයෙකුත් වධ හිංසා පමුණුවති. කසයෙන්, වේවැල්වලින්, දෙපලුකළ ලීයෙන් තලති. අත්පා කන් නාසාදිය කපා දමති. රත් වූ කල ශරීරයට ඉසිති. සුනඛයන් ලවා හපා කවති. හුලෙහි හිඳුවති. කඩුවෙන් ගසා හිස සිඳ දමති. මේ ආදී වශයෙන් වධ හිංසා රාසියක් පමුණුවති.

බාලයා මේවා දැක මමත් මෙවැනි වැරැදි වැඩ කළ අයෙක්මි. කවදා හෝ රජවරු දැන ගතහොත් මටත් මේ වද වේදනා විඳින්නට සිදුවනු ඇත. මේ අයුරින් බාලයා දුකට, දොම්නසට, වේදනාවට පත්වෙයි. මෙය බාලයා මෙලොව දී විඳින දෙවන දුක් දොම්නස් වේදනාවයි.

මහා පර්වතයක සෙවණැල්ල පොළොවට වැටී පැතිරෙන්නාක් මෙන් පුටුවක හෝ ඇඳක වාඩි වී සිටින බාලයාට තමා කරන ලද පාප කර්මත්, වැරදිවැඩත් සිහිපත් වේ. මා විසින් යහපත් දේ හොඳ දේ කර නැත. කරන ලද්දේ වැරැදි වැඩමයි. වැරැදි වැඩ කළ අයට අනිවාර්යයෙන් ම මත්තෙහි දුක් විපාක විඳින්නට සිදුවනු ඇත. මේ අයුරින් සිතමින් සෝක කරයි. ක්ලාන්ත වෙයි, වැළපෙයි, අත් දෙකින් පපුවට ගසා ගනියි, සිහි මුළාවට පත්වෙයි. මේ දුක් වේදනා බාලයා මෙලොව දී ම ලබන තුන්වන දුක්ඛ දෝමනස්සයයි.

පාපකාරී ක්‍රියා සිදුකොට අපායෙහි උපත ලබන කෙනකුට විඳින්නට වන දුක් වේදනා ඉතාම භයානක බව මේ සූත්‍රයෙන් පෙන්වා දී ඇත. පාපකාරී ක්‍රියා කළ කෙනකුට රජුගේ නියමයෙන් පෙවරවරුයෙහි තියුණු ආයුධවලින් පහරදීම් සිදුකරයි. මධ්‍යහ්නයේත් සවසත් මේ අයුරින් ම සියක් වාරය බැගින් ආයුධවලින් පහර දෙති. අවසානයේ දීි රජුගේ නියමයෙන් මරණයට පත්කරයි. මේ වේදනාව ඉතාම දරුණු ය. බරපතළ ය. පාපකාරී පුද්ගලයා මේ විඳින වේදනාව බුදුරදුහු උපමා කළේ ගල්කැටයකට ය.

මෙවැනි පුද්ගලයකුට නිරයෙහි දී විඳින්නට සිදුවන්නේ හිමාල පර්වතය වැනි විශාල දුක් කන්දරාවක් බව බුදුරදහු පෙන්වා දුන්හ. මෙයින් පෙනී යන්නේ වැරැදි වැඩ කළ පුද්ගලයා නිරයෙහි විඳින දුක විස්තර කිරීම අතිශය දුෂ්කර බවයි.

තම ඉන්ද්‍රියයන් පිනවීමට විවිධ පාප ක්‍රියාවල යෙදෙන බාලයා මරණින් පසු සමහර විට තිරිසන් ආත්මයක උපත ලබනු ඇත. මෙසේ විවිධ භවවල ඉපදී තියුණු වධ වේදනා විඳ පෙර කරන ලද සුළු පිනක ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍යයකු වී උපත ලබන්නටත් පුළුවන.

මෙම සූත්‍රයෙහි සඳහන් කර ඇත්තේ මිනිසකු වීම කණ කැස්බෑවා විය දණ්ඩේ සිදුරෙන් ආලෝකය බලන්නා සේ අතිශය දුෂ්කර සිදුවීමක් බවයි. මේ මිනිසත් බවින් ප්‍රයෝජනයක් නොගෙන බාලයකු වී කටයුතු කිරීම තුළින් මොනතරම් අවාසනාවන්ත දුක්ඛ දායක ප්‍රතිඵල අත්වේදැයි අප සිතා බැලිය යුතුව ඇත.

මේ සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට පණ්ඩිතයා යනු නුවණැත්තා ය. කුසල්, අකුසල් හඳුනාගෙන කුසල ක්‍රියාවල යෙදෙන්නා ය. ඔහුගේ සිතිවිලි යහපත් ය. යහපත් වචන කතා කරයි. කරන්නේ ද යහපත් ක්‍රියාවන් ය. මේ නුවණැත්තාගේ චරිත ලක්ෂණයන් ය. මේ තුළින් නුවණැත්තා තුන් ආකාරයකින් සතුට භුක්ති විඳියි.

මහජනතාව රැස්වෙන තැන්වලදී තමාගේ ගුණ ගැන කතා කරන බව පණ්ඩිතයාට දැන ගන්නට ලැබෙයි.

ගුණවත් ජීවිතයක් ගත කරන නිසා මේ අයුරින් ප්‍රශංසා ලබන බව සිතන නුවණැත්තා ඒතුළින් මහත් සතුටක් විඳියි. මෙය පණ්ඩිතයා මෙලොව දී ලබන පළමුවන සොම්නසයි. රජු විසින් වැරැදි කරන අයට පමුණුවන දඬුවම් නුවණැත්තා දකියි.

දඬුවම් ලබන එබඳු වරදක් මා සිදුකර නැත. ඒ තුළින් නුවණැත්තා ලබන සතුට දෙවන සොම්නසයි. අකුසල් කළ අය ඒකාන්තයෙන් ම දුගතිගාමී වෙති. මා අකුසල් කර නැත. කරන්නේ ද නැත. ඒ නිසා කිසිදු තැවීමක් මට නැත. මේ නිසා හැඬීම් වැළපීම්වලින් තොරව මට සුගතිගාමී වන්නට පුළුවන්. මෙය නුවණැත්තා ලබන තුන්වන සොම්නසයි. මේ අයුරින් ලබන දිව්‍ය සම්පත්වල ප්‍රමාණය කියා නිම කළ නොහැකි බව බුදුරදුහු පෙන්වා දුන්හ.

සත් රුවනින් හා චතුර් විධ රත්නයන්ගෙන් යුත් සක්විතිරාජ සම්පත්වලට වඩා උතුම් සැපයක් දිව්‍ය සම්පත්වලින් ලබන බව පෙන්වා දුන්හ. සසර කරන ලද පුණ්‍යවන්ත ක්‍රියාවල බල මහිමයෙන් සැප සම්පතින් පිරි මනුෂ්‍ය ආත්මයක් ලබා ඉතාම ඉක්මණින් නිවන් අවබෝධ කරගන්නා බව මේ සූත්‍රය තුළින් පෙන්නුම් කර ඇත.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]