[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් පණිවුඩ

පොසොන් පණිවුඩ

සියලු සතුන් වෙත මෙත් සිත් පෙරටුව කටයුතු කරමු

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගිය තැන ධර්මාශෝක මහාධිරාජයාගේ උදාරතර ධර්මවිජය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මහා මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ම ශී‍්‍ර ලංකා ද්වීපය බුදු දහමේ ආලෝකයෙන් ප්‍රභාවිත වන්නට විය. ශී‍්‍ර ලාංකේය සමාජ, ආර්ථික, දේශපාලනික වටිනාකම් නවමු දාර්ශනික මං පෙතකට යොමු කළ ‍මෙම ‍ඓතිහාසික සංසිද්ධිය මහත් උත්කර්ෂයෙන් අනුස්මරණය කිරීම සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ සිරිතයි.

මහින්දාගමනය යනු හුදු ඓතිහාසික සංසිද්ධියක් පමණක් නොව එය ලාංකේය සංස්කෘතිය අර්ථපූර්ණ පරිවර්තනයකට ලක් කළ නියාමක බලවේගයයි. දානය, ප්‍රියවචනය, අර්ථචරියාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් සුපෝෂිත ජනතාවාදී රාජ්‍ය තන්ත්‍රයක් මෙන් ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්මවිහරණයන් සිය ජීවන ප්‍රවෘත්තිය කරගත් සිංහල බෞද්ධයා නිර්මාණය වන්නේ මෙම සංස්කෘතික පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස ය.

අද වන විට සමස්ත ලෝකය ම කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩාවට පත්ව ඇත. මෙවන් මොහොතක ශී‍්‍ර සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති බෞද්ධයන් ලෙස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් තමන්ගේත්, අනුන්ගේත්, සමස්ත සමාජයේත් සෞඛ්‍යමය යහපැවැත්ම උදෙසා සිය වගකීම ඉටුකරමින් අර්ථාන්විත ව ආධ්‍යාත්මික ගුණවගාවන්හි නිරත වෙමින් මෙවර පොසොන් පොහෝ දිනයේ කටයුතු කිරීම සැමගේ සමාජ යුතුකම බව සිහිපත් කරමු. එසේ ම “පරත්ථං පටිපජ්ජථ” යන උතුම් සම්බුද්ධෝපදේශය මත පිහිටා මෙම වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මහජනයා කෙරෙහි හැකි අයුරින් උපකාර කරමින් තථාගත දහමට අනුව යතාර්ථවාදී නුවණින් යුතුව සියලු සත්ත්වයා වෙත මෙත් සිත් පෙරටුව කටයුතු කිරීම මහින්දාගමනය අර්ථාන්විත ව ස්මරණය කිරීම බව මෙහිලා ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

අසිරිමත් පොසොන් පොහෝ දිනය අනුස්මරණය කරමින් ලේක්හවුස් ආයතනය මඟින් මිහින්තලා පුදබිමේ 59 වන වරටත් ආලෝක පූජාව සංවිධානය කිරීම අගය කරන අතර ම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ලෝ වැසි සැමට නිදුක් නිරෝගී සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.

****

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් යහපත් බෞද්ධයින් ලෙස පොසොන් උත්සවය සමරමු

සම්බුද්ධත්වයේ පහස ලද දඹදිව් තලයේ සිට මෙරටට සම්බුදු දහමේ පණිවිඩය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට කළ ශාසනික මෙහෙවර සදානුස්මරණීය වේ. ඈත අතීතයේ පටන් තම යුතුකම් ඉටු කිරීම සහ කළගුණ සැලකීම වැනි උතුම් ගුණ දම්වලින් පිරි ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් උන්වහන්සේ ලක්දිවට වැඩම කළ දිනය වන පොසොන් පොහෝ දිනය අනුස්මරණය කිරීම සිරිතක් ලෙසින් පවත්වාගෙන එති. උන්වහන්සේගේ වැඩම කිරීමත් සමඟ අපේ රට තුළ බෞද්ධ ප්‍රතිපත්ති සහ ඇදහීම් ස්ථාපිත වූවා පමණක් නොව සම්මා සම්බුදුරජාණන් වහන්සේ තිලොව යහපත සඳහා දේශනා කළ ධර්මය ස්ථාපිත වන්නට විය. එදා මෙදා තුර වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් අප ලොව පවතින උතුම්ම බෞද්ධ රාජ්‍යක් ලෙස ලොව පතළ විය.

මේ නිසාම පොසොන් පුන් පොහෝ දින බෞද්ධයින් වශයෙනුත්, ශ්‍රී ලාංකිකයින් වශයෙනුත් අපට ඉතා වැදගත් දිනයෙකි. මෙම දිනය සැමරීම සඳහා රජරට ප්‍රධාන කොට නොයෙකුත් සැරසිලි, පෙරහර මෙන්ම දාන සීල භාවනා ආදී පුණ්‍ය කටයුතුවල යෙදෙන ලක්ෂ සංඛ්‍යාත පින්වත්හු පොසොන් පොහෝ දින උත්කර්ශවත් ලෙස සමරති.

එහෙත් මේ වසර ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගෙන ඇත්තේ ලොව පුරා සෑම රටකම පාහේ පැතිර යන වසංගතය නිසාවෙනි. මේ නිසාම මෙම වසරේ වෙසක් උත්සවය මෙන්ම පොසොන් උත්සවය ද තම නිවෙස්වල ම සිට සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුගමනය කරමින් සැමරීමට සියලු දෙනාම අදිටන් කරගත යුතුව ඇත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් යහපත් බෞද්ධයින් ලෙස පොසොන් උත්සවය ද සැමරීමට අපට කිසිදු බාධාවක් නැත.

මේ අවස්ථාවේ දී බුදුන් වහන්සේගේ දර්ශනය අනුව අපගේ ඉදිරි ජීවන රටාවන් ප්‍රඥා සම්පන්න ව සිතාබලා හැඩගැස්විය යුතු අතර, ඒ පිළිබඳව අනාගත මිනිස් වර්ගයාට විශාල වගකීම් සම්භාරයක් පැවරෙනු ඇත. පරිසරය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් මිහිතලය අපට සපයන දෙයින් සෑහීමකට පත්වනු විනා මනුෂ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් ස්වභාව ධර්මයාට එරෙහි වීම සිදු නොකළ යුතු ය.

කෙසේ වෙතත් සීමාසහිත අවකාශයක් තුළ වුව ද පොසොන් පොහෝ දින නිමිතිකොට ගෙන පවත්වන්නා වූ සියලු පුණ්‍ය කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලැබේවා’යි ආශිංසනය කරම්හ.

****

පොසොන් අධිෂ්ඨානය විය යුත්තේ ‘බුද්ධ වචනය සුරක්ෂිත කරගනිමු’ යන්නයි

ශ්‍රී ලාංකික අපට වටිනාකම අතින් පොසොන් පොහොය දෙවැනි වන්නේ වෙසක් පොහොයට පමණකි. මීට වසර 2329 කට පෙර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම පොසොන් පොහොය දිනෙක වීම ඊට හේතුවයි. ඒ පොහොය අපේ රටේ නව යුගයක් ආරම්භ වූ දවසයි. නව දහමක් පමණක් නොව නව සංස්කෘතියක් ද අපට උරුම වන්නේ මහින්දාගමනයත් සමඟ ය. ඊට පෙර බුදුරජාණන් වහන්සේ මෙම දිවයිනට වැඩම කළත් දහම පවත්වාගෙන යන භික්ෂු පරපුරක් බිහි නොවුණි. බුදු සසුන මෙරට මුල්බැස ගැනීමට දේශීය භික්ෂු පරපුරක අවශ්‍යතාව මිහිඳු මාහිමියන් වහන්සේ පෙන්වා දුන්නේ එබැවිනි.

එදා ඇරඹුණු භික්ෂු පරපුර රාජ්‍ය අනුග්‍රහය සහ සැදැහැවත් ගිහි ජනතාවගේ සහාය ද ඇතිව ත්‍රිපිටක බුද්ධ වචනය මෙතෙක් ආරක්ෂා කරගෙන ආයේ ය. එම වගකීමේ අවශ්‍යතාව අතීතයට වඩා වර්තමානයෙහි පැහැදිලිව දක්නට ඇත.

පොත් රැකුණාම බුදු දහම සුරැකේ ද? එය අණ පනත්වලින් කළ හැකිදැයි ප්‍රශ්න කරන්නෝ ද වෙති. ඒ අය මහින්දාගමනයේ සිට මෙතෙක් ආ සසුන් මඟ සිහිපත් කර ගැනීමට තරම් නම්‍යශීලී නොවන්නේ මාගධී භාෂාව නොහැදෑරූ ඊනියා අරිහතුන් වහන්සේලාගේ අර්ථ කථන හිස් මුදුනින් පිළිගැනීම නිසා ය.

දහම සුරැකීමට එය ප්‍රගුණ කළ යුතුය යන්න ගැන විවාදයක් නැත. හැබැයි ඒ දහම ඇතුළත් ත්‍රිපිටකය ද සුරක්ෂිත විය යුතුය යන්න බැහැර කළ නොහැකි ය. ලේක්හවුසියෙන් මිහින්තලාව ආලෝකවත් කෙරෙන මේ වෙලාවේ ධර්මාලෝකයෙන් සැම හදවතක්ම ආලෝකමත් වේවා.

****

වසංගත රෝගාදියෙන් අතමිදී සැනසිල්ල ලැබේවා

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා සම්බුද්ධ ශාසනය පිහිටුවා මේ වර්ෂය වන විට අවුරුදු දෙදහස් තුන්සිය විසි නමයක් සම්පූර්ණ වේ. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙසිය තිස් හයක් ගත වූ කාලසීමාවේදී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ දී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අවශ්‍ය පිරිවර ද සමඟ ලක්දිව මිස්සක පව්වේ අම්බස්ථලයට වැඩමවා දෙවන පෑතිස් මහ නිරිදුන් ඇතුළු පිරිසට දහම් දෙසමින් ඇරඹූ ලක් බුදු සසුන නිසා ශ්‍රී ලංකාවට ලැබුණ ශ්‍රී විභූතිය මෙතෙකැයි විස්තර කළ නොහැක.

එදා මිහිඳු මාහිමි ඇති කළ සංස්කෘතිය නිසා ශ්‍රී ලංකාවේ ඇතිවූ පරිවර්තනයෙන් සිංහලයෝ ගුණයෙන් ප්‍රඥාවෙන් හෙබි ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ගොඩ නැංවූ විශිෂ්ට ජාතියක් බවට පත්වූහ. කෘතවේදී වූ එම බෞද්ධ ජනතාව මිහිඳු මා හිමි වැඩම වු පොසොන් පෝය ඉතා උත්කර්ෂවත් ව සමරමින් ආමිෂ - ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමින් තම දිවිපෙවෙත වඩාත් ගුණයෙන් ආලෝකවත් කර ගැනීමට එදා සිටම උත්සාහයෙන් ක්‍රියා කළ ආකාරය සෑම පොසොන් දිනයකදී ම දක්නට ලැබේ.

එහෙත් දැන් වර්ෂ දෙකක පමණ සිට පවත්වාගෙන ආ අනුරාධපුර - මිහින්තලා වන්දනාගමන් හා ඒ ඒ ස්ථානවල පැවැත්වූ දන්සැල් ආදිය පවත්වා ගැනීමට නොහැකිවීම ගැන මහජනතාව තුළ කණස්සල්ලක් පවතින බව අපි දනිමු. මේ කොරෝනා නැමැති වසංගත රෝගය නිසා ජනතාවට නිවෙස්වලට වී කාලය ගත කිරීමට සිදු වී ඇති බැවින් වෙසක් පෝය දිනයේ මෙන්ම මෙම පොසොන් පෝය දිනයේ දී ද තම නිවෙස්වල රැඳී සිටිමින් පන්සිල් - අටසිල් ආරක්ෂා කරගෙන හැකි තරමින් අන් අයට උදව් උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගන්නා හැටියට විශේෂයෙන් සිහිපත් කරමු.

කොතරම් අපහසුතා මධ්‍යයේ වුවත් ලේක්හවුස් - බුදුසරණ විදුලි ආලෝක පූජාව මෙවරත් පැවැත්වීම පිළිබඳව එම සංවිධායක මණ්ඩලයට විශේෂයෙන් පින් දෙමින් එම පූජා පින්කම ඉදිරියටත් පවත්වාගෙන යාමට ශක්තිය ලැබේවායි ආශිර්වාද කරමි. තවද 1965 ජූනි 13 දා ඇරැඹි බුදුසරණ පුවත්පත ද වර්ෂ 56 ක් අඛණ්ඩව පවත්වාගෙන යමින් කරන විශිෂ්ට ධර්ම සන්නිවේදනය තව තවත් ඔපවත් වෙමින් ඉදිරියට පවත්වාගෙන යාමට ධෛර්යය ලැබේවා’ යි ද පතමි. ශ්‍රී ලංකාවාසී - ලෝකවාසී සැමට මෙම භයානක වසංගත රෝගාදියෙන් සම්පූර්ණයෙන් ම අතමිදී සහනයක් සැනසිල්ලක්ම ලැබේවා’යිද තෙරුවන් සරණ පෙරදැරිව මෙම වැදගත් පොසොන් පොහොය දිනයෙහි ආශිර්වාද කරමින් සෙත් පතමි.

****

තථාගත දේශනාව අනුව ජීවිත අර්ථවත් කර ගනිමු

උතුම් ථේරවාදී සම්බුද්ධ දේශනාව රැගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම සිහිපත් කෙරෙන පොසොන් පොහොය ශ්‍රී ලාංකේය සැදැහැවත් බෞද්ධයන්ගේ සදානුස්මරණීය වටිනාම දිනයයි.

අප ලොව්තුරා තථාගත බුදුපියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අර්ථවත් කර මිහිඳු මහරහතන් වහන්සේට කෘතවේදීත්වය පළ කිරීම අප අනාදිමත් කාලයක පටන් සිදු කරන්නකි.

දේවානම්පියතිස්ස මහ රජු අභිමුව සම්බුද්ධ දේශිත වීමංසන ප්‍රඥාව පිළිබිඹු කරමින් “චුල්ලහත්ථිපදෝපම සුත්‍රය” මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කොට වදාළහ. රජු ධර්මයෙහි පිහිටීමෙන් ඇරැඹි සදහම් පණිවිඩය ශ්‍රී ලංකාදීපයෙහි මුල්බැස ගැනීමෙන් නිවුණු සැනසුණු ජීවිතයක හා සබුද්ධික වීමංසනසීලී සමාජයක දායාදය අප වෙත උරුම විය. එදා පටන් ශ්‍රී ලාංකීය රජ දරුවෝ ඇතුළු ජනතාව තථාගත දේශනාව අනුව ජීවිත හැඩ ගස්වා ගැනීම සිය යුතුකම සේ ම වගකීම ද කොට සලකා ගත්හ.

මහින්දාගමනය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව විවාද රහිත ය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝ ය.

සමස්ත පරිසරය දෙස මෙත් සිත් පෙරටුව කටයුතු කිරීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ අනුශාසනා ඉවහල් විය. අටලෝ දහම අනුව ජීවිතයට එළඹෙන ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප හා දුක් දෙස උපේක්ෂා සහගත ව බැලීමට අපට පුරුදු කළා සේ ම යහජීවන අත්දැකීම්වල පදනම බවට එම දහම පත් වූ බව අපි දනිමු.

දසරාජ ධර්මය පෙරටු කරගත් රාජ්‍ය පාලනය පිළිබඳව වූ සුවිශිෂ්ට ආකල්පය තුළින් අභිමානවත් රටක් ලෙසින් ලොවට පිවිසීමට අපට හැකියාව උදාවිය. ඒ අතීත මග පිළිබඳ නිවැරදි ආවර්ජනයක් සහිත වූ අතීත පාලකයෝ අපේ රට සමෘද්ධිය කරා මෙහෙය වීය. යහපත් රටක් ගොඩනැගීමට අදාළ වූ එම තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම කරගත් රාජ්‍ය සංකල්පයත් අපගේ පාලනයේ ද පූර්වාදර්ශය කර ගනිමු.

ජනතා කේන්ද්‍රීය ආර්ථික ඉලක්ක සපුරා ගත යුතු වන්නේ ද, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟිය යුත්තේ ද මහපොළොව, සතා සීපාවා, ගහ කොළට ද සංවේදී පුරවැසියන් ලෙස බව මම දැඩිව විශ්වාස කරමි. ඒ වෙනුවෙන් මාගේ සියලු ශක්තිය කැප කිරීමට අදිටන් කොටගෙන සිටිමි.

අතීත සම්ප්‍රදායයන් අනුව පොසොන් පෙරහර, තොරණ, දන්සැල් පවත්වමින් මහින්දාගමනය සැමරීමට අපට වර්තමානයේ ඉඩ ඇහිරී තිබේ. එහෙත් පවතින කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙමින්, දහමට අනුගතව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කළ යුතු ආකාරය පිළිබඳව අතිපූජ්‍ය මහ සඟරුවනේ මඟ පෙන්වීම් ලැබී තිබේ. එම අනුශාසනා දෙස අවධානය යොමු කරමින් තථාගත දේශනාව අනුව ජීවිත අර්ථවත් කර ගැනීමට මේ පොසොන් සමයේ අප අදිටන් කර ගත යුතු ය.

ඔබ සැමට ජීවිත ආලෝකවත් වන පින්වත් පොසොන් මංගල්‍යයක් වේවා !

****

ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල් වූ අර්ථාන්විත දිනයක් වේවා

අදීන ජාතියක් ලෙස නිර්මල බුදු දහම අනුගමනය කරමින් සහජීවනයෙන් කටයුතු කිරීමට මඟ පෙන්වා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක දී ගෞරවයෙන් යුතු ව සිහිපත් වේ.

ධර්මාශෝක රජු හා දේවානම් පියතිස්ස නිරිඳුන් අතර පැවති රාජ්‍ය තාන්ති‍්‍රක කල්‍යාණ මිත්‍රත්වයේ මහඟු ප්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර බුද්ධ වර්ෂ 236 දී පමණ බුදුදහම ලක්දිවට දායාද විය. මෙමඟින් අපගේ ජාතිය, ආගම මෙන් ම සංස්කෘතියේ නව යුගය ඇරඹිණි.

සීලය, මෛත්‍රිය, ගිලානෝපස්ථානය, ආගන්තුක සත්කාරය වැනි උතුම් ගුණාංග සපිරි ශිෂ්ට සම්පන්න ජාතියක් මෙ‍රටෙහි බිහි වූයේ ද ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංස්කෘතික පදනම මත ධර්ම ද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය ලෙස සිරිලක විරුදාවලියට පත් වූයේ ද මිහිඳු මාහිමියන් අප වෙත දායාද කළ බුදුදහමේ ආලෝකයෙනි.

බෞද්ධ සංස්කෘතිය තුළ කලාව, අධ්‍යාපනය, තර්ක බුද්ධිය, කෘෂිකර්මාන්තය ආදී සෑම අංශයක් ම දියුණු විය. මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදුදහමේ ජීව ශක්තිය නිසා ශී‍්‍ර ලාංකිකයන් ලොව කිසිදු ජන වර්ගයකට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස පෙරට ආ බව මම සිහිපත් කරමි.

වෙනදා පොසොන් පොහොයට බැතිමතුන්ගෙන් පිරී යන මිහින්තලා පුද බිම අද එසේ නොවන්නේ මිනිස් ජීවිත බිලි ගනිමින් ලොව පුරා පැතිර යන කොවිඩ් - 19 වසංගතයෙන් අප සියලු දෙනා ආරක්ෂා විය යුතු නිසා ය.

බුදුද‍හමේ උතුම් හරය නිවැරැදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම්කර ගැනීමටත් දුෂ්කරව ගෙවා දමන මෙම කාලය ඉතා වැදගත් බව මාගේ විශ්වාසයයි.

මෙම උතුම් පො‍සොන් පොහොය දිනය ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල්වූ අර්ථාන්විත දිනයක් බවට පත් වේවා’ යි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණින් සැමට නිරෝගී සම්පත වේවා.

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]