ලංකා දීපය ධර්මාලෝකයෙන්
ඒකාලෝක කළ සේක
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා
“මහ රජ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අප ශ්‍රමණයන් වන්නෙමු. ඔබට
අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු“ යැයි වදාළ සේක.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්වැනි ශත වර්ෂයෙහි මුල් අවධියේ පාටලීපුත්ත නගරයෙහි දී
පවත්වන ලද තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායයන්
වහන්සේ හා භික්ෂු මහා සංඝයා ද ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට, එහි සම්බුද්ධ සසුන
පිහිටුවන ලෙස මිහිඳු හිමියන්ට ආරාධනා කළහ. ඉතිහාසගත තොරතුරුවලට අනුව එම ආරාධනාව
පිළිගත් මිහිඳු මහ රහතන් වහන්සේ ඊට සුදුසු කාලය විමසා බැලූහ.
එදා ලංකාද්වීපයේ සිහසුන දැරුවේ මුටසීව රජතුමා ය. ලංකාද්වීපයේ බුදු සසුන පිහිටුවීමට
මෙය කාලය නොවේ යැයි කල්පනා කළ මිහිඳු මහ රහතන් වහන්සේ මුටසීව රජතුමාගේ පුත්
දේවානම්පියතිස්ස කුමරු රාජ්‍යත්වයට පත්වන තුරු බලා සිටියහ.
ශක්‍ර දේවේන්ද්‍රයා ද පැමිණ මිහිඳු මා හිමියන්ට ලංකාද්වීපයට වැඩම කොට බුදු සසුන
පිහිටුවන ලෙස ආරාධනා කර සිටි අතර ආරාධනාව පිළිගත් මිහිඳු මා හිමියෝ ඉට්ඨිය, උත්තිය,
සම්බල, භද්දසාල නම් මහ තෙරවරු ද අභිඤ්ඤාලාභී සුමන සාමණේර හා භණ්ඩුක උපාසක සමඟින්
වේදිසක පර්වතයෙන් අහසට නැඟ චේතිය පබ්බත නමින් හැඳීන් වූ මිස්ක පව්වට වැඩම කළහ.
උන්වහන්සේ ශ්‍රී ලංකා ධරණීතලයට වැඩම කළේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය.
එදින ලංකාද්වීපයේ සැනකෙළි දිනයකි. දේවානම්පියතිස්ස රජතුමා මේ සැනකෙළියේ එක් අංගයක්
වූ දඩයම පිණිස හතළිස් දහසක් පිරිවරාගෙන මිස්සක පව්වට ගිය හ.
එම අවස්ථාවේ දී මිස්සක පව්වට අරක් ගත් දේවතාවෙක් දේවානම්පියතිස්ස රජතුමාට වැඩම කළ
මහ තෙරුන් වහන්සේ දක්වමි‘යි සිතා මුවකුගේ වේශයක් ගෙන, රජතුමාට පෙනෙන ලෙස නොදුරු
තැනක තණපත් බුදින්නියක මෙන් හැසිරුණ බව කියැවේ. ඒ දුටු රජතුමා දුනු අමෝරාගෙන මුවා
පසු පස ලුහු බැන්දේය. එම මුව දෙන රජතුමා අඹතලය දක්වා ම කැඳවාගෙන පැමිණ මිහිඳු මහ
රහතන් වහන්සේ නුදුරෙහි ම නොපෙනී අතුරුදහන්විය.
මිහිඳු මාහිමියෝ රජතුමාට තිස්ස, තිස්ස යැයි ඇමතූහ.
ඉතාමත් ශාන්ත, සන්සුන්, හිස මුඩු කර කසාවත් හැඳී, මෙ තෙමේ මාගේ නමින් අමතන්නේ ය. මෙ
තෙමේ මනුෂ්‍යයෙක් ද නැතිනම් අමනුෂ්‍යයෙක් ද?, එසේත් නොවේ නම්, කවරෙක් වන්නේ දැ’යි
සිතී ය. ඒඅවස්ථාවේ දී මිහිඳු මා හිමියෝ
“සමණාමයං මහාරාජ... ගාථා පාඨය වදාළ හ.
මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිවරත්, දේවානම්පියතිස්ස රජතුමාත් මුණ ගැසුණ අවස්ථාවේ
දී, දෙපාර්ශවය අතර ඇති වූ සංවාදය ඉතාමත් බුද්ධිමත් වූ අවස්ථාවක් ලෙස දැක්වේ.
දේවානම්පියතිස්ස මහ රජතුමාට මිහිඳු මා හිමියන් මුණ ගැසුණු ඒ අවස්ථාවේ දී,
දේවානම්පියතිස්ස රජතුමා, ස්වාමිනී, ඔබ වහන්සේලා කුමකින් මෙහි වැඩියේ දැයි විමසා
සිටි යේ ය. “මහරජ දියෙන් නොම පැමිණියෙමු. ගොඩින් නොම ආවෙමු’යි මිහිඳු මහ රහතන්
වහන්සේ වදාළ හ.‘ එම අවස්ථාවේ දී මහරජතුමා උන්වහන්සේලා මෙහි අහසින් වැඩම කළ බව
දැනගත්තේ ය.
මෙම විමසීමෙන් අනතුරුව මිහිඳු මා හිමියෝ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රඥාවන්තයෙක්
දැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගත් බුද්ධි පරීක්ෂණය ද ඉතාමත් වැදගත් බව ඉතිහාසයේ
සඳහන් ව ඇත.
එහි දී මිහිඳු මා හිමියෝ දේවානම්පියතිස්ස මහ රජතුමාගෙන් වනයේ තිබූ අඹ ගස් පෙන්වා
ඇසූ පළමු ප්‍රශ්නය වූයේ
* රජතුමනි මේ ගස කුමක් ද?
ස්වාමීනි, අඹ ගසකි.
* මේ ගස හැර අන් අඹ ගස් ඇත්තේ ද? වෙනත් අඹ ගස් බොහෝ ඇත්තේ ය.
* මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර වෙනත් ගස් ඇත්තේ ද?
බොහෝ ඇත්තේ ය. ඒ අඹ ගස් නොවේ යැයි රජතුමා පිළිතුරු දුන්නේ ය.
* ඒ අඹ ගස් ද අඹ ගස් නොවන ගස් ද යන ගස් දෙවර්ගය ම හැර වෙනත් ගස් ඇත්තේ ද මහ
රජතුමනි?. එසේ ය ස්වාමීනි, ඒ මේ අඹ ගසයි.
* මහ රජතුමනි, ඔබට නෑයන් සිටී ද?. එසේ ය ස්වාමීනි. නෑයෝ බොහෝ ඇත.
* ඒ නෑයන් හැර නොනෑයන් සිටී ද?. නොනෑයෝ බොහෝ ඇත.
* අවසන මහරජතුමනි ඔබගේ නෑයෝ, නො නෑයෝ හැර අන් කිසිවෙක් ඇත්තේ දැයි විමසීය. ස්වාමීනි
එසේ ය ඒ මම ම වෙමි.
මිහිඳු මා හිමියන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා මහරජතුමා සපයන ලද පිළිතුරුවල ස්වරූපය
අනුව මහරජතුමා බුද්ධිමතකු බව මිහිඳු මා හිමියෝ වටහා ගත් හ.
ආධුනික කණ්ඩායමකට තෙරුවන් ගුණ හඳුන්වා දිය යුතු ම බව අවබෝධයෙන් සිටි මිහිඳු
මාහිමියෝ පළමුව එම කාර්ය ඉටු කළ සේක. ඒඅනුව පිලෝතික පිරිවැජියා හා ජාණුස්සෝනි
බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයක් ඇසුරින් චුල්ලහත්ථි පද උපමා කොට බුදුරජාණන්
වහන්සේගේ සුවිශේෂත්වය පැහැදිලි කරන ධර්ම රත්නයේ සහ සංඝරත්නයේ ගුණයන් පිළිබඳ හඳුන්වා
දෙනු ලැබී ය. ආධුනිකයකු සඳහා තුනුරුවන්ගේ ගුණ හඳුන්වාදීමක් වශයෙන් දේවානම්පියතිස්ස
මහ රජතුමා ඇතුළු පිරිසට පළමුව මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සඳහන් සූත්‍ර දේශනාවක්
වූ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක. මිහිඳු මාහිමියන් දේශනා කළ මෙම සූත්‍ර
දේශනාව අවසානයේ මහ රජතුමා ඇතුළු හතළිස් දහසක් පමණ කණ්ඩායමක් තෙරුවන් සරණ ගිය බව
කියැවේ.
මිහිඳු මාහිමියෝ ප්‍රමුඛ දූත කණ්ඩායම පසු දින රජ මාලිගාවට වැඩම කළහ. රජ මාළිගාවෙන්
දන් වළදා අවසන පේතවත්ථු, විමාන වත්ථූ හා සච්ච සංයුක්තය ප්‍රධාන කොට දහම් දෙසූහ.
බොරු කීම, කේළාම් කීම, සොරකම් කිරීම, පර පුරුෂ, පර ස්ත්‍රී සේවන ආදී ළාමක
ක්‍රියාවන්, පස් පව්, දස අකුසල් ආදී අකුසල් කර්මයන්ගේ විපාකයන් වශයෙන් විඳීන්නට
සිදුවන කටුක අප්‍රසන්න විපාකයන් පේතවත්ථුවේ දී මනාව පැහැදිලි කරයි.
ඒ වගේ ම විමාන වත්ථුව තුළින් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, දයාව, කරුණාව,
මෛත්‍රීය හා ධර්මානුකූල නිවැරදි ජීවන පුරුදු පුහුණු කිරීම හේතුවෙන් සසරගත ජීවිතයේ
දී විඳීන්නට සිදු වන්නා වූ සැප විපාක පිළිබඳව වර්ණානාවන් සිදු කර ඇත. ඒ වගේ ම සච්ච
සංයුක්තයේ අන්තර්ගත සූත්‍ර බොහොමයක ම පුද්ගල ආචාර ධර්ම පිළිබඳ උගන්වන අතර ජීවිත
විසුද්ධියට අවශ්‍ය ගමන් මඟ ද පෙන්වා දෙනු ඇත.
මේ අනුව මිහිඳු මාහිමියෝ දෙවනුව සිදු කොට ඇත්තේ පුද්ගල ආචාරශීලි ඇවතුම්-පැවතුම්
වැඩි දියුණු කරලීම සඳහා බෞද්ධ ඉගැන්වීම තුළ කතා කරන කර්ම විපාක සංකල්පය සරල ලෙසින්
හඳුන්වා දීමකි. මේ දේශනා අවසානයේ පන්සියයක් ස්ත්‍රීහු සෝතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කළ
බව ද සඳහන් වේ.
ඒ වගේ ම මිහිඳු මා හිමියෝ මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයේ අන්තර්ගත දේවදූත සූත්‍රය,
වාග් දුශ්චරිත, මනෝ දුශ්චරිතයෙන් ඈත්ව කාය සුචරිතය. වාග් සුචරිතය, මනෝ සුචරිතය
දියුණු කර ගැනීමට අවශ්‍ය දහම් උපදේශ ලබා දුන්හ. මෙම සූත්‍රයෙන් සුචරිතවත් සමාජ
සාමාජික පිරිසක් ඇති කරමින් ජීවිතය දකින්නට අවශ්‍ය මඟ පෙන්වා දුන්හ. මෙම සූත්‍ර
දේශනාව අසා දහසක් දෙනා සෝවාන් මාර්ගඵලාවබෝධය ලබා ගත් බව ද සඳහන් වේ.
ඒ වගේ ම මිහිඳු මාහිමියෝ සංයුක්ත නිකායේ ආසිවිස වර්ගයේ ඇතුළත් ආසිවිසෝපම සූත්‍රය ද
දේශනා කළ හ. ජන ජීවිතයට ඉතාමත් සමීප වූ උපමා රැසක් උපයෝගී කරගනිමින් ගැඹුරු දහම්
කරුණු පැහැදිලි කර දීමක් මෙම සූත්‍ර දේශනාවේ දී සිදු කර ඇත. මෙම සූත්‍ර දේශනාව
අවසානයේ දී ද දහසක් දෙනා සෝතාපත්තිඵලයට පත් වූ බව සඳහන් වේ.
පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය සඳහා උපදෙස් මෙන් ම ජීවිතයේ යහපත උදෙසා වූ ගමන් මග ද
පැහැදිලි කරමින්, නන්දන උයනට වැඩම කොට රැස්ව සිටි පිරිසට අනමතග්ගිය සංයුක්තයෙන්
දහම් දෙසූ සේක. ඉන් අනතුරුව සංයුක්ත නිකායේ මහා වග්ගයෙහි ඇතුළත් අග්ගික්ඛන්ධෝපම
සූත්‍රය ද මිහිඳු මාහිමියෝ දේශනා කළ සේක.
දීපා පෙරේරා |