ආධ්‍යාත්මික කරුණු ඉදිරියේ
බාහිර පිළියම් සොයනවා ද ?
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
කිසිදු ගැටලුවක සමස්තය නොසලකා එම ගැටලුවේ එක් එක් පැතිකඩ පමණක් සලකා ගනු ලබන කිසිදු
පිළියමක් ස්ථිරසාර විසඳුමක් වන්නේ නැත.
මිනිසුන්ගේ සියලු අපේක්ෂාවන් අතර ජීවිතාපේක්ෂාව නැතහොත් නිරුපද්‍රිත ව ජීවත්වීමේ
ආශාව පළමුවැන්න වේ. බුදු දහමේ පංචශීල ප්‍රතිපදාවේ පළමුවැන්න ප්‍රාණඝාතයෙන් වැළකීම
බව අපි දනිමු. බුදුන් වහන්සේට අනුව එය සමස්ත සමාජය විසින් දියයුතු ප්‍රතිඥාවකි.
මම ඔබගේ ජීවිතයට හානි නො පමුණුවමි යන ප්‍රතිඥාව හෙවත් පොරොන්දුව හැම කෙනකුම ආරක්ෂා
කරයි නම් එබඳු සමාජය විශිෂ්ට වූවකි. වර්තමානය වන විට එකිනෙකා විසින් එකිනෙකාගේ
ජීවිත විවිධ ක්‍රම මඟින් ඝාතනය කරනු ලබන අතර, එනිසාම ස්වභාව ධර්මය විසින් ද
මිනිසාගේ ආයු ප්‍රමාණය අඩු කරනු ලබමින් පවතී.
බුදු දහම අනුව මිනිසාගේ ජීවිතාපේක්ෂාව වර්ෂ දහයකට පමණක් සීමා කෙරෙන කාලයක් ද එළඹේ.
දීඝනිකායේ ඇතුළත් එම බුද්ධ දේශනාව මෙසේ ය.
“මහණෙනි, අනාගතයෙහි මෙබඳු කාලයක් වේ. එම කාලයෙහි මිනිසුන්ට පරමායුෂ වර්ෂ දහයක් ඇති
දරුවෝ වන්නාහ. මිනිසුන් අතර පස් වයස් ඇති කුමරියෝ විවාහයට සුදුසු වන්නාහ. මහණෙනි,
මෙකල ගිතෙල් වෙඬරු ආදී භෝජනවල රස අතුරුදන් වේ. මෙකල කුරහන් අග්‍ර භෝජනය වේ. දස වයස්
ආයු ඇති මෙම මිනිසුන් අතර දසකුසල් අතුරුදන් වේ. දස අකුසල කර්ම ප්‍රබල වේ. මොවුන්
අතර මව, පියා, වැඩිහිටියන් හා පිදිය යුත්තන් හඳුනන, ගරු කරන අය නැත්තාහ, එබඳු ළාමක
මිනිසුන්ටම ගරු සත්කාර ප්‍රශංසා හා පූජනීය තත්වයක් හිමි වේ.
ඇතැම්හු බිළිඳු දරුවන් පවා අපයෝජනය කොට මරා දැමූහ. ලෝකයේ ගබ්සා කිරීම් සුලබ දසුනක්
විය. බාල වයස්වල දී ම විවාහ ගිවිසගෙන දරුවන් බිහි කළහ. හැල් හාලේ රස මසවුල් ගැන කවර
කතා ද? වස විෂ පිරුණු ආහාර විකිණීම හා පරිභෝජනය ආශ්‍රිත විසඳාගත නොහැකි ගැටලු
පිළිබඳ සමාජයේ දැවැන්ත සාකච්ඡා මතු විය.
ධර්මය අවතක්සේරු කිරීම කෙතරම් ඉහළ ගියේ ද යත් වර්ෂ දහස් ගණනාවක් ශ්‍රී ලංකාවේ
සමභාව්‍ය මහ තෙරුන් වහන්සේලා විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ, එසේම විදේශික
පඬිවරුන් පවා මවිතව සිය බසට නඟා මහත් ඵල නෙළා ගත් බුද්ධ දේශිත ත්‍රිපිටකය පවා වැරදි
යැයි කීමට පෙළඹුණු ආගමික සමාජයක් බිහිවිය.
දූෂිතයන්ට හා සමාජ අපරාධකරුවන්ට නීතියේ යදම් මකුළු දැල් මෙන් විය. ඔවුහුම ජනප්‍රිය
හා වැදගත් චරිත වූහ. මව, පියා, සුළු මව, නැන්දම්මා, මිතුරිය හා සොහොයුරිය කෙළි බඩු
ලෙස සිතූහ.
වර්තමාන ලෝක තත්වය එබඳු ස්වරූපයක් ගන්නා බව අපි දනිමු. බුදු බණ අනුව මීට ද වඩා
බිහිසුණු සමාජයක් ඉදිරියේ පැමිණීමට නියමිත ය.
දීඝනිකායේ චක්කවත්ති සූත්‍රාගත ඉහත අදහස පිළිබඳ සමාජ ස්තරයේ සෑම පුද්ගලයකුට ම
පැහැදිලි හා නිරවුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වන්නේ මෙය සැඟවීමෙන් සත්‍යය වසන් කළ
නොහැකි නිසාවෙනි. කුමක් නිසා ද යත් අප සැඟවීමට උත්සාහ කරන කරුණු විශ්වීය ධර්මය
හෙවත් ස්වභාව ධර්මය නොසඟවන බැවිනි.
සූත්‍රාගත පරිදි මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් මිනිසුන්ට අනෙක් මිනිසුන්
පෙනෙනුයේ බලු බළලුන් ගවයන් කුකුළන් වැනි තිරිසන් සත්ත්වයන් මෙන් අඩු වටිනාකම් සහිතව
ය. ඔවුන්ගේ සිත් තුළ අම්මා, තාත්තා, නැන්දා, මාමා ලේ සබැඳීයාව සහිත සියලු අය කෙරෙහි
පවා ක්‍රියාත්මක වන්නේ දැඩි රාගය, දැඩි ද්වේෂය, පළිගැනීම හෝ වධක චිත්තයයි.
එකිනෙකා මැරීම සඳහා ඔවුන්ගේ අතට ආයුධ ලැබෙන ආකාරය ගැන ඔවුහු ද නො දනිති. කොටින්ම
කිවහොත් සුනඛයකුට වෙනත් සුනඛයකු දැකීමෙන් ඇති වන සිතිවිලිවලට සමාන සිතිවිලි ඔවුන්ගේ
සිත් තුළ පහළ වේ. මෙය සූත්‍රයෙහි දක්වා ඇත්තේ මෘග සංඥාව හෙවත් තිරිසන් හැඟීම්
යනුවෙනි.
තිරිසන් යන පදය පැමිණ ඇත්තේ තිරශ්චීන යන සංස්කෘත පදයෙනි. තිරස්ව ගමන් කරනා හෙයින්
එනම් වන බව පැවසේ. මෙයට බෞද්ධ අර්ථකථනය වන්නේ නිර්වාණගාමී ගමනට හරස්ව සිටිනා සත්ත්ව
විශේෂය යන්නයි. එබැවින් ඉහත ආකාරයෙන් සිතන පතන මිනිසුන් තිරිසන් මිනිසුන් යැයි කීමේ
වරදක් ඔබට හැගේ ද?
පෝෂණයෙන් ඌන, ආර්ථික ශක්තියෙන් මෙන්ම බුද්ධි මට්ටමෙන් හීන බාල වයස්කාර දැරියක
දරුවකු බිහි කළහොත් ජීවවිද්‍යාත්මකව ද ඇයට උපදින දරුවන් දීර්ඝායුෂ්කවීමේ හැකියාවක්
නැත. ඒ සමඟ ඇති සමාජ, ආර්ථික හා සදාචාරමය ගැටලු උපදින දරුවාගේ මනසෙහි තිරිසන්
සිතිවිලි බිහිවීමට තුඩුදෙන බව මනෝවිද්‍යාත්මක ව පිළිගත් කරුණකි.
තිරිසන් ගති, තිරිසන් සිතිවිලි හා තිරිසන් වැඩ වැඩි වශයෙන් සිදුවන සමාජයක් නම් සති
පිරිත්, වරු පිරිත්, බෝධි පූජා හෝ දේව පූජා පැවැත්වීමෙන් නැවැත්විය නො හැකි ය.
දෙවියන් කෙරෙහි නොනිමි භක්තියක් ඇති ඉන්දියානුවන් දේව ප්‍රතිමා කඩා බිඳ දමා ගංගාවලට
දමන අයුරු පසුගිය දිනක මාධ්‍යවලින් පවා පෙන්වනු ලැබිණ. ආධ්‍යාත්මික කරුණු ඉදිරියේ
බාහිර පිළියම් සෙවීමේ නිසරු බව ගැඹුරින් සිතා වටහා ගත යුත්තකි.
මෘග සංඥාව හෙවත් තිරිසන් හැඟීම් ගති හා වැඩ නීතිය, ආගම හා දේශපාලනය විසින් කිසි
ලෙසකත් අගය නොකළ යුතු ය. එක පුද්ගලයකුගේ හෝ එබඳු හැසිරීම් අගය කිරීම සමස්ත සමාජ
පද්ධතිය කෙරෙහි වෛරසයක් මෙන් ඉක්මණින් සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි ය.
තමා තුළ තිරිසන් හැඟීම් හා ගති ඇති පුද්ගලයන්ට අනෙක් සමාජ සත්ත්වයන් පෙනෙනුයේ ද
තිරිසනුන් ලෙස ය. එහෙයින්ම ඔහු විසින් අනෙකකුට කරනු ලබන පහරදීම්, වධදීම් ආදී
අපරාධයන්හි දී අනෙකා හඳුන්වන්නේ ද තිරිසනා යනුවෙනි. ඔහු බල්ලා, බූරුවා, හරකා වැනි
තිරිසන් සතකුගේ නමක් පැවසීමෙන් සිය වධක චේතනාව ප්‍රාණවත් කරනු ලබයි.
ප්‍රාණඝාත, දේපළ පැහැර ගැනීම්, පරදාර සේවනය හෝ ලිංගික අපයෝජන, අසත්‍ය වචන කීම්, නඩු
හබ ආදිය හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් විකෘති මානසිකත්වයෙන් කල් ගෙවීම යනාදී වල්මත් වූ
සමාජයක සත්පුරුෂ මිනිසාට ජීවත්වීම සඳහා වාස භූමියක් සොයා ගැනීම දුෂ්කර වන කාලයක්
උදාවනු ඇත.
බුදුන් වහන්සේ වදාළ පරිදි මෙබඳු තත්වයක් යටතේ යහපත් හා බුද්ධිමත් මිනිසුන්ට දැඩි
සංවේගයක් හා කළකිරීමක් ඇති වේ. අපි මොකද කරන්නේ යන සිතිවිල්ල ඔහුගේ සිත තුළ නිබඳ
සංසරණය වේ. අවසානයේ ඔවුහු අපි ද කිසිවකු නො මරමු, කිසිවෙක් අප ඝාතනය නො කරත්වායි
(මා කඤ්චිි, මා කොචි) සිතා මෙම සමාජය අතහැර වනගත ව ජීවත්වීමට තීරණය කරති.
මෙකල ඇතැම් අය තුළ එලෙස වනගතව ජීවත්වීමේ රුචිකත්වය මතුවී ඇත. මේ අතර ඉන්දියාව,
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල ඇතැම්හු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි යුරෝපීය
රටවලට පියාසර කොට ජීවිතාපේක්ෂාව තහුවරු කර ගැනීමට වෑයම් කරති. එසේම යුරෝපීය ධනවත්
රටවල ඇතැම්හු ශ්‍රී ලංකාව තායිලන්තය වැනි රටවල අරණ්‍යවලට පැමිණ ජීවිත සත්‍යය හා
සැනසිල්ල සොයා කල් ගෙවති. මෙයින් තහවුරු වන්නේ මෘග සංඥාව අධික වූ සමාජයේ සැබෑ ඇත්ත
තේරුම් ගැනීමට අප තවමත් පමා වී ඇති බවයි.
අහසෙහි හෝ මුහුද මැද හෝ පර්වත ගුහා ඇතුළකට රිංගා හෝ කර්ම විපාකයෙන් බේරී සිටීමට
තැනක් සොයා ගැනීමේ හැකියාවක් නොමැති බව වරක් බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව ද මෙහි ලා
සිහිපත් කරමු.
බුදුන් වහන්සේ දෙසූ , මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට පෙන්වා දුන් ධර්මයෙන් අපට පෙන්වා
දී ඇත්තේ තිරිසන් හැඟීම් නැති කොට මිනිස් හැඟීම් ඇතිකර ගැනීමේ ක්‍රමයයි.
අනාචාරය අතහැර ආචාර සම්පන්න ව සිහියෙන් යුතුව මානව වර්ගයාගේ යහපත වෙනුවෙන්
ජීවත්වීමේ රටාවයි. මිනිසාට පමණක් නොව ඇළ දොළ ගංගා ගහ කොළවලට පවා දයාබරිත ව
ජීවත්වීමේ ක්‍රමවේදයයි.
සංවර්ධනය යන්නට ධනයෙන් විස්කම් පෑම නොව අධ්‍යාත්මයෙන් දියුණුවීම ද අත්‍යවශ්‍ය බව
ලෝකය ම පිළිගත් සත්‍යයක් වන නමුත් පිරිහුණු මිනිසුන් සහිත ලෝකයට එය තවමත්
ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. මේ නිසා විවිධ ලෙඩරෝග, ව්‍යසන හා
කරදර අප විසින්ම අප වෙත ළඟා කරවාගෙන ඇත.
අප මුහුණු දෙන රෝග බිය, මරණ බිය හා වෙනත් අනේකවිධ බිය පාදක කර ගනිමින් වෙනත්
කිසිවකුට දොස් නැඟීම පිළියම නොවේ. එහි වරදකරු හා වගකිව යුත්තෝ ද අපිම වෙමු.
බුදුන් හැර, ධර්මය හැර, සඟුන් හැර, ලොවට පිහිටක් නැත. (නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො
මෙ සරණං වරං). මෙම සත්‍යය වටහා ගෙන ක්‍රියා කළහැකි නම් අපට ලෝකය පිළිසරණක් සහිත
තැනක් වනු නො අනුමාන ය. (එතෙන සච්චවජ්ජෙන හොතු මෙ ජයමංගලං). එහෙයින් ව්‍යසන
පිටුදැකීමේ බෞද්ධ දැක්ම තේරුම් ගැනීම කාටත් වැදගත් වනු ඇත. |